Header Ads

මේ කොයි යන්නේ...

"චන්ද්‍රිකා මොකක්ද මේ අල්ලන්න යන ජල්ලිය..."
"ඡන්දයක් කට ළඟ තියෙද්දී ඇයි මේ විදියට හිටපු ජනාධිපතිනිය වෙලත් පක්‍ෂයට සපෝට් එක දෙන්නෙ නැතිව රනිල්ගෙ ගුබ්බෑයමට රිංගුවෙ..."
"හිටපු ජනාධිපති කෙනෙක් මේ වගේ ඡන්දයක් කට ළඟ තියෙද්දී තමන්ගෙ පක්‍ෂයට උදවු නොකර විපක්‍ෂයේ ගුබ්බෑයමකට රිංගනවා මම නම් කවදාවත් දැකලා නෑ..."

මේ පසුගිය දිනෙක චන්ද්‍රිකා රනිල්ව මුණගැහෙන්න රනිල්ගේ පක්‍ෂ කාර්යාලයට ගිය එක ගැන
උපන්ගෙයි ශ්‍රී ලංකාකාරයන් දෙදෙනකු අතර වූ කතාවකි.
දෙදෙනාගේ කතාව ඇත්තය. කවදාවත් මේ රටේ හිටපු ජනාධිපතිවරු පුටුවෙන් බිමට බැස්සට පස්සේ තමන්ගේ පක්‍ෂයට හතුරුකම් කරමින් රහසින්වත් වෙනත් පක්‍ෂවලට උදවු කරන්න ගියේ නැත.
ඒකට හොඳම උදාහරණය ජේ. ආර්.ය.

ජේ.ආර්. විධායක ජනාධිපතිකමින් විශ්‍රාම ගියාට පස්සේ ඒ තැන ගත්ත ප්‍රේමදාස අන්තිමේදී පක්‍ෂ නායකත්වයත් අතට ගෙන ජේ. ආර්.ට පුදුම විදියට කෙනෙහිලිකම් කරන්න ගත්තේය. ඒ කෙනෙහිලිකම් කොච්චරද කියනවා නම් අන්තිමේදී තමන්ගේ රැස්වීම්වලටවත් ප්‍රේමදාස ජේ. ආර්.ව ගෙන්වා නොගත්තේය. ආණ්ඩුවේ මාධ්‍ය ලවා තමන්ගේම හිටපු ජනාධිපතිවරයාට පහර ගැසුවේය.

උෟරෝ කැකුණ තළද්දී හබන් කුකුළන්ට රජ මඟුල් කිව්වා වගේ ප්‍රේමදාස හා ජේ.ආර්. අතර තිබූ මේ විරසකකම ප්‍රේමදාසට එරෙහිව පාවිච්චි කරන්න සිතූ ලලිත්-ගාමිණී 91 දෝෂාභියෝගය හදන වේලාවේ ජේ. ආර්.ව හමුවන්න වෝඩ් පෙදෙසේ බි්‍රමාර් නිවෙසට ගියහ.
"ප්‍රේමදාසත් එක්ක මේ ගමන යන්න බෑ. ප්‍රේමදාස මේ පක්‍ෂය විනාශ කරනවා වගේම අපිට කෙනෙහිලිකම් කරනවා. අපිට විතරක් නෙවෙයි, ඔබතුමාටත් ප්‍රේමදාස කෙනෙහිලිකම් කරනවා. ඒ නිසා ප්‍රේමදාසට එරෙහිව මේ දෝෂාභියෝගය ගේන්න අපට ආශීර්වාද කරන්න..."

