Header Ads

ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරලා ආර්ථිකයේ කොඳු නාරටිය කඩලා රටේ නීතියක් නෑ : සදාචාරයක් නෑ

මේ ආණ්ඩුවට එරෙහිව සටනක් දෙන්න ආණ්ඩුවට විරුද්ධ වෙන්න පුද්ගලයො, පක්‍ෂ ගොඩක් නැහැ. මේ ආණ්ඩුවට සැබෑ ලෙසම විරුද්ධ වෙන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණ වටා ඉන්න ජනතාවත් පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා මතුගමදී කීවේය.
බස්නාහිර පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන කළුතර දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මතුගම ශ්‍රවණාගාර භූමියේදී පැවැති මෙම ජනහමුව අමතා අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.

රටක් හදනවා නම්, ආර්ථිකය ගොඩනඟනවා නම්, රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා
නම්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ශක්තිමත් කරනවා නම් අවුරුදු නවයක් කියන්නෙ ඕනෑවටත් වඩා වැඩි කාලයක්. නමුත් මේ ආණ්ඩුවෙ ගතවූ මේ වසර නවය අවසන් වනකොට ආර්ථිකය කාබාසිනියා කරලා, නීතියක් නැති, සදාචාරයක් නැති රටක් බවට පත්කරලා ඉවරයි. රටේ යහපැවැත්මට ඇති සියලු ආයතන විනාශ කරලා, කොඳු කඩල ඉවරයි. නීතියක් නැති, විනයක් නැති, නියමිත රෙගුලාසි අනුව පාලනය නොවන රටක් බවට මේ රට පත්කරල හමාරයි.

නමුත් මේ කිසිවක් මේ රටේ මාධ්‍ය මඟින් ජනතාවට පෙන්වන්නෙ නැහැ. රාජපක්‍ෂ මහත්තය මේ රට පාලනය කරන්න ගත්තෙම මාධ්‍යයට ප්‍රබල තර්ජනයක් එල්ල කරලයි. අද රටේ සිදුවන ඇත්ත දේ මාධ්‍යවල වාර්තා වෙන්නෙ නැහැ. සිරස රූපවාහිනියට දෙපාරක් බෝම්බ ගැහුව. මැදිරි සංකීර්ණය ගිනි තිබ්බ.
පාර්ලිමේන්තුව කියන්නෙ කාමරයකට දාල ඉබ්බො දාල රටේ සිදුවන දේවල් සාකච්ඡා කරන තැනක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙ සාකච්ඡා වන දේවල් මේ රටේ ජනතාව දැනගත යුතුයි. මෙන්න මේ නිසයි තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවෙ සම්මත කරන්න කියල විපක්‍ෂය ඉදිරිපත් කළේ. නමුත් මේ පනත පාර්ලිමේන්තුවට දාන්න දෙනවද නැද්ද කියල ඡන්දයක් ඇහුව. ආණ්ඩු පක්‍ෂයේ සියලු දෙනා කැඳවල කතා කරල මේ පනත පාර්ලිමේන්තුවට ගේනවටත් විරුද්ධව ඡන්දය දුන්න. රටේ සිදුවන දේවල් ජනතාවට දැනගන්න ඉඩනොදී ජනතාවගෙන් වහල රටක් පාලනය කරන්න හදනව.

පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි මේ රටේ සිදුවන දේවල් කිසිම මාධ්‍යයකට හරියට වාර්තා කරන්න දෙන්නෙ නැහැ. රාජපක්‍ෂ මහත්තය පටන් ගන්නෙම මාධ්‍ය ආයතනවලට සබ්බුව දීලමයි. අද රාජපක්‍ෂ මහත්තයගේ ගුණ වර්ණනා, ස්තෝත්‍ර හැරුණුකොට කිසි විවේචනයකට මේ මාධ්‍ය නාළිකාවලට ඉඩ දෙන්නෙ නැහැ. මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුව. සිරසට ගිනි තිබ්බ, බෝම්බ ගැහුව. කිසි කෙනකුව අත්අඩංගුවට ගත්තෙ නැහැ. ලංකාවෙ සිදුවන ආන්දෝලනයකට තුඩුදෙන ඕනෑම අපරාධයක්, ඝාතනයක් ලංකාවෙ පොලිස් දෙපාර්තමේන්තුව හොයාගෙන තියෙනව. ලංකාවෙ පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ ඉවක් තියෙනව. හැබැයි සිරසට බෝම්බ ගැහුව සොයාගන්න බැරිවුණා. දෙපාරක් බෝම්බ ගැහුව හොයාගන්න බැරිවුණා. ඇයි ඒ? ඒක කළේ ආණ්ඩුව නිසයි. අධි ආරක්‍ෂිත කලාපයේ තියෙන 'සියත' රූපවාහිනියට බෝම්බ ගැහුව හොයාගන්න බැරිවුණා. ඇයි ඒක කළේ ආණ්ඩුව නිසා. අධි ආරක්‍ෂිත කලාපයේ තිබුණු 'ඉරුදින' මුද්‍රණාලයට, කාර්යාලයට ගිනි තිබ්බ. ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් එකොළොස්දෙනකු ඝාතනය කළා. කිසිම සැකකරුවකුව හොයාගන්න බැරිවුණා. ඇයි ඒව කළේ ආණ්ඩුව නිසයි. පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් ඇතුළු මාධ්‍යවේදීන් විසි ගණනකගේ අත කැඩුව, නැතිනම් කකුල කැඩුව, ගැහුව, පහර දුන්නා. කිසිකෙනකුව අත්අඩංගුවට ගන්න බැරිවුණා. මේව කළේ ආණ්ඩුවයි. මේ නිසා රාජපක්‍ෂ මහත්තය සමහර මාධ්‍ය බය කළා. සමහර මාධ්‍ය සල්ලි දීල ගත්ත. ලංකාවේ ප්‍රධාන පුවත්පතක් ඉංගී්‍රසි සහ සිංහල දෙකම රාජපක්‍ෂ මහත්තයගේ ගෝලයො මිලදී ගත්ත. සන්ඩේ ලීඩර් හා ඉරුදින අසංක සෙනෙවිරත්න මිලදී ගත්ත. රගර් ක්ලබ් එකේ සභාපති නාමල්ගෙ ගෝලය මේව ගත්ත. 'රන්දිව' කියන පත්තරය කැසිනෝ මුදලාලි ගත්ත. මේ විදියට මහින්ද රාජපක්‍ෂ තමන්ගේ යාළුවො දාල පත්තර ටික ගත්තා.

මේ විදියට සමහර මාධ්‍ය බය කළා. සමහර ඒව මිලදී ගත්ත. අනෙක් ඒවට වරදාන දුන්න. ලංකාවෙ ජාතික පුවත්පතක අයිතිකාරයකු සංස්ථාවක සභාපතිවරයෙක් කළා. ලංකාවෙ ප්‍රධාන ජාතික පුවත්පතක මුද්‍රණාලයට තමයි ලංකා බැංකුවෙයි මහජන බැංකුවෙයි චෙක්පත් මුද්‍රණය කරන්න දුන්නෙ. ආයෙ ඒ පත්තරේ ආණ්ඩුවට විරුද්ධව ලියයිද?

අපි කාලෙකින් කෝලං මඩුවක් බැලුවෙ නැතුව හිටියෙ. ඡන්දයක් ළංවෙනකොට ඒව එනව. 'ජනපති ජනහමුව' කියල කෝලං මඩුවක් දැන් එළිබැහැල තියෙනවා. මේකට රූපවාහිනි නාළිකා සේරම ටික ගන්නව. මොකද ඒගොල්ලොම දන්නව වෙන එකකට කරකවල වෙන මොකක්හරි බලන බව. බය කරල, බල කරල මේ විදියට ජනපති කෝලං මඩුව තියනව. මෑතකත් තිබුණා ඒකෙදි අෑත ගමක ගම්මානෙක ප්‍රශ්න අහනවා. හැබැයි ප්‍රශ්න අහන්නෙ ටයි පොල්ලක් බැඳගත්ත කොල්ලෙක්. උෟ කොළඹින් ආව එකෙක්. අපිට කියනව මේ සජීවී ප්‍රශ්න අහනවලු. අපි නොදන්න ලයිව් කියල මේවට තමයි කියන්න තියෙන්නෙ.

