Header Ads

නොඉඳුල් කන්‍යාවියන් බහිරවයාට බිලි දුන් බහිරව කන්දේ ඇත්ත කතාව

මහනුවර නගරය හා සබැඳි කතා පුවත් බොහොමයක් තිබේ. මෙම කතා පුවත් අතරින් බහිරව කන්ද සහ දෙතිස් වධ පිළිබඳ වන කතා පුවත් දෙක අදටත් විමතිය දනවයි. එසේම සිත් ශෝකාකූල කරවයි.

අසූඅට, අසූනවය භීෂණකාරී කාලවලදී ඝාතනය කරන ලද තරුණ තරුණියන්ගේ මළ සිරුරු බහිරව කන්දට ගෙනැවිත් දමා ඇත.
දෙවන ලෝක යුද්ධයේදී මිනීකන කාපිරි හමුදාව බහිරව කන්දේ නැවතී සිට ඇත.
නීති විරෝධී කණ්ඩායම්, මං පහරන්නන්, මංකොල්ලකරුවන්, ඝාතකයන් බහිරව කන්ද වාසභූමිය කරගෙන තිබී ඇත.

බහිරව කන්දට රැගෙන එන පුද්ගලයන්ගේ මුදල් සහ රත්‍රං බඩු කොල්ලකෑමෙන් පසු මෙහිදීම මරා දමා ඇත.
මහනුවර බහිරව කන්ද පිළිබඳ එකල මිනිසුන්ගේ සිත් තුළ තිබුණේ අප්‍රමාණ බියකි. එය කෙතරම්ද යත්, සවස හයෙන් පසු බහිරව කන්ද දෙස බැලීමට පවා ඔවුහු බියවූහ. එකල පැවැති මතයට
අනුව, බහිරව කන්ද යනු යක්ෂයන්, පෙරේතයන්, කුම්භාණ්ඩයන්, භූතයන් වැනි කොටස් නිජබිම කරගත් ස්ථානයක් බවය. ඒ ගැන ඔවුහු මෙසේ කියා තිබිණි.
"බහිරව කන්ද බිලිගන්නා තැනක්. බිලිදෙන තැනක්."

අතීත කතාව එය වුවද වර්තමානයේදී බහිරව කන්ද මිනිස් ජනාවාසයක් බවට පත්වී ඇත. එදා කඳු මුදුනේ බියකරු බිලිගන්නා තත්ත්වයක් පැවැතියද, අද එම කඳු මුදුන පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත.
බහිරව කන්දේ අතීත පුරාණයත් වර්තමානයත් හෙළිදරවු කරමින් සිංහල රජවාසල පැවැති තත්ත්වයක් මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. බහිරව කන්ද මුදුනේ ඉදිකර ඇති බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමියන් පවසන කතාවයි මේ.
බහිරව කන්ද අතීත කතාව මුල සිට ඔබට කිව යුතුව ඇත. එය අසා සිටින ඔබ නිසැකවම සුරංගනා ලෝකයක අතරමං වනු නිසැකය.

මෙම කතාවට අදාළ කාලය මහනුවර රාජධානියේ අවසාන භාගයයි. එම කාලය වනවිට බෞද්ධ පසුබිම මකාලමින් සහ යටපත් කරමින් හින්දු පසුබිම මතුවෙමින්, පැතිර යමින් තිබිණ.
එම බලපෑම කෙතරම් තදබල ලෙසින් තිබුණේද යත්, මහනුවර රජවාසලටද එම තත්ත්වය දැනී තිබිණි. එහෙත් එය එතෙකින් නොනැවතිණ. එහි ප්‍රතිඵලය වුණේ රජවාසලද යම් තරමකට හින්දු බලපෑමට යටත් වීමයි. ඒ අනුව මහනුවර රජකම් කළ රජවරු ඒ සඳහා වන රජවාසල යටතේ යම් යම් අවස්ථාවන් හින්දු ක්‍රමයට අනුව ක්‍රියාත්මක කරවන්නට පෙලැඹී තිබිණි.

මෙම ක්‍රියාකාරකම් හි ප්‍රධානම අංගය වූයේ රජු හා රජුගේ ක්‍රියාකලාපයන් හින්දු මතයට අනුව ක්‍රියාත්මක කිරීමයි. රජුට එය එසේ කිරීමට සිදුවූයේ ඒ වනවිට ජනතාවගේ බහුතරය හින්දු ආගමික සිරිත් විරිත්, ඇදහිලිවලට අනුව ජීවත්වීමට හැඩගැසී සිටීම හේතුවෙනි.
මෙම තත්ත්වය යටතේ රජුට රට පාලනය කිරීමේදී සහ ජනතාවටත්, රටටත් පැමිණෙන විපත් සහ උවදුරු දුරුකර ගැනීමට හින්දු ක්‍රමයට අනුව කටයුතු කිරීමට සිදුවිය. එහෙත් රජු හින්දු ක්‍රමය හෝ ආගමික වතාවත්, සිරිත්, විරිත් ගැන දන්නා කෙනකු නොවිණි. මෙය රජුට ඉමහත් ගැටලුවක් වී තිබිණි.

ඒ වනවිට රජුට අග පුරෝහිත තනතුරේ සිටියවුන්ගෙන්ද උපදෙස් සහ අදාළ සහයෝගය ලැබුණේ නැත. ඒ මන්ද යත්, පුරෝහිත තනතුරේ කටයුතු කළවුන්ද හින්දු කටයුතු පිළිබඳ දැන නොසිටීමයි.
අවසානයේ රජුට තීරණයක් ගැනීමට සිදුවිය. රජු එම තීරණය ක්‍රියාත්මක කළේය. එම තීරණය වූයේ හින්දු ආගමික සිරිත් විරිත් දන්නා ඒ සම්බන්ධව නිවැරැදිව කටයුතු කිරීමට හැකි සුදුසුකම් ඇත්තෙකු ලංකාවට ගෙන්වා ගැනීමයි. එසේ ගෙන්වාගෙන පුරෝහිත තනතුරේ තබා ගැනීමයි.

රජු විසින් ගනු ලැබූ මෙම තීරණය රජු හිතන තරම් ලෙහෙසියෙන් ක්‍රියාත්මක කිරීමට රජුගේ සිත නම්මවා ගැනුමට රජුට හැකියාවක් ලැබුණේ නැත. එයට හේතුව වූයේ ලංකාවේ රජු හා රට, රටවැසියා, රාජ්‍ය පාලනය මෙහෙයවීම මුළුමනින්ම අන් රටක, අන් ජාතිකයකු හරහා සිදුවන නිසාය. එම තත්ත්වය රජුට දැනුණේ රජු නිවට, නියාලු තත්ත්වයට පත්කරවන්නක් ලෙසටය. රජු සිතුවේ පුරෝහිත තනතුරට පත්වන හින්දු ජාතිකයා යම් වැරැදි උපදෙසක් දුන්නේ නම් එයින් සිදුවන අනර්ථය හා අපකීර්තිය හමුවේ තම රට පත්වන අවාසනාවන්ත තත්ත්වය පිළිබඳවය. මෙසේ තර්ක විතර්ක කරමින් සිටි රජුට අවසානයේදී හිත අකැමැත්තෙන් වුවද එම අකීකරු තීරණය ගැනීමට සිදුවිය.
එම තීරණයට වඩාත් බලපෑ ඉක්මන් හේතුව වූයේ ඒ වනවිට රටේ යම් යම් කරදරකාරී තත්ත්වයන් මතුව තිබීමයි. එකදිගට මතුවන්නා වූ අවාසනාවන්ත තත්ත්වයන් පාලනය කළ නොහැකි වීමත්, ඒවාට යම් යම් පියවර නොගැනීම හේතුවෙන් නැඟෙන ජනතා හඬ දිනෙන් දින වැඩිවීමත් තදබල ලෙස නැඟී තිබිණි.