ජේ.ආර්. හමුවූ ලලිත්-ගාමිණී, ප්‍රේමදාසට එරෙහිව මෙසේ කියමින් ජේ.ආර්.ගේ සහාය පැතූහ. ජේ.ආර්.ටත් ප්‍රේමදාසගෙන් කෙනෙහිලිකම් සිද්ධ වන නිසා ජේ. ආර්. අත උඩින් ඊට සහාය දෙනු ඇතැයි ඔවුහු සිතූහ. නමුත් සිද්ධ වුණේ ඒකේ අනෙක් පැත්තය. දෙදෙනාටම තදින් අවවාද කළ ජේ.ආර්. මොන ප්‍රශ්නයක් ආවත් ප්‍රේමදාස නායකයා වන බැවින් ඔහුත් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට කියා සිටියේය.
"ප්‍රේමදාසගෙ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට විතරක් නෙවෙයි මටත් ප්‍රේමදාස එක්ක ප්‍රශ්න තියෙනවා. හැබැයි දැන් ප්‍රේමදාස තමයි පක්‍ෂයේ නායකයා. රටේ ජනාධිපතිත් එයා. ඒ හින්දා එයා කියන විදියට ඉවසගෙන වැඩකරන්න. ඒක තමයි ඔයගොල්ලන්ගෙ යුතුකම. ආණ්ඩුව විනාශ කරලා මේ පක්‍ෂය විනාශ කරන්න හදන්න එපා. මේකෙන් වෙන්නේ පක්‍ෂය විනාශ වෙලා ශ්‍රී ල.නි.ප.ය ඔළුව උස්සන එක. ඒකට ඉඩ තියන්න එපා..."

මේ ජේ. ආර්. ලලිත්-ගාමිණීට කියපු කතාවය.
පස්සේ මේ කතාව ප්‍රේමදාසගේ කනට වැටුණාම ඔහු මහත් පුදුමයට පත්විය. තමා අතින් මෙච්චර කෙනෙහිලිකම් සිද්ධ වෙද්දීත් ජේ.ආර්. මෙහෙම කරයි කියා ප්‍රේමදාස කීයටවත් හිතුවේ නැත.
හැබැයි ජේ. ආර්. එහෙම කළේ ප්‍රේමදාසට තියෙන ආදරේටවත්, ප්‍රේමදාසව ආරක්‍ෂා කරන්නවත් තියෙන වුවමනාව නිසාවත් නොව යූ.එන්.පී.යට තියෙන ආදරේ නිසාය. යූ.එන්.පී.ය ආරක්‍ෂා කරගන්න තියෙන වුවමනාව නිසාය. ජේ.ආර්. යූ.එන්.පී.යේ නිර්මාතෘ නොවුණත් පක්‍ෂයේ නිර්මාතෘ වුණු ඩී.එස්.ටත් එහා ගිය කැක්කුමක් ජේ.ආර්.ට තිබිණි.

ශ්‍රී ල.නි.ප.යේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. ශ්‍රී ල.නි.ප.ය හදපු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. පක්‍ෂය වෙනුවෙන්ම ජීවිතය පූජා කළේය. ඒ වෙලාවෙදී පක්‍ෂය ඉවර යැයි කවුරුත් හිතුවත් මැතිනිය පක්‍ෂය විනාශ වෙන්න දුන්නේ නැත. මැතිනිය බොහොම අමාරුවෙන් පක්‍ෂය ඉදිරියට රැගෙන ආවාය. චන්ද්‍රිකා කියන්නේ ශ්‍රී ල.නි.ප.ය නිර්මාණය කරපු එහෙව් තාත්තාගේත්, ශ්‍රී ල.නි.ප.ය අමාරුවෙන් ඉදිරියට අරගෙන ආපු එහෙව් අම්මගේත් දුවය. ඉතින් ජේ. ආර්.ට යූ.එන්.පී.ය ආරක්‍ෂා කරන්න තිබ්බ කැක්කුමටත් වඩා කැක්කුමක් චන්ද්‍රිකාට ශ්‍රී ල.නි.ප.ය ආරක්‍ෂා කරන්න තිබිය යුතුය.
හැබැයි චන්ද්‍රිකා එහෙම පක්‍ෂය ආරක්‍ෂා කරන පාටක් පෙනෙන්නට නැත. චන්ද්‍රිකා ජනාධිපති පුටුවෙන් බිමට බැස්සට පස්සේ ආපු පළමු ඡන්දයේදීම කළේ මහින්ද බලයට එන එක වළක්වන්න එ.ජා.ප.යත් එක්ක එකතු වී නූල් සූත්තර ඇදීමය. 2005දී බැරි වුණාම එතැන ඉඳන් කළේ මහින්දගේ ආණ්ඩුව වට්ටන්න ඇතුළේ ඉඳන් අංචි ඇදීමය. වෙනකක් තියා 2010 ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වෙච්ච සරත් ෆොන්සේකාවත්, එ.ජා.ප. නායකයනුත් හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්වට ගෙන්වාගෙන තමන්ගේ සහාය තියෙන්නේ ෆොන්සේකාට බව ශ්‍රී ලංකාකාරයන්ට නොකියා කිව්වේය.

