Header Ads

කුඩුයි, සංගීතයයි මාව නන්නත්තාර කළා... - සංගීත් විජේසූරිය

එතකොට මම පුංචියි. අවුරුදු තුනක් හතරක් විතර ඇති. මගේ තාත්තා ගාව එක එක විදියේ සංගීත භාණ්ඩ තිබුණා. තාත්තාට හොඳට සින්දු කියන්න පුළුවන්. හැබැයි ප්‍රසිද්ධ නෑ. ඔය කාලේ ගෙදර පොඩි රේඩියෝ එකක් තිබුණා. ඒකෙන් ඇහෙන සින්දු තාත්තා තමයි මට කට පාඩම් කරවන්නෙ. කට්ට කියන්නේ ඔක්කොම තාත්තා කැමැති සින්දු තමයි මට කියන්න වුණේ. එයාගේ යාළුවෝ සෙට් වෙන වෙලාවට මට කියලා සින්දු කියවගන්නවා. ඉඟිනියාගල කියන පන්සලේ සල්පිලක් තිබුණා. ඒකෙත් මාව සින්දු කියන්න දානවා. එතකොටත් කියන්න වුණේ තාත්තා කැමැති
'නොහඬන් ළඳුනේ' වගේ ලොකු අය කියන සින්දු. ඒ කාලේ පොඩි අය සින්දු කිව්වේ නෑ දැන් වගේ. පොඩි කෙනෙක් සින්දු කියන එක මහ ලොකු විපර්යාසයක් වගේ දෙයක් වුණා.

මම මටම බැන බැන එනවා

A/L ඉවර වුණ ගමන් මම බැලුවේ මොකක් හරි බෑන්ඩ් එකකට සම්බන්ධ වෙන්න. රේඩියන්ස් කියලා බෑන්ඩ් එකක කාලයක් හිටියා. තව කාලයක් යුනිකෝන් කියලා බෑන්ඩ් එකක හිටියා. ඒ බෑන්ඩ්වලට සින්දු කියන්න මම ගියේ බස් එකේ. ගෙදරින් සල්ලි ඉල්ලගෙන තමයි යන්නෙ. ෂෝ එක ඉවර වුණාට පස්සෙ එන්න වෙන්නෙ පයින්. ෂෝ එක බලන්න ආව අයත් එක්කම උදේ පාන්දර ගෙදර එනවා. දිලිසෙන ඇඳුම්නේ ඇඳගෙන ඉන්නෙ. ඒවා ගලවලා පොඩි ඉටි බෑග් එකකට දාගන්නවා. එහෙම දාගෙන අර කට්ටියත් එක්කම එනවා. සමහර වෙලාවට බෑන්ඩ් එකට හොඳ හොඳ කිය එනවා. සමහරු බැන බැන එනවා. මාත් එහෙමම ඒගොල්ලොත් එක්කම කතා කර කර බැන බැන එනවා.

පින පෑදුණා

ඔය කාලේ බ්ලූෂැඩෝස් කියන බෑන්ඩ් එක ආරම්භ කරලා තිබුණේ. මම එතකොට හින්දි සින්දු කිය කියා හිටියේ. වීදියවත්ත කියන ගමේ බ්ලූෂැඩෝස්ලාගේ ෂෝ එකක් තිබුණා. ඔය ෂෝ එකට මාව ගෙන්නුවා. ජනප්‍රිය ගායක ගායිකාවෝ අස්සේ මගේ අවස්ථාව එනකල් සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. කොහොමහරි මාව ස්ටේජ් එකට දාලා මම මුල් සින්දුව කිව්වට පස්සේ බෑන්ඩ් එකෙන් තව සින්දුවක් කියන්න කිව්වා. පහුවැනිදාම මට පණිවුඩේ එව්වා කැමැති නම් බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න කියලා. මට ඉතින් ඉහේ මලක් පිපුණා වගේ. කාලයක් කෑව කට්ටකින් ඔළුව නිදහස් වුණා වගේ දැනුණා.

