Header Ads

ප්‍රේමදාස මහත්තයා උම්බලකඩ කෑල්ලක්‌වත් කෑවේ නෑ

පිටකොටුව ගුණසිංහපුර ප්‍රදේශයෙන් දේශපාලනයට පිවිසි ප්‍රේමදාස මහතා දිළිඳුකමින් බැට කන මිනිසුන් කෙළින් සිsටුවීමට කළ මෙහෙවර අපිරිමිතය. හද්ද පිටිසර ඈත ගම්දනව් ගම්උදාවෙන් පහන් කළේය. හිසට සෙවණක්‌ නැති මිනිසුන්ට නිවාස, කුසට අහරක්‌ නැති මිනිසුන් වෙනුවෙන් ජනසවිය දුන්නේය. ඇති නැති පරතරය මේ සමාජයෙන් ඈත් කරන්නට ප්‍රේමදාස මහතා නොගත් උත්සාහයක්‌ නැත. එතුමා මෙරටට කළ සේවය අතිමහත්ය. එහෙත් ප්‍රේමදාස චරිතයේ තවත් සැඟවුණු මතකයන් නැතුවාම නොවේ. පාර්ලිමේන්තු භෝජනාගාර රසවතා මේ කියන කතා ද ප්‍රේමදාස චරිතයේ සැඟවුණු මතකයන්ය.

ප්‍රේමදාස මහත්තයව මට මුලින්ම මුණගැහෙන්නෙ 1970 අවුරුද්දේ. එතුමා මුලින්ම පාර්ලිමේන්තුවට එන්නෙ මැද කොළඹ ආසන සංවිධායක විදිහටයි. එතුමා පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා වැඩ කළා. මොහොතකටවත් නිකම් බලාගෙන හිටියේ නෑ. වැඩක්‌ නැත්නම් පොතක්‌ පත්තරයක්‌ හරි බැලුවා. එතුමා එක්‌ක කවුරුහරි එක පාරක්‌ කතා කළොත් කිසිම කෙනෙක්‌ අතහැරලා යන්නේ නෑ. ඒ තරමටම එතුමා සිත් ඇඳගන්නා සුළු චරිතයක්‌. ප්‍රේමදාස මහත්තයගේ ඒ ගුණාංගය නිසාම එතුමා වසර හතක්‌ යනකොට මැද කොළඹ විතර නෙමෙයි මුළු රටේම ජනප්‍රිය දේශපාලන චරිතයක්‌ වුණා.

හැත්තැහතේ මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ තිබුණේ. එතකොට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු එකසිය ගානක්‌ හිටියා. එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටියෙ මන්ත්‍රීවරු දහහතයි. ඔය කාලේ ප්‍රේමදාස මහත්තයා එක්‌සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෙක්‌. හැත්තැහතේ මහ මැතිවරණය එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරවන්න ප්‍රේමදාස මහත්තයා දැවැන්ත මෙහෙවරක නිරත වුණා. ඒ කැපවීම නිසාම හැත්තැහතේ මහ මැතිවරණය එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළා. ප්‍රේමදාස මහත්තය පස්‌සේ දවසක භෝජනාගාරයට ආපු වේලාවක කියනවා... 'පහුගිය කාලේ විවිධ කරුණු කාරණාවලට රටේ නොයෙක්‌ ප්‍රදේශවලට අපි ආවා ගියා. විවිධ තරාතිරම්වල අය සමග කතාබහ කළා. ඒ බොහෝ තැන්වලදී අපිට වෙනස්‌කම් පෑවා.