නමුත් චන්ද්‍රිකා මෙහෙම අංචි ඇද්දා කියා නූල් සූත්තර දැම්මා කියා මහින්දගේ මයිලක්වත් හොල්ලන්න චන්ද්‍රිකාට පුළුවන් වුණේ නැත. ඒකට හොඳම උදාහරණය ඒ ඡන්දයේදී බණ්ඩාරනායකලාගේ බලකොටුව වූ අත්තනගල්ලෙනුත් මහින්ද ලීඩ් තියා ජයග්‍රහණය කිරීමය.
ඊගාවට 2010 මහ ඡන්දයේදීත් චන්ද්‍රිකා වැඩ කළේ ගම්පහින් එ.ජා.ප.ය දිනවන්නටය. නමුත් මහින්ද තංගල්ල දිනුවා වගේම බැසිල්ව දාලා අත්තනගල්ලත් තමන්ගේ ඡන්ද මල්ලට දමා ගත්තේය. බැසිල් ගම්පහින් වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේත් ඒ ඡන්දයේදීය.
ඒකෙන් එකක් හොඳටම පැහැදිලිය. එනම් චන්ද්‍රිකා කොච්චර දඟ දැම්මත් ශ්‍රී ල. නි. ප. ඡන්දවලට අතවත් තියන්න බැරි බවය. එක ඡන්දයක්වත් යූ.ඇන්.පී.යට හරවන්න බැරි බවය.

ඒ නිසා චන්ද්‍රිකා මතක තබා ගත යුතු එකක් තිබේ. ඒ, චන්ද්‍රිකාගේ තාත්තා වෙච්ච එස්.ඩබ්ලිව්. ආර්.ඩී.ගේ ඝාතනයට යූ.ඇන්.පී.ය සම්බන්ධ බවට එවකදී චෝදනා එල්ල වූ බවය. චන්ද්‍රිකාගේ අම්මා වූ මැතිනියත් මේ චෝදනාව එල්ල කළාය. වෙනකක් තබා ඒ දවස්වල සිය පියාගේ ඝාතනයට යූ.ඇන්.පී.ය වගකිව යුතු බවට චන්ද්‍රිකාත් චෝදනා කළාය. ඒ වගේම 77දී මැතිනිය පරාජයට පත්වීමෙන් පසු එ.ජා.ප.ය මැතිනිය නොමරා මැරුවේය. ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. දේශපාලන වශයෙන් ඇයව විනාශ කළේය.
77 ජයග්‍රහණයෙන් පසුව වරක් ජේ.ආර්. මැතිනියට යූ. ඇන්. පී.යට එන්න යැයි කියා ප්‍රසිද්ධියේ ආරාධනා කළේය.