මෙම තත්ත්වයන්හි අවසාන ප්‍රතිඵලය වූයේ රජුගේ පුරෝහිත තනතුරට හින්දු ජාතිකයකු පත්වීමයි. එසේ පත්වූ පුරෝහිතගෙන් රජුට අවශ්‍ය වූවේ මතුවන්නාවූ සියලු අවාසනාවන්ත තත්ත්වයන්ට හින්දු සිරිත් විරිත් අනුව යම් යම් ඉක්මන් ප්‍රතිකර්මයන්ය. ඒ අනුව පුරෝහිත තෙමේ රජුට අවශ්‍ය උපදෙස් ලබාදී එයට අදාළ ප්‍රතිකර්ම දීමට ඉදිරිපත් විය. එදා එසේ රජුට පුරෝහිත ලබාදුන් පළමු උපදේශය වූයේ මෙයයි.
"අවසර රජතුමනි, මේ පෘථිවිය අයිති බහිරව යක්ෂයාට. බහිරව යක්ෂයා මේ පෘථිවිය උස්සාගෙන ඉන්නේ අතේ සුළැඟිල්ලෙන්. මෙසේ ඉන්නා බහිරවයාට කේන්ති ගියවිට බහිරවයා පෘථිවියට කරදර විපත්ති ලබාදෙනවා. දුර්භික්ෂ, නියං, ජල ගැලීම්, විපත්ති කරදර ඇතිවන්නේ ඒ නිසයි.

අපේ ආගමේ මතයේ හැටියට දැන් දැන් ඇතිවෙමින් තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් බහිරවයාට කේන්ති යෑම නිසා ඇති කළ තත්ත්වයන්. මේ තත්ත්වය එන්නේ බහිරව යක්ෂයා සතුටු නොකිරීමෙන්. ඒ නිසා අපි නිතරම බහිරව යක්ෂයා සතුටින් තැබීම කළ යුතුයි."
අලුතින් පත්වූ එම පුරෝහිතගේ පළමු උපදේශය රජුට යම්තරමක අස්වැසිල්ලක් වී තිබිණ. රජු සිතට නැඟුණු උද්දාමය තුළින්ම රජු පුරෝහිතගෙන් මෙසේ අසන්නට යෙදුණි.
"බහිරවයා සතුටින් තැබීමට කුමක් කළ යුතුද පුරෝහිත?"

රජුගේ එම පැනයත් සමඟම පුරෝහිත සිත සතුටින් ඉපිළෙමින් තිබිණ. එයට මඳකුදු පමා නොවූ පුරෝහිත මෙසේ උත්තර දෙන්නට යෙදිණි.
"අවසර රජතුමනි. මේ සඳහා හින්දු ආගමේ නියමය වනුයේ බිලිපුද පැවැත්වීමයි. මෙවැනි අවස්ථාවල බොහොමයක් බිලිපුද වර්ග නියම කර තිබේ. එහෙත් මෙම පවතින අසහනකාරී තත්ත්වයන් මැඬපැවැත්වීමට නම් මිනිස් බිල්ලක් දිය යුතුයි. නමුත් මේ සඳහා වඩාත් සුදුසු වනුයේ කන්‍යාවියක්. නොඉඳුල් රූමත් කන්‍යාවියක් තෝරා ඇය සුවඳ පැනින් නහවා පිරිසුදු වස්ත්‍රාභරණයෙන් සරසවා බිල්ලට දිය යුතුයි. ඒ සඳහා සුදුසු පූජාවක් පළමුව කළ යුතුයි. අනතුරුව වධක බෙරය ගසමින්, වධක පෙරහරින් ඇය රැගෙන ගොස් පාළු කන්දක් මුදුනේ විශාල ගසක ගැටගසා නැවත පැමිණිය යුතුයි.

තෝරාගත් දින සවස හයවන විට ඇය එම ස්ථානයට රැගෙන යා යුතුයි. ඉන්පසු සියලු දෙනා රජවාසල මිදුලට පැමිණ එහි රැස්ව සිටිය යුතුයි. හරියටම රාත්‍රි ‍ෙදාළහට බහිරව යක්ෂයා බිල්ලට දෙන කන්‍යාව බැඳ තැබූ කඳු මුදුනේ ගස වෙතට පැමිණෙනු ඇත. එහිදී බහිරව යක්ෂයා හූ තුනක් තබාපුවාම බිලිගත් බව ඇඟවනු ඇත. ඉන්පසු බහිරව යක්ෂයා බිල්ල ගනු ඇත.
උදෑසන වූ විට රජු ඇතුළු පිරිස බහිරව කන්දට ගොස් බිලි පූජාව දැකබලා සතුටු වී ආපසු පැමිණ බහිරව යක්ෂයා පුදන පූජාව කළ යුතුය. මෙය බහිරව යක්ෂයාගේ නියමය පරිදි වන පූජාවයි."