මෙන්න මෙතනදි විතරයි කිසිම කෙනෙක්‌ව දෙවැනි කොට සැලකීමක්‌ හෝ කාටවත් අකටයුත්තක්‌ නොවෙන එකම තැන... මෙතැන හැම කෙනාටම දෙන්න තියෙන උපරිම සත්කාරය ඉතාම විශිෂ්ට විදිහට ලබා දුන්නා...' ඔය කතාව කියන වෙලාවේ භෝජනාගාර කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්‌ඩලයේ සියලුම දෙනා එතැන හිටියා. එතුමාගේ ඒ වචන ටික අපිට විශාල සංග්‍රහයක්‌ වුණා. එදා අපි පුදුම විදිහට සතුටු වුණා. ප්‍රේමදාස මහත්තය එහෙම කිව්වේ විශේෂ හේතුවක්‌ ඇතුවයි. එතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ආපු දවසෙ ඉඳලා පාර්ලිමේන්තු භෝජනාගාරය බදු අරගෙන වගේ හිටියේ. රැස්‌වීම් නැති දවසටත් උදේ නවය විතර වෙනකොට පාර්ලිමේන්තු භෝජනාගාරයට එනවා. මහජන දුක්‌ගැනවිලි සේරම එක මිටියකට කරලා ගෙනත් භෝජනාගාරයේ කෙළවරේ මේසයක්‌ මත තියලා ලිහනවා. ඊට පස්‌සේ ලිපි ගොනුවට ඔළුව ඔබා ගන්නවා ආයිත් ඔළුව උස්‌සන්නේ කවුරුහරි කතා කළොත් විතරයි. අර ලිපි සේරම එකින් එක කියව කියව වෙන වෙනම ෆයිල්වලට දානවා. සමහර ලිපිවලට ඒ මොහොතේම පිළිතුරු ලියනවා. ඒ කාලේ ඔය හෑන්ඩ් ෆෝන් නෑ. ලිපිවලට උත්තර බඳින්නේ අතින්ම තමයි. ප්‍රේමදාස මහත්තය තරම් අතින් ලියුම් ලිව්ව තවත් දේශපාලනඥයෙක්‌ මගෙ මතකයේ නෑ. ඒ දේවල් මගේ මේ ඇස්‌ දෙකෙන් දැක්‌කා. අත මැෂින් එක වගෙ... පුදුම වේගයකින් අකුරු ලියනවා. සභාවේ කතා කරන කතාව පවා භෝජනාගාරයේ ඉඳගෙන තමයි ලෑස්‌ති කර ගත්තේ. ඒ වෙලාවට එතුමාට භෝජනාගාරයත් කාර්යාලයක්‌. භෝජනාගාරය රැඳෙන කාලය තුළ තේ කෝප්ප දෙකක්‌ තුනක්‌ විතර හිස්‌ කරනවා. දවල්ට කෑමත් අරගෙන තමයි එතුමා භෝජනාගාරයෙන් පිට වෙන්නේ. සමහර දවසට හවස්‌ වෙනකම්ම වැඩ... එතුමා වැඩ කරන වෙලාවට කවුරුවත් බාධා කරනවට අකැමැතියි. ඒ නිසා එතුමා වැඩ කරන වේලාවට කවුරුවත් කතා කරන්න යන්නෙ නෑ. අපි සංග්‍රහ කරන්න ගියත් අවශ්‍ය දේට කතා කරලා ඉක්‌මනට සත්කාරය කරලා එතැනින් ඈත් වෙනවා. වැඩ ඉවර වුණ වෙලාවට... අබේ මෙහෙ එන්නකෝ... මොකද කතා නැත්තේ... කියලා ළඟට කතා කරලා ටික වෙලාවක්‌ කතා කරන පුරුද්දක්‌ එතුමා ළඟ තිබුණා. භෝජනාගාරයේ හැමෝම එතුමාගෙ හිතවතුන්. කිසිම කෙනෙකුට විශේෂයක්‌ නෑ. පුදුම ගුණයහපත්කමක්‌ තිබුණේ.