කොත්තමල්ලි ටිකට, සූදුරු කුඩු ටිකට, සීනි ටිකට, පරිප්පු, සුදුලූනු මේ විදියට කඩේට ගිහිල්ල රුපියල් දාහක බඩු ගත්තොත් වැඩිපුර තියෙන්නෙ බදු. දැන් රුපියල් දාහක බඩු මල්ලක් ගත්තොත් ඒකෙ බදු තියෙනව රුපියල් හයසීයක. රුපියල් හාරසීයක බඩු තියෙනව. බඩු අඩු වෙනව. බදු වැඩි වෙනව. ලබන මාර්තු තිස්එක් වැනිදායින් පස්සෙ ආයෙත් වරිපනම් බදු වැඩි කරන්න තීරණය කරල තියෙනව. ලෝකෙ මොන රටකවත් මේ විදියට ජනතාවගේ ආහාරවලට බදු ගහන්නෙ නැහැ.
මෙහෙම බදු විතරද ජනතාවට ඊළඟට දඩ ගහනව. අද පොලිසියට දඩ ඉලක්කයක් දීල තියෙනව. පොලිසිය පාරෙ අයිනෙ ගස්, ගල්, බෝක්කුවලට හැංගිලා ඉන්නවා. ලෝකෙ මොන රටකවත් පොලිසිය හැංගිලා ඉන්නෙ නැහැ. හැංගෙන්න ඕන හොරුනෙ. පොලිසිය ඉන්න ඕන පේන්නනේ. අද අපේ පොලිසිය හැංගිලා ඉන්නෙ දඩ හොයන්නයි. පොලිසිය ආණ්ඩුවට දඩ හොයන දඩ කෙළියේ යන කොටසක් බවට පත්වෙලා තියෙනව. පොලිසියෙ මහත්තුරුත් මරු වැඩක් කරනව. ක්‍රම දෙකකට දඩ ගහනව. එකක් එතනම දඩ. අනෙක දඩ කොළයක් දීලා දඩ ගහන එක. අද මේ පොලිසිවල සියලු පහසුකම් කපල තියෙන්නෙ. සොච්චම් පඩියකුයි අතට ලැබෙන්නෙ. වාහන දුවන්න තෙල් නැහැ. පොලිසියට අනුබද්ධව පිහිටෙව්ව පරිසර පොලිසිය කියල එකක්. බැරි වෙලාවත් බුලත් විටක් කාල කෙළ ගැහුවොත් දඩ ගහනව. සුද්දගෙ කාලෙවත් මේ තරම් දඩ ගහලා නැහැ. දඩ විතරක් නෙවෙයි දඩේට බද්දකුත් ගහන්න වෙලා. අනෙක් පැත්තෙන් සියලු ලියාපදිංචි ගාස්තු ඉහළ දැම්ම. උපතට, කසාදෙට, මරණෙට මේ හැමදේටම සහතිකයට ගාස්තු වැඩි කළා.

මේ ළඟදි කඩුවෙල උසාවියට ආණ්ඩුවෙ ඇමැති කෙනකුගෙ දික්කසාද නඩුවක් ආවා. ඇමැතිවරයා ගෙදර නෝනට හොකී ගහල ලැජ්ජාවෙ බැහැ. බෙල්ල කඩල. බිරිය දික්කසාදයට වන්දිය ලක්‍ෂ පන්දාහක් සහ නඩත්තුව රුපියල් ලක්‍ෂ පනහ ගාණෙ ඉල්ලුවා. ඇමැතිගෙ බිරිය ධනය, දේපොළ ලැන සියලු විස්තර අධිකරණයට ඉදිරිපත් කළා. කොළඹ නගරයේ හැමතැනම ගෙවල්, ඉඩම්. මහනුවර නගරයේ හැමතැනම ගෙවල්, ඉඩම්. ලංකාවෙ ප්‍රධාන බැංකුවල කෝටි ගණන් ධනය. මේ ඇමැතිගෙ පළමුවැනි රැකියාව රක්‍ෂණ නියෝජිත. වැටුප රුපියල් 1,250යි. 1988දී වැටුප 1,250යි. බිරිය සිංගර් එකේ වැඩ කළා. වැටුප රුපියල් දෙසිය පනහයි. නමුත් දැන් කොහොමද දේපොළ වත්කම. මේව ජනතා දේපොළ හොරා කාල නෙවෙයිද? මෙයා ආණ්ඩුවෙ ලොකු හොරෙක් නෙවෙයි. හාල් මැස්සෙක් විතරයි. තෝරු මෝරු කොහොම ඇත්ද?
ලෝකෙ මොන රටේද අගනුවර පාරවල් වහගෙන රෑට ලයිට් දාල රේස් පදින්නෙ. හැම අවුරුද්දකම දවස් 10ක් විතර කොළඹ පාරවල් වහල රේස් පදිනවා. රේසිං කාර් ගෙනාවෙ බදු නැතිව. කිරිපිටිවල බදු වැඩි කරනවා. රේසිං කාර්වල බදු ඉවත් කරනවා.

මතුගම - වසන්ත කුමාර

No comments

Powered by Blogger.