රජුට වෙන කළ හැකි කිසිදෙයක් ඉතිරිව තිබුණේ නැත. පුරෝහිතගේ උපදෙස් පිළිපැදිය යුතුමය. එහෙයින් අවශ්‍ය සියලු කටයුතු රජ අණින් කෙරිණි. බිලිපූජාව සඳහා සුදුසු කාන්තාව තෝරා ගැනීම ඊළඟ කටයුත්ත විය. රජතුමා නගර සීමාවේ සිටින සියලු කුලුඳුල් කන්‍යාවියන්ට රජවාසලට එක්රැස්වන ලෙසට අණබෙර පතුරුවාලීය. එය ඇසූ සැම බියට පත්වුවද රජ අණට පිටුපා යෑම කළ නොහැක්කක් විය. කෑකෝ ගැසීම්, හඬා වැලපීම් මැද රැස්ව සිටි කන්‍යාවියගෙන් පළමු බිලිපූජාවට සුදුසු කන්‍යාවිය තෝරා ගැනීම කෙරිණි. මේ සියල්ල වූයේ පුරෝහිතතුමාගේ උපදෙස් පරිදිමය.
නියමිත දිනය උදාවිය. එදින උදෑසනම පිරිසුදු සුවඳ පැනින් කන්‍යාවිය නාවා පිරිසුදු කර සුගන්ධවත් සළු පිළියෙන් ඇය සරසවා සවස්වන තුරුම පුද පූජා පැවැත්වීය. අනතුරුව සවස තද රතුවට සළුවක් ඇඟ පොරවා, රතුවට මල් මාලයක් කරවට පලඳවා, වධක බෙරය ගසමින් පෙරහරකින් ඇය කඳු මුදුන කරා ගෙන යන්නට විය. එහිවූ ගසක ඇය බැඳ යක්ෂයාට බිල්ල ගන්නා ලෙස ආරාධනා කර ඇය එහි තනිකර දමා පිරිස නැවැත රජවාසලට පැමිණියේය. එහි මිදුලේ රැස්ව සිටි පිරිස මධ්‍යම රාත්‍රිය එළැඹෙන තුරු බලා සිටියේ මහත් නොඉවසිල්ලෙනි.

මධ්‍යම රාත්‍රිය එළැඹිණි. බලාපොරොත්තුව සිටි හූ තුනෙන් එකක් ඇසිණ. ඉන් ටික වේලාවකට පසු තවත් හූවක්ද, ඉතිරි හූව ඊට ස්වල්ප වේලාවකට පසුවද ඇසිණි. ඉන්පසු කඳු මුදුනින් ඇසුණේ කාන්තාවක යටි ගිරියෙන් මර ළතෝනි දෙන හඬකි. එය ඇසූ රජු ඇතුළු පිරිස සැනසුම් සුසුම් හෙලූහ.
පසුදා උදාවිය. රජු අණින් කඳු මුදුන වෙත ගිය පුරෝහිත ඇතුළු රාජ පිරිසට දැකගත හැකි වූයේ බහිරව යක්ෂයා විසින් බිලිගනු ලැබූ රූමත් නොඉඳුල් කන්‍යාවියගේ මළ සිරුරයි. ඇගේ වත නිර්වස්ත්‍රව තිබිණ. පියයුරු සපා කා තිබූ අතර යටිබඩ ප්‍රදේශයෙන් ලේ වහනය වී තිබිණ. බෙල්ල වටේ උල් දත් පහරවල් හා මූණ පුරා නිය පහරවල් දක්නට ලැබිණ.

පුරෝහිත ඇතුළු රාජ පුරුෂයෝ රජුට මෙපුවත් සැලකර සිටියහ. එය ඇසූ රජු පුරෝහිත මුහුණ බැලුවේය.
"අවසර රජතුමනි, එක් දිනක් යෑමට මත්තෙන් එක් කරදරයක් බැගින් අඩුවෙමින් එනවා. එබැවින් මෙම සියලු කරදරවලින් මිදීමට නියමිත දිනයේදී එක් රූමත් කන්‍යාවියක බැගින් බිලිදීම කළ යුතුයි."
පසුදාට පහන්විය. එම දිනය ගෙවීයත්ම කිසියම් කරදර බවක් පෙන්වා කරදරයක් ඉවත්ව ගොස් තිබිණ. රජුටද, රටවැසියන්ට මෙය ඉමහත් සැනසිල්ලක්ම විය. අවසන එම නියමිත දිනයේදීම එක් වරකට එක් කන්‍යාවියක බැගින් බිලිදීමට රාජ නියෝගය පැනවිණි.