කිසිම කෙනකුට එතුමාගෙන් කරදරයක්‌ නෑ. හැමකෙනා සමඟ මිත්‍රශීලියි. ඕනෑම කෙනකුට එතුමා ඉදිරියට ගිහිල්ල තමන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන්. මෙයා මේ පක්‍ෂයේ... අරයා ඡන්දෙ දුන්නෙ අරයට... ප්‍රේමදාස මහත්තයට ඒවා වැඩක්‌ නෑ. කරන්න පුළුවන් දෙයක්‌ තියෙනවා නම් කොන්දේසි විරහිතව වැඩේ කරලා දෙනවා. කවුරුහරි ජොබ් එකක්‌ ඉල්ලගෙන එතුමා ළඟට ගියොත් රාජ්‍ය අංශයේ ජොබ් එකක්‌ නැත්නම් ඒ මොහොතේම පෞද්ගලික අංශයේ කොම්පැණියකට හරි කතා කරලා සුදුසුකම් අනුව ජොබ් එකක්‌ හොයලා දෙනවා. එතුමා ළඟට එන කිසිම කෙනකු හිස්‌ අතින් යෑව්වෙ නෑ. බැහැ කියන වචනය එතුමාගේ ශබ්ද කෝෂයේ තිබුණෙම නෑ. ඒ ඔක්‌කොටම වඩා පාර්ලිමේන්තු භෝජනාගාරයේ කාර්ය මණ්‌ඩලයට එතුමා විශේෂයක්‌ දැක්‌වූවා. අපි යම් උදව්වක්‌ ඉල්ලුවොත් එකෙන්ම ඒ දේ කරලා දෙනවා. 'මේ මට කන්න දෙන මිනිස්‌සුනේ... ඔහේලට කරන්න බැරි උදව්වක්‌ තියෙනවද... මොකක්‌ද කතන්දරෙ' කියලා අහලා මවලා හරි ඒ ඉල්ලීම ඉටු කරනවා... එතුමා නිවාස ඇමැතිවරයා විදිහට ඉන්න කාලෙ පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයන්ට ගෙවල් දුන්නා, ජයවර්ධනගම නිවාස යෝජනා ක්‍රමයේ, නිවාස ගොඩක්‌ම දෙන්න සැලසුම් කරලා තිබුණෙ පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩලයට. ඒත් පාර්ලිමේන්තු පරිපාලනයේ ඉහළ නිලධාරීන් එච්චර ගෙවල් දෙන්න ඕන නෑ කියලා ප්‍රමාණය අඩු කරගත්තා. එහෙම නොවෙන්න පාර්ලිමේන්තු කර්ය මණ්‌ඩලයේ සියලුම දෙනාට ගෙවල් දෙන්න තමයි, එතුමා සැලසුම් කරලා තිබුණේ. ඒ වැඩපිළිවෙළ යට ගියාට පස්‌සෙත් අවුරුදු පහෙන් පහට පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සමාජිකයන්ට එතුමා ගෙවල් දුන්නා. කොහොමහරි පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩලයේ විශාල පිරිසකට එතුමා නිවාස ඇමැතිවරයා විදිහට ඉන්න කාලෙ නිවාස ලැබුණා. ඒ විතරක්‌ නෙමෙයි පාර්ලිමේන්තු භෝජනාගාරයේ කිසියම් සුඛ විහරණයක්‌ පඩි වැඩි කිරීමක්‌ කළා නම්, ඒ ප්‍රේමදාස මහත්තයගෙ මූලිකත්වයෙන්. එතුමා ඒ දේවල් මූලිකත්වය අරගෙන ඉටු කළේ එතුමා භෝජනාගාර කාර්යමණ්‌ඩලය සමග තිබූ මිත්‍රශීලීකම නිසයි.

