Header Ads

පල්ලම හෙලටද? -- උපුල් ජෝශප් ප්‍රනාන්දු

1976 අගෝස්තු මස 27 වැනි දින මුල්කිරිගල අතුරු මැතිවරණයෙන් ජයග්‍රාහී ප්‍රතිඵල එන විට එවකට අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය හමුවෙන්න අරලියගහ මන්දිරයට ආ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යෝජනා කළේ මැතිවරණ ජයග්‍රහණ පාවිච්චි කොට විපක්ෂයේ එජාප මන්ත්‍රිවරුන් බාගෙන තුනෙන් දෙකක් හදාගෙන පාර්ලිමේන්තු කාලය දික්කර ගත යුතු බවය.

"අපි මුල්කිරිගල දින්නේ ලක්ෂ්මන් රාජපක්ෂගේ මරණයට ආ අනුකම්පා ඡන්දවලින්. රටේ තත්ත්වය ඒකෙන් මනින්න බැහැ..."
ෆීලික්ස් ඩයස් තර්ක කළේය.
"මට පේන්නේ ඉක්මනට මහ ඡන්දයකට ගියොත් හොඳයි කියලයි..."
මැතිනිය කීවාය.


බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව රට පුරාම ආණ්ඩු විරෝධී රැල්ලක් හදල තිබුණ ජේ.ආර්. හෝ එජාප මන්ත්‍රිවරුන් මුල්කිරිගල ඡන්ද ප්‍රතිඵලයෙන් සැලුනේ නැත.
"ඒක ආණ්ඩුවට දුන්න ඡන්දයක් නොවේ. ලක්ෂ්මන් රාජපක්ෂ නමට දුන්න ඡන්දයක්. අපි ඒකට බය වෙන්න ඕන නැහැ..."
ජේ.ආර්. එජාපයට කීවේය. ජේ.ආර්. කීවා හරිය.


1976 අගෝස්තු මැතිනියගේ ආණ්ඩුව මුල්කිරිගල දින්නේය. 1977 ජූලි මැතිනියට විපක්ෂ නායක කමත් නැතිවිය.
"උෟව දිනල හදිසි ජනාධිපතිවරණයකට යන්න හදන මහින්දටත් ඒකම වෙයිද...?"
ඒක නම් කියන්න දන්නේ නැත.
"මහජන පරීක්ෂාවෙන් අනූනවයෙන් බේරුණ ශ්‍රී ලංකා ජනාධිපති නිව්යෝක් යයි..."
මේ විදේශ මාධ්‍ය උෟව ප්‍රතිඵලය වාර්තා කොට තිබූ ආකාරයය.


ඇත්තටම මහින්ද මේ ප්‍රතිඵලය බලාපොරොත්තු වූයේ නැත... ඔහු හදිසි ජනාධිපතිවරණයකට යන්න ඡන්ද සිතියම අඳින කොට උෟව අන්තිමට ලකුණු කළේ 2009දී උෟවේදී ගත්ත 72.39%ම ගන්න බැරි නම් අඩුම තරමේ 60%ක් අරගෙන 2010 ජනාධිපතිවරණයේදී තමා ගත් ඡන්ද ප්‍රතිශතයම මෙවරත් ගන්නා බව සහතික කරන්නටය.
මොනරාගල කියන්නේ සිංහල බෞද්ධයන්ගේ නිජබිමකි. මහින්ද 2009දී මොනරාගලින් 81.32%ක් ගත්තේය. මෙවර එය 58.34%කට පල්ලම් බැස ඇත. ඒ කියන්නේ 2010 ජනාධිපතිවරණයේදී මෙන් මෙවර මහින්දට සිංහල බෞද්ධ ඡන්ද කුට්ටිය පිටින් ලැබෙන්නේ නැත. එජාපය 2009දී මොනරාගලින් ගත්තේ 15.52%කි. මෙවර ඒ ඡන්ද ප්‍රතිශතය 31.92% දක්වා වැඩි කරගෙන ඇත. ඒ කියන්නේ 2009ට සාපේක්ෂව 105%ක වැඩි වීමකි. ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී සිංහල බෞද්ධ ඡන්ද ඩබල් කරගන්න එජාපයට ඇති හැකියාව අවතක්සේරු කළ නොහැකිය. මොනරාගල එජාපය මෙම විජයග්‍රහණය ලැබුවේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් වූ මහ ඇමැති අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂ එක්ක සටන් කරලාය. එජාප මහ ඇමැති අපේක්ෂකයා නියෝජනය කළේ මොනරාගල නොව බදුල්ලය.