'පාරේ හිඟා කෑවත් මම යූ.ඇන්.පී.යට එන්නෙ නෑ...'
මැතිනිය කොන්ද කෙළින් තියාගෙන ජේ. ආර්.ට උත්තර දුන්නේ එහෙමය.
ඒ වගේම තමන්ගේ එකම පුතා වෙච්ච අනුර 2000 මහ මැතිවරණයෛන් යූ.ඇන්.පී.යෙන් ඉල්ලදීවත් මැතිනිය ඇහැක් ඇරලා යූ. ඇන්.පී.ය දිහා බැලුවේ නැත. කටක් ඇරලා ශ්‍රී ලංකාකාරයන්ට තමන්ගේ පුතා වෙච්ච අනුරට ඡන්දය දෙන්න කිව්වේ නැත. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. හා මැතිනිය ජීවතුන් අතර නැති වුණත් ශ්‍රී ලංකාකාරයන්ගේ හිත්වලින් ඔවුන් දෙදෙනාව මකා දමන්න බැරි හුස්ම යනතෙක්ම මේ දෙදෙනා පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද නිසාය.
බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා වෙච්ච අනුරගේ නම අද ශ්‍රී ලංකාකාරයන්ගේ හිතේ නැත්තේ අනුර යූ.ඇන්.පී.යට ගොස් පක්‍ෂය විනාශ කරන්න වැඩ කළ නිසාය.

අද යූ.ඇන්.පී. එකේ ගුබ්බෑයම්වලට රිංගන්න ගිහින් කවදාහරි චන්ද්‍රිකාත් වැටෙන්න යන්නෙ අනුර වැටිච්ච තැනටමය. අනෙක් අතට හිටපු ජනාධිපතිනියක් හැටියට, හිටපු අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක් හැටියට චන්ද්‍රිකා රනිල්ටත්, රනිල්ගේ නායකත්ව මණ්ඩලයත් තමන්ගේ හොරගොල්ල වලව්වට ගෙන්වා ගත්තා නම් යන්තම් හරි කටක් ඇරලා ෂේප් එකක් දමා ගන්නට පුළුවන්කම තිබිණි. නමුත් එහෙව් චන්ද්‍රිකා රනිල්ගේ ගුබ්බෑයමට රිංගීමෙන්ම අද චන්ද්‍රිකාගේ බංකොළොත්භාවය රටටම පෙන්නවා තිබේ.

අනෙක චන්ද්‍රිකා එහෙම ගිහින් හමුවෙච්ච නායකත්ව මණ්ඩලයේ භාගෙට භාගයක්ම චන්ද්‍රිකාත් එක්ක එකට වැඩ කරන්න බැහැ කියා දමලා ගහලා එළියට බැහැපු අයය. රවි කියන්නේ 2001 යූ. ඇන්. පී. ආණ්ඩු කාලයේ කැබිනට් එකට ආපු චන්ද්‍රිකාගේ හෑන්ඩ් බෑග් එකත් ඇරලා බලපු ජාතියේ කෙනෙක්ය. කිරිඇල්ල 2001දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩාගෙන යූ. ඇන්. පී.යට ගිහින් ආණ්ඩුව වට්ටපු කෙනෙක්ය. විජයදාස කියන්නේ චන්ද්‍රිකාම දේශපාලනයට අරගෙන ආපු දේශපාලන අතදරුවෙක්ය. ඉතින් චන්ද්‍රිකා එදා ගිහින් පීචං වූයේ මේ වගේ පිරිසක් ඉස්සරහය.

ශ්‍රී ල. නි. ප.යේ සිටි මංගලත් එදා මේ විදියටම පක්ෂයෙන් ඉවත්ව මහා ලොකු සද්දයක් දාගෙන මහින්දගේ ආණ්ඩුව පෙරළා දමා යූ. ඇන්. පී. ආණ්ඩුවක් පිහිටුවන්නට රනිල්ගේ කකුල් දෙක ළඟට ගියේය. එදා මංගල ගියේ නිකම් නොව 'ම' පාර්ශ්වය කියා අලුතින් පක්ෂයකුත් හදාගෙනය. හැබැයි අද 'ම' පාර්ශ්වය තියා මයන්නේ කෑලිත් අහුලන්න නැත. අද මංගල නිකම්ම නිකම් එ. ජා. ප. මන්ත්‍රිවරයෙක් විතරය.
ඉතින් ඊයේ පෙරේදා රනිල්ගේ කකුල් දෙක ළඟට ගිය චන්ද්‍රිකාටත් හෙට අනිද්දා මේ සන්තෑසිය නොවුණොත් මෙන්න කන.

සාගරයක් මැද -

No comments

Powered by Blogger.