ශරීරයේ ප්‍රමාණයට කෑව කට්ට

ඔය කාලෙදි වැඩිම කට්ටක් කෑවේ කෑම බීම සම්බන්ධව. ගෙදර ඉද්දි නෙවෙයි. ගෙදර ඉද්දි අම්මයි තාත්තයි හොඳට කන්න දුන්නා. නමුත් එළියට ගියාම අතෙත් හරියට සල්ලි නොතිබුණ නිසා කෑම බීම නැතිව ලොකු කට්ටක් කෑවා. ඒ කාලේ ශරීරේ හැටියට හොඳට කෑම කන්න පුළුවන් නිසා කන්න හරියට සල්ලි තිබුණේ නැති නිසා ශරීරේ ප්‍රමාණයට කට්ට කාලා තියෙනවා කෑම නැතිව.

ගිටාර් එකක් නැතිව කෑව කට්ට

ගිටාර් එකක් ගන්න තමයි ඊළඟට ලොකුම කට්ට කෑවේ. පුදුම ආසාවක් තිබුණා. හැබැයි සල්ලි තිබුණේ නෑ. මොකද අපේ අම්මයි, තාත්තයි මාස් පඩි කාරයෝ නිසා. ගිටාර් එකක් ගන්න බෑ මාස් පඩියකින්. ඒ නිසා ඒක ගන්න මාර විදියට කල්පනා කර කර හිටියා. අපේ පැත්තෙ ඉන්නවා ප්‍රියන්ත කියලා අයියා කෙනෙක්. එයා තමයි ඒ පැත්තෙ ගොඩක් අයට මියුසික් ඉගැන්නුවේ. එයා ගාව තමයි ගිටාර් එකක් තිබුණේ. මම ගිහින් හරි ආසාවෙන් ඒක අල්ල අල්ලා ඉද්දී එයා මට ඉගැන්නුවා. ඒක බොක්ස් ගිටාර් එකක්. පස්සේ බ්ලූෂැඩෝස් ගියාට පස්සේ අන්කල් කෙනෙක් ගහපු ගිටාර් එකක්. ඒක එයා මට නිකන් දුන්නා හදා ගන්න. ඒක හදාගන්නවත් නැතිව සෑහෙන්න කාලයක් සල්ලි නැතිව හිටියා. කාලෙකට පස්සෙ තමයි හදා ගත්තෙ.

සිරියලතා හැදුව හැටි

මගේම කියලා මුලින්ම ගීතයක් කිව්වේ බ්ලූෂැඩෝස් එකට ගියාට පස්සෙ. ඒ තමයි "සිරියලතා" කියන සින්දුව. සැන්ටි මාස්ටර් සිරියලතා හැදුවේ බ්ලූෂැඩෝස් බෑන්ඩ් එකට. බෑන්ඩ් එකෙන් මට කිව්වා සින්ග් කරන්න කියලා.

සනිධප වෙනුවෙන් පොලුයි පානුයි කෑවා

කාපු කට්ටේ ප්‍රතිඵලයක් විදියට අන්තිමට මම සනිධප හදාගන්නවා. සියලුම කණ්ඩායම්වල නායකයන් එක්ක කරපු අධ්‍යයනයකින් පස්සෙ තමයි ඒක හදා ගන්නෙ. සනිධප හදාගත්තට පස්සෙත් කෑව කට්ට නම් නැවතුණේ නෑ. රාජ් මහත්තයා කියලා කෙනෙක් ගෙයකුයි, සවුන්ඩ්ස් දුන්නා. ඒ දවස්වල මම නාකොටික් එකේ වැඩ කර කර හිටිය නිසා මගේ අතෙත් සල්ලි තිබුණා. ප්‍රැක්ටිස්වලට ගියාම අපි අට දෙනෙක් උදේ දවල්, රෑ කෑම කනවනේ. සතියකින් මගේ අතේ තිබුණ ඔක්කොම සල්ලි ඉවර වුණා. අර වත්තෙ තිබුණ පොලුයි, පානුයි තමයි ඊට පස්සෙ කෑවේ.

නම දාන තැන ඉඳන්ම කට්ට

සනිධප කියන නම දැම්මේ මම. අපේ බෑන්ඩ් එකේ අය ඒ නමට විරුද්ධ වුණා. හරි යන්නෙ නැත්තෙ ඇයි කියලා ඇහුවම, නෑ ඒ නම වෙනස් කියලා කිව්වා. මම කිව්වා නෑ වෙනස් දේවල් තමයි හරියන්නෙ කියලා. මම නායකයා නම් මේ දේ අහන්න කියලා කිව්වා. ඒ විදියට නම දාන තැන ඉඳන්ම ලොකු කට්ටක් කෑවා.

සින්දු කාමරෙන් නැඟලම ගියා

සනිධප හිට් කරගන්න කිසිම චැනල් එකක් පස්සේ නම් ගියේ නෑ. මට හරි නිදහසේ ඉන්න පුළුවන් එක හේතුවක් තමයි ඒක. කාටවත් මට ඇඟිල්ල දික් කරන්න බෑ මෙයාව ප්‍රසිද්ධ කළේ අපි කියලා. හැබැයි අපිට හිරු ජ්ර් හුඟක් උදවු කළා. සින්දු කාමරේ කියලා පෝග්‍රෑම් එකක් තිබුණා. ඒක ගොඩක් ජනප්‍රියයි. එතකොට සනිධප හදලා සති තුන හතරයි. ඒගොල්ලො අපිට ආරාධනා කළා. ඒකෙන් තමයි ජනප්‍රිය වුණේ.

හොර බොරු කළා නම් ඒකත් කට්ටත්

අපි හැදෙනකොට එක එක මතිමතාන්තර තිබුණා. අහවල් බෑන්ඩ් එක විදියට වෙන්න ඕන කිව්වම මම ඒ හැම දෙයක්ම බිඳලා දැම්මා. මම නායකයා විදියට බෑන්ඩ් එක හොඳ පැත්තට පාලනය කළා. හොර බොරු කරනවා නම් ඒකටත් කට්ටත් කන්න වෙනවා. මගේ හොර බොරු නැති නිසා, ඒ අංශයෙන් කට්ටක් තිබුණේ නෑ. බෑන්ඩ් එකේ අයව ජනප්‍රිය කරන්න සින්දු හදන්න, ඉන්ඩස්ටි්‍රස් එකේ බලය පවත්වාගෙන යන්න නායකයා විදියට මාර කට්ටක් කෑවා.

හිතේ තිබුණ ගැඹුරුම ආදරේ

සනිධප පටන් ගත්තෙ 2000දී. ඉලෙක්ට්‍රොනික් සංගීතය තමයි කළේ. ඉලෙක්ට්‍රොනික් සංගීතය කළේ පස්සෙ එකෝස්ටික් පැත්තට එනවා කියලා හිතාගෙන. මොකද ලෝකයේ පිළිගත්ත සංගීතය තමයි එකෝස්ටික්. අනිත් එක මගේ ගැඹුරු ආශාවක් තිබුණා මම හදාරලා තිබුණු දේවලුත් එක්ක එකෝස්ටික් තමයි මට හරියන්නෙ. නමුත් මිනිසුන්ගේ කැමැත්ත නිසා තමයි ඉලෙක්ට්‍රොනික් සංගීතය කළේ. ආපහු ඒක කරනවා කියන දේ මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා. ඊට පස්සෙ මම ආරාධනා කළාම ඒගොල්ලො කිව්වෙ අපි වෙනස් වුණොත් ක්‍රවුඩ් එක නැති වෙයි කියලා. පස්සෙ මාත් හිතුවා අපරාදෙනේ මේගොල්ලන්ට ඉන්න ක්‍රවුඩ් එක නැතිකරන්නෙ කියලා. අවුරුදු දෙකක් විතර දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ මම තීරණය කළා සනිධප මගේ අනුදැනුම ඇතිව කරගෙන යනවා කියලා. හැබැයි මට කිසිම මූල්‍යමය වාසියක් නැතිව. අයිතිය මගේ.