අනෙක මහින්ද ගෙන් ගෙට ගියේ මොනරාගලය. එජාපයෙත් නියම විජයග්‍රහණය ඇත්තේ මොනරාගලය. 2001 මහ ඡන්දයේදී එජාපය සියලු දිස්ත්‍රික්ක දිනද්දී මොනරාගල පරාජය වූයේ එය ශ්‍රී ලනිප බලකොටුවක් වූ නිසාය. ඒත් එජාප විජයග්‍රහණය සේ උස්සන්නේ එජාප මහ ඇමැති අපේක්ෂක හරීන් නියෝජනය කළ බදුල්ලය. හරේන් නිසා එජාපය ගොඩ ආවා යැයි කියන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ය. එස්.බී. සහ දයාසිරි මෙය පුන පුනා කියති. බදුල්ල කියන්නේ සාම්ප්‍රදායික එජාප බලකොටුවකි. එහි විශාල ප්‍රමාණයක් සුළු ජාතික ඡන්ද ඇත. ඒ වතුකරයේ දමිළ සහ මුස්ලිම් ඡන්දය. රනිල් සහ සජිත් එකතු කළ පස්සර ඓතිහාසික පක්ෂ සංවත්සර රැස්වීම පැවැතියේත් බදුල්ලේ පස්සරය. එජාප මන්ත්‍රිවරුන් බැහැල වැඩ කළේ හරීන් දිනවන්න බදුල්ලේය. සල්ලි වීසි කළේත් බදුල්ලේය. ඒත් එජාපය බදුල්ලේදී 2009 පළාත් සභා ඡන්දයට සාපේක්ෂව මෙවර ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගෙන ඇත්තේ 76%කිනි. මොනරාගල ඡන්ද ප්‍රතිශතය ඩබල් කර ගනිද්දී බදුල්ලේ වැඩි වී ඇත්තේ 76%කි. එජාපය 1997දී චන්ද්‍රිකා ආණ්ඩුව පවත්වපු පළාත් පාලන ඡන්දයේදී අනෙක් දිස්ත්‍රික්ක පරාජය වෙද්දී බදුල්ල දින්නේය.


එජාපය පරාජය වූ 2000 මහ මැතිවරණයේදි අනෙක් බහුතර දිස්ත්‍රික්ක පරාජය වෙද්දී බදුල්ල දින්නේය. එජාපය පරාජය වූ 2004 මහ මැතිවරණයේදීත් එජාපය දින්න දිස්ත්‍රික්ක තුන හතරෙන් එකක් වූයේ බදුල්ලය. 2005 ජනාධිපතිවරණයේදීත් අනෙක් දිස්ත්‍රික්ක බහුතරය පරාජය වෙද්දී එජාපය බදුල්ල දින්නේය. එහෙම බලනකොට මෙවර පළාත් සභා මැතිවරණයේ හරීන්ගේ පැමිණීමත්, රනිල්, සජිත් එක්සත්කමත්, එජාප පිබිදීමත් දෙස බලන විට බදුල්ල ජය ගත යුතුව තිබිණි. බදුල්ලේ එජාපය ලද ඡන්ද ප්‍රතිශතය එජාපය ගොඩ දමන ප්‍රතිශතයක් නොවේ. නමුත් මොනරාගල එජාප ඡන්ද ප්‍රතිශතය එජාපය ජනාධිපතිවරණය සඳහා ගොඩනඟන ඡන්ද ප්‍රතිශතයකි.
ආණ්ඩුව ජනාධිපතිවරණයට යෑමට බිය විය යුත්තේ එජාපය මොනරාගලදී ගත් ඡන්ද ප්‍රතිශතය දෙස බලන විටදීය. මන්ද සිංහල බෞද්ධ ඡන්ද එජාපයට නැත කියන මිථ්‍යාව මොනරාගල ජනතාව බිඳ දමා ඇත.


අනෙක ජනාධිපතිවරණ ඉතිහාසය දෙස බලන විට ආණ්ඩුවත් පළාත් සභා මැතිවරණවලදී ගන්නා ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණයේදී අඩුවිය. හොඳම නිදසුන 2004 පළාත් සභා ඡන්දයේදී සන්ධාන ආණ්ඩුව උෟවෙන් 58.99%ක් ගත්තේය. බදුල්ලෙන් 55.48%ක් ගත්තේය. ඒත් 2005 ජනාධිපතිවරණයේදී සන්ධාන අපේක්ෂක මහින්ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්විය. ලබා ගත්තේ 45.18%ක ඡන්ද ප්‍රතිශතයකි. 2004 පළාත් සභා ඡන්දයේදී සන්ධානය මොනරාගලින් 66.24%ක් ගත්තේය. ඒත් ජනාධිපතිවරණයේදී එය 56.94%ක් විය. එජාපය පළාත් සභා ඡන්දයේදී ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගත්තේය. 2004 පළාත් සභාවේදී බදුල්ලෙන් 39.08%ක් ගත් එජාපය 2005 ජනාධිපතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය දින්නේ 55.48%ක ඡන්ද ප්‍රතිශතයකිනි. මොනරාගල 2004දී එජාපය 33.12%ක ඡන්ද ප්‍රතිශතියක් ගත්තේය. 2005 ජනාධිපතිවරණයේදී එය 41.65%ක් දක්වා වැඩි කර ගත්තේය. එහෙම බලන කොට මෙවර උෟව පළාත් සභා ඡන්දයේදී එජාපය ලබපු ප්‍රතිශතයට වඩා ප්‍රතිශතයක් ජනාධිපතිවරණයේදී එජාපය ලබාගනු ඇත. ආණ්ඩුවේ ප්‍රතිශතය අඩුවනු ඇත. ආණ්ඩුවේ ප්‍රතිශතය අඩු වෙනවා කියන්නේ 51%න් පල්ලම් බැසීමකි. උෟවේ පමණක් නොව අනෙක් පළාත්වලත් එලෙස පල්ලම් බසිනු ඇත.