ප්‍රේමදාස මහත්තය පාර්ලිමේන්තුවට ආපු මුල් කාලයේදී කෑම තේරුවේ නෑ. මස්‌ මාළුත් කෑවා. වැඩියෙන්ම එතුමා කැමතියි බැදපු තෝර මාළුවලට. රෝස්‌ චිකන්වලටත් පුංචි කැමැත්තක්‌ තිබුණා. ඒ දවස්‌වල එතුමාගෙ දවල් කෑමට ඔය දෙකෙන් එකක්‌ අනිවාර්යයෙන් තියෙනවා. බත් චුට්‌ටයි. එළවළු වැඩියෙන්. පළා වර්ගවලට පුංචි ගිජුකමක්‌ තිබුණා. ඒකෙනුත් අමු පළා වර්ගවලට. ගොටුකොළ සම්බෝලෙට හරිම ප්‍රියයි. බත් කාලා ඉවර වෙලා පලතුරු ටිකක්‌ වැඩියෙන් කනවා. එතුමා සිනී කෑමවලට පොඩි කැමැත්තක්‌ තිබුණා. ඒත් සිනී කියන්නේ වස. ඒ නිසා අපි වැඩිය එතුමාට සිනී කිට්‌ටු කළේ නෑ. සමහර දවසට එතුමා තේ බොනකොට පැණි රස කෑම කටින්ම ඉල්ලනවා. ඒ වෙලාවට අපි ඉල්ලන කෑම ඉවරයි කියලා මඟහරිනවා. එතකොට බොරු කේන්තියක්‌ මවාගෙන කියනවා 'කෝ ඉතිං... ඔහේල එක්‌ක බෑනෙ...'

එතකොට අපි හිනාවෙලා කියනවා... 'මැඩම් කියලා තියෙනවා වැඩිය සිනී කෑම දෙන්න එපා කියලා...'

'මැඩම්ගේ කතා...'

එහෙම බොරුවට සැර දැම්මට අපි ආදරය කරනවට එතුමා කැමතියි. පස්‌සේ පස්‌සේ එතුමාම තේරුම් අරගෙන සිනීවලින් ඈත් වුණා. අන්තිම කාලෙ ඉඳල හිටල තමයි පැණි රස කෑමක්‌ රස බැලුවේ. මුලදි තේ බිව්වෙත් සිනී ටිකක්‌ වැඩියෙන් දලා. පස්‌සේ කහට වැඩි වෙලා සිනී අඩු වුණා. ඒ හැම දේම වුණේ ක්‍රමානුකූලවයි.

ප්‍රේමදාස මහත්තය මහ ඉහලින් ජ්‍යෝතිෂය විශ්වාස කළා. නිතර නිතර නක්‍ෂ්ස්‌ත්‍ර බැලුවා. ප්‍රේමදාස මහත්තයා දේශපාලනයේ ඉහළටම යනවා කියලා ජ්‍යෝතිෂ්‍යය කියලා තිබුණා. ඒ දේවල් ඉක්‌මනට ළං කරගන්න නම් පිලී කෑමවලින් ඈත් වෙන්න කියලත් නක්‍ෂස්‌ත්‍රකාරයෝ කියලා තිබුණා. හැත්තෑ තුනේ අවුරුද්දේ අන්තිම භාගෙ දවසක එතුමා භෝජනාගාරයට ඇවිත් කිව්වා එතුමා කන කෑමවලට උම්බලකඩවත් එකතු කරන්න එපා කියලා. එතකොටත් 'වෙජිටේරියන්' අය කිහිප දෙනෙක්‌ම පාර්ලිමේන්තුවේ හිටියා. අපේ කාර්ය මණ්‌ඩලයත් සාකච්ඡා කරලා එතුමාගේ කෑමවලට උම්බලකඩවත් එකතු නොකර ඉන්න වග බලා ගත්තා. එතුමා පුදුම විදිහට ප්‍රතිපත්ති රැකපු කෙනෙක්‌. කිව්ව වගේම එතුමා අප අතරින් සමුගන්න දා දක්‌වා සීයට සීයක්‌ම වෙජිටේරියන් වුණා...

තරංග රත්නවීර

No comments

Powered by Blogger.