කන් හදන්න දැන් කන කට්ට

මම කැමැති සංගීතය කරගෙන යන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. "වායෝ"දැම්මට පස්සේ තමයි ලොකුම කටු කන්න වුණේ. සවුන්ඩ් ප්‍රශ්න ආවා. හුඟක් ආවේ තාක්‍ෂණික ප්‍රශ්න. මගේ ප්‍රසිද්ධියට අපිට ෂෝස් ආවා. ලංකාවේ තියෙන ලොකුම ප්‍රසංග. හැබැයි අපේ ක්‍රවුඩ් එක අවුරුදු විසි පහක් තිහක් තිස්සෙ ඉලෙක්ට්‍රොනික් හඬට තමයි කන් හුරු වෙලා තියෙන්නෙ. ඉතින් මම දැනටමත් හෙණම කට්ටක් කන්නේ මේ මිනිසුන් ටික හදාගන්න. මේ මිනිසුන්ගේ කන් ටික හදාගන්නටයි, ෆීලින්ස් වෙනස් කරගන්නයි.

සංගීත් දෙලොවක් අතර

නාකොටික් ඇන්ඩ් මියුසික් කියන්නෙ අහසයි පොළොවයි වගේ. දෙක කවදාවත් එකට එකතු වෙන්නෙ නෑ. නාකොටික් එකේ වැඩ කරද්දි ඔළුවේ වැඩ කරන්නේ ද්වේශ සහගත සිතිවිලි. කුඩු අල්ලන්න ඕන. කුඩු නැති කරන්න ඕන. මිනිසුන් මර්දනය කරන්න ඕන. මියුසික් ඊට හාත්පසින්ම වෙනස්. තනිකරම හිත ඇතුළේ තියෙන්නේ සාමය. මිනිසුන්ට ආදරය කරන එක. ඒගොල්ලන්ව සතුටු කරන එක. මේ දෙක අතරේ මම ලොකු කට්ටක් කෑවා. ඒ අවස්ථාවෙන් අවස්ථාවට මගේ ශරීරේ හෝමෝන පවා වෙනස් වෙන්න ගත්ත නිසා මම ජොබ් එකින් අයින් වෙනවා කියන කටුක තීරණය ගත්තා.

අයියෝ සංගීත් කුඩු ගහනවද?

නාකොටික් එකේ වැටලීම් කරද්දි මගේ ජනප්‍රියතාව කට්ටක් වුණු අවස්ථාත් තියෙනවා. අපේ වැටලීම් වර්ගයක් තියෙනවා, කුඩු ගන්න තැනට ගිහින්, මමත් ඒවා සල්ලිවලට අරන් තමයි අල්ලන්නෙ. දවසක් මාත් කුඩුකාරයෙක් වගේ ගියා. කොණ්ඩේ වවලා කොණ්ඩ බෝල දාලා ගියේ.
මම ගියාට පස්සෙ කුඩු විකුණපු මිනිහා ඒ ඔක්කොම පැත්තට දාලා ඇවිත් මාව අල්ලා ගත්තා. "අනේ සංගීත් ඔයත් කුඩු ගහනවද? අයියෝ මට හරි දුකයි ඔයා නම් මේක කරන්න එපා යන්න යන්න" කියලා පාරටත් අරගෙන ඇවිත් මාව ත්‍රීවිල් එකකටත් දැම්මා. ඔය අස්සෙ අපේ අයත් හිටියා. මට ඒ මනුස්සයා දක්වපු ආදරේට ඒ වෙලාවේ මං හරියට සංවේදී වුණා. අපේ අය සති දෙකකට විතර පස්සේ ගිහින් එයාව ඇල්ලුවා.

කොණ්ඩේ කෙස් ගාණට කට්ට කෑවා

මගේ කොණ්ඩේ තිබුණනේ ඒ දවස්වල. ඒ කොණ්ඩේ කෙස් ගාණට ප්‍රේමය වෙනුවෙන් කට්ට කාලා තියෙනවා. කටු කාගෙන කාගෙවත් පස්සෙ ගිහින් ට්‍රයි කරලා නම් නෑ. හැබැයි ප්‍රේමය ඇතිවුණාට පස්සේ කට්ට කාලා තියෙනවා.

වාසනා සුරංගිකා විතානගේ


No comments

Powered by Blogger.