එතකොට 50% ගන්නේ කොහොමද...?
ප්‍රශ්නය තියෙන්නේ එතැනය. ආණ්ඩුව 2009දී උෟවෙන් 72.39%ක් ගෙන 2011 පළාත් පාලන ඡන්දයේදී ඒ ප්‍රතිශතය 53.72% දක්වා අඩුකර ගෙන මෙවර එය 51.25% දක්වා අඩු කරගෙන ඇත. මෙයින් පේන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී තවත් පල්ලම් බහින බවය.
අනෙක තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් පේන්නේ 1994 සිට ශ්‍රී ලනිප ප්‍රමුඛ සන්ධානය දිනාගත් රාජ්‍ය සේවයේ බලය ආණ්ඩුවට අහිමි වන ලකුණුය. බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය දෙස බලන විට එය පැහැදිලිය. ආණ්ඩුවත් එජාපයත් අතර තැපැල් ඡන්දවල වෙනස 1536කි. මෙයට පෙර ඡන්දවල එජාපයෙ ඔළුවට ගහන්නා වගේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය එන්නේ ආණ්ඩුව අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් තැපැල් ඡන්ද ජය ගනිමිනි. ආණ්ඩුවට ලොකුම ශක්තිය වූ ඒ රාජ්‍ය සේවය දැන් ආණ්ඩුවෙන් ගිලිහෙන ලකුණු පහළ වී තිබේ.


අනෙක ආණ්ඩුවත් එක්ක ඉන්න සුළු ජාතික පක්ෂවලට ආණ්ඩුව සමඟ සිටිනවාද නැද්ද යන්න ගැන හිතන්න උෟව මැතිවරණය බල කොට ඇත.
බදුල්ලේ වතුකරයේ දමිළ ඡන්ද 1,20,000ක් පමණ ඇත. මුස්ලිම් ඡන්ද 48,000ක් පමණ ඇත. මේ ඡන්දවලින් 50%ක් පමණ පාවිච්චි වී ඇත්තේ එජාපයටය. එජාපයෙන් තරග කළ වේලායුදන් රුද්‍රදීපන් මනාප ඡන්ද 30,457ක් පමණ ගෙන දෙවැනි තැනට පත්වී ඇත්තේ ඒ නිසාය. ආණ්ඩුවත් එක්ක තරග කළ කම්කරු කොංග්‍රස් අපේක්ෂකයාට ලැබී ඇත්තේ 31,858කි. ඒ වගේම ආණ්ඩුවේ සහයෙන් වෙනම තරග කළ මුස්ලිම් කොංග්‍රසයට සහ රිෂාඩ්ගේ හවුලට මුස්ලිම් ඡන්දවලින් ලැබී ඇත්තේ 5,045කි. අනෙක් මුස්ලිම් ඡන්ද ගොස් ඇත්තේ එජාපයටය. ඒ කියන්නේ ජනාධිපතිවරණයකදී සුළු ජාතික පක්ෂ ආණ්ඩුව එක්ක හිටියොත් ඔවුන්ගේ දේශපාලනය එතැනින්ම අවසන් වනු ඇත. මන්ද සුළු ජාතිකයන් තම පක්ෂ නායකයන් කුමක් කීවත් එජාපයට ඡන්දය දෙන්න තීරණය කොට ඇත.


ආණ්ඩුව උෟව පළාතේ ගත් ඡන්ද ප්‍රතිශතයත් බස්නාහිර පළාතේ කොළඹින් ගත් ඡන්ද ප්‍රතිශතයත් අතර ලොකු වෙනසක් නැත. ආණ්ඩුව කොළඹින් ගත්තේ 45.33%ක ඡන්ද ප්‍රතිශතයකි. හැබැයි බස්නාහිර එජාපයට ඡන්ද අඩු විය. එජාපය ගත්තේ 29.21%ක ඡන්ද ප්‍රතිශතයකි. එජාප ඡන්ද ජවිපෙට සහ ෆොන්සේකාගේ පක්ෂයට බෙදිනි. බස්නාහිර සහ දකුණු පළාත් සභාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙය දක්නට ලැබුණත් හම්බන්තොට පමණක් එජාප ඡන්ද පදනම රැකිණි. එයට හේතුව සජිත් සාධකය ය. ෆොන්සේකාට හම්බන්තොටින් එකක්වත් ආවේ නැත.


උෟවේදී එජාපය ඡන්ද වැඩි කරගෙන ඡන්ද පදනම රැකගෙන තියෙන්නේ රනිල් - සජිත් එකමුතුව හරහා කරළියට ආ සජිත් සාධකය නිසාය. හොඳම නිදසