Header Ads

ලුම්බිණි සල් ගස මතුවෙයි

ලුම්බිණිය පූජා භූමියේ කළ කැණීම්වලදී හමු වූ සයවැනි සියවසට අයත් වෘක්ෂ මූලයක පොසිල බුදුන්වහන්සේගේ උපත සිදුවූ ස්ථානයේ පිහිටි සල්ගසෙහි කොටසක් බවට සැක කරන බවත් ඒ බැව් සනාථ කරගැනීම සඳහා බි්‍රතාන්‍යයේ ඩරම් විශ්වවිද්‍යාලයේදී විද්‍යාගාර මට්ටමින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ මහාචාර්ය රොබින් කනින්හැම් මහතා
පවසයි.
බුදු හිමි උපන් ලුම්බිණිය පූජා භූමියේ සිදු කළ කැණීම්වලදී අශෝක රජ සමයට පෙර ඉදිකළ ලුම්බිණි විහාර තුනක නටබුන් හමුවූ බවද මහාචාර්යවරයා කීය.
රොබින් කනින්හැම් මහතා මේ අදහස් පැවැසුවේ ලුම්බිණියේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වල නිගමනය පිළිබඳ ලංකාවේ පිරිස් දැනුම්වත් කිරීමට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මෙතෙක් කාලයක් තිස්සේ අශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනඟන ලද ලුම්බිණි විහාරය පිළිබඳ බොහෝ දෙනෙක් අසා තිබුණද පූර්ව අශෝක අවධියේ ලුම්බිණිය විහාරය පිහිටි ස්ථානය කෙබඳු ආකාරයකට පැවැතුණිද යන්න පිළිබඳ කිසිවකුත් නොදත් බව රොබින් කනින්හැම් මහතා පැවැසීය.
ලුම්බිණියේ සිදුකළ කැණීම්වලදී අශෝක යුගයට පෙර එහි ඉදිකළ පූජනීය ගොඩනැඟිල්ලේ නටබුන් හමුවූ බවත් එහිදී සුදු පැහැති බදාමයෙන් කළ ගල් කණු සිරස් අතට තබා ඇති නටබුන් සහ කුඩා උළු කැබලි හමුවූ බවත් රොබින් මහතා පැවැසීය.
අශෝක අධිරාජ්‍යයා අද දක්නට ලැබෙන ලුම්බිණියේ ගෘහය ඉදිකර ඇත්තේ එම පින්බිම මැද කිසිදු ගොඩනැඟිල්ලක් ඉදි නොවන අයුරින් හිස් අවකාශයක් තබා වටප්‍රමාණයෙන් ගොඩනැඟිල්ල ඉදි කරමිනියි පවසන රොබින් මහතා අශෝක අධිරාජ්‍යයා ඉදිකළ ලුම්බිණිය ගෘහයට පෙර ඉදිකරන ලද ගෘහයද වත්මන් ආකෘතියට සමාන බැවින් අශෝක අධිරාජ්‍යයා පෙර පැවැති ගොඩනැඟිල්ලේ සැලැසුම නව ගොඩනැඟිල්ලට අෑ¼දාගෙන ඇති බවත් පෙන්වා දෙයි.
තිරස් ගලින් කරන ලද පූර්ව අශෝක යුගයේ ගොඩනැඟිල්ලද මතු කරගැනීමෙන් අනතුරුව එය තවත් කැණීම් කිරීමේදී එම යුගයට පෙරද ඉදිකරන ලද ලුම්බිණියේ අතීත ගොඩනැඟිල්ලක් හමු වූ බවත් එය සිදුකර ඇත්තේ විශාල දැව ආකෘතියකින් බවත් එම ඉදිකිරීමද වත්මන් ලුම්බිණියේ සැලැස්මට බෙහෙවින් සමාන බවත් හෙතෙම පවසයි. එබැවින් ලුම්බිණියේ යුග තුනක ඉතිහාසයක් මතු කර ගැනීමට සිය කණ්ඩායම සමත් වූ බව පැවැසූ රොබින් කනින්හැම් මහතා එම යුග තුනෙහිම ලුම්බිණි ගොඩනැඟිල්ල එකම ආකෘතියකින් ඉදිකර තිබීමෙන් එය යම් කිසි ආගමික රීතියකට අනුව යුගයෙන් යුගය ඉදි කෙරෙමින් පවතී යැයි තහවුරු කරගත් බවත් හෙතෙම පැවැසුවේය.
කෙසේ වෙතත් වත්මන් ලුම්බිණිය ඉදි කළ අශෝක රජුගේ යුගයට පෙර පැවැති ලුම්බිණියටත් පෙර පැවැති ඉදිකිරීම, එනම් දැවයෙන් සිදුකළ ඉදිකිරීම හයවැනි සියවසට අයත් ඉදිකිරීමක් යැයි තහවුරු කර ගත් බවද ඔහු පැවැසුවේය. කැණීමෙන් සොයා ගත් දැව කඳන්වල කාල නිර්ණය මඟින් එය තහවුරු කර ගත් බව හෙතෙම පැවැසුවේය.
කෙසේ වෙතත් අශෝක යුගයට පෙර පැවැති යුග දෙකක් කැණීම්වලින් සොයා ගැනීමෙන් අනතුරුව දුම්බිණියේ තව තවත් කැණීම් සිදුකළ බව පැවැසූ මහාචාර්යවරයා ඉන් අනතුරුව ඉපැරැණි වෘක්ෂයක මුල් පොසිල ලුම්බිණියේ පොළවෙ ඇතුළතින් හමුවූ බව පවසයි.
බෞද්ධයන්ගේ විශ්වාසයට අනුව ලුම්බිණිය වනාහි බුදු හිමියන් උපන් ස්ථානය වන අතර ලුම්බිණියේ විශාල සල් ගස් පිහිටා තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඒ අනුව මේ ඉපැරැණි මුල් පොසිලය බුදු හිමි උපන් ස්ථානයේ පිහිටි සල් වෘක්ෂයක පොසිලයක් දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමට මේ වන විට විද්‍යාගාර මට්ටමෙන් පර්යේෂණ සිදුකරන බවද හෙතෙම පැවැසුවේය.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ, ලුම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ ලංකාවේ නියෝජිත කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

No comments

Powered by Blogger.