ක්‍රියාත්මක වූ එම රාජ නියෝගය අනුව සියලු බිලි පූජා නියමිත පරිදිම පැවැත්විණ. බහිරව බිලි පූජාවන් මේ ලෙස පැවැත්වෙන අතරතුර, එක් බිලිපූජාවකට තේරුණු නාඹර කන්‍යාවියක් සිටියාය. ඇය නමින් වැලිකල මැණිකේ වූවාය. බිලි පූජාවට තේරුණු මෙම වැලිකල මැණිකේ සම්බන්ධයෙන් එක් විශේෂිත සිදුවීමක්ද තිබිණි. ඒ එනම් ඇය ඒ වනවිට රාජ සභාවේ නිලතලයක් දැරූ අයකුගේ පෙම්වතිය වීමය. එය එතෙක් හෙළිදරවු නොවූ පෙම් පුවතකි. මෙම සිදුවීමත් සමඟම දෙදෙනාම මහත් ගැටලුවකට පත්විය.
වැලිකල මැණිකේ පෙමින් බැඳුණේ රාජ සභාවේ අමාත්‍ය මණ්ඩලයේ සිටි ඇමැතිවරයකු සමඟිනි. හේ නමින් දුනුවිල නිලමේ විය. මෙම සිදුවීමත් සමගම සලිත වී ගිය මොවුන් දෙදෙනා ප්‍රේමය ජය ගැනීමේ අභියෝගය හමුවේ සහ රාජ නියෝගයට පිටුපා සිටීමේ අභියෝගය හමුවේ බරපතළ තත්ත්වයකට පත්ව තිබිණි. එහෙත් කළහැකි වෙනත් යමක්ද නොවූයෙන් එළැඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් සිටින බවට ගිවිස ගත්හ.

නියමිත දින උදාවිය. වැලිකල මැණිකේද බිලි පූජාව සඳහා සූදානම් කෙරිණි. සුවඳ පැන් නහවා, වස්ත්‍රාභරණ පලඳවා, රතුමල් මාලා දමා, වධක බෙරය හඬවමින් මල් පෙරහරකින් බහිරව කන්ද මුදුනට ඇය ගෙන යනු ලැබිණි.
එහිදී සිරිත් පරිදි ඇය ගසක ගැටගසා පිරිස ආපසු පිටත්ව ගියේය. සවස ආලෝකය දුරුවෙමින් අඳුර පැමිණින. සතුන්ගේ නාද මෙන්ම බියකරු ශබ්දද ඇසෙන්නට විය. වේලාව ගෙවී ගියේ අන් කවරදාටත් වඩා ඉක්මනින්ය.

මධ්‍යම රාත්‍රිය එළැඹිණ. බහිරවයා බිලි පූජාව ගැනීම සඳහා පැමිණෙන මොහොත උදාවිය. හරියටම රාත්‍රි ‍ෙදාළහට බහිරව යක්ෂයා පැමිණුනි.
වැලිකල මැණිකේ අසලට පැමිණ බහිරව යක්ෂයා සුපුරුදු විදියටම වැලිකල මැණිකේ බැඳ සිටි ගස වටා තෙවරක් ගමන් කළේය. ඒ හැම ගමන් වාරයකදීම එක හූ හඬ බැගින් තැබුවේය. තෙවැනි හූව තබා අවසන් වූ බහිරව යක්ෂයා වැලිකල මැණිකේ බිල්ලට ගැනීමට සූදානම් විය.

එකෙණෙහිම සිදුවුණේ නුපුරුදු සිදුවීමකි. සැඟවී සිටි තවත් කෙනකු බහිරව යක්ෂයාගේ ඇඟට කඩා පැන්නේය. පොරබදා, පහරදී අවසන කඩුවෙන් ඇන බහිරව යක්ෂයා මරා දැමීය. ඊළඟ මොහොතේ වැලිකල මැණිකේ වෙතට ගිය පුද්ගලයා ඇය බැඳ තිබූ බැමි කපා ඇය මුදාගෙන අඳුරේම පලා ගියේය.
උදෑසන රජ මාලිගය බිලි පූජාවේ පසු උත්සවය පැවැත්වීමට සූදානම්ව සිටියේය. එක්වරම සිදුවූයේ අන් කවර දිනකවත් නොසිතූ සිදුවීමකි. පෙරදා රැයේ බිලි පූජාවට තැබූ වැලිකල මැණිකේගේ අතින් ඇදගත් දුනුවිල නිලමේ රජු ඉදිරියට දණින් වැටී සිටියේය. රජු සහ සියල්ලන්ම මහත් පුදුමයෙන් බලා සිටියදී දුනුවිල නිලමේ පෙරදා රැයේ කළ සියලු දෙය විස්තර කළේය. එය ඇසූ රජු කිසිත් නොකියා කඳු මුදනට ගොස් මේ ගැන සොයා බලන ලෙස රාජ පුරුෂයන්ට අණ කළේය. රාජපුරුෂයන්ද එම නියමය අකුරටම ඉටු කරමින් නැවැත පැමිණ මෙසේ පවසා සිටියේය.

"අවසර රජතුමනි, ඒ බහිරව යක්ෂයා නෙවෙයි. ඔබතුමාගේ අග්‍ර පුරෝහිත. මෙතෙක් දවස් බහිරව යක්ෂයා විදියට පෙනී සිටිමින් මොහු පළමුව කාන්තාවන් දූෂණය කර පසුව මරා දමා ඇත."

රජුටත්, රාජ සභාවටත් සියලු කාරණා මැනැවින් වැටහෙමින් තිබිණ. එහෙත් ඒ වනවිටත් වියයුතු බොහෝ දේවල් සිදුව ඇති බව රජුට වැටහී ගියේය. වහා ක්‍රියාත්මක වූ රජු ඒ මොහොතේ සිට බිලිපූජා නීතිය ඉවත් කරමින් නගරය පුරා අණබෙර පතුරවන ලෙස රාජපුරුෂයන්ට නියෝග කළේය. සියලු කන්‍යාවියන්ට නිදහස ලැබිණි. දුනුවිල නිලමේ සමඟ රජුගේ තිබූ හිත නොහොඳකම් අමතක කර දැමූ රජු වැලිකල මැණිකේ සමඟ දුනුවිල නිලමේට විවාහ වීමට අවසර දුන්නේය. එදායින් පසු රජතුමා පුරෝහිත තනතුරට හින්දු ක්‍රමයට හා ආගමික ඇදහිලිවලට මුල්තැනදී කටයුතු කරන පුද්ගලයන් පත් නොකළේය.

එකල සිටි දුනුවිල නිලමේ සහ වැලිකල මැණිකේ ගෙන් පැවැත ආ පරම්පාරවන් දෙක අදටත් මහනුවර ප්‍රදේශයේ ජීවත්වෙයි. එසේම බිලි පූජාවට ගෙන යනු ලබන නොඉඳුල් කන්‍යාවිය රැගත් පෙරහර බහිරව කන්ද වෙතට ගෙන ගිය කොළඹ වීදිය අද ද දක්නට ලැබෙයි. බහිරව කන්ද මුදුනේ සිට මේ කොළඹ වීදිය ඔස්සේ බැලූවිට රජ මාලිගය එක එල්ලේම දර්ශනය වෙයි. එහෙත් රජතුමා නැත. බහිරව යක්ෂයා ද නැත. දුනුවිල නිලමේද, වැලිකල මැණිකේද නැත. බහිරව කන්දට නැඟ බලන කවරකුහට වුව අද රජ මාලිගය පිහිටි බිම්කඩ සහ එහි ශේෂව පවතින නටබුන් දැකගත හැකිය. එසේම. මෙම කතාව අතීතයට සීමා වූ කතාවක් බවද බහිරව යක්ෂයකු බහිරව කන්දේ නොසිටිය බවද පමණක් සිත්හි තබාගත හැකිය.

අරුණඩේල් විජේරත්න
මහනුවර - කමල් සුරවීර

No comments

Powered by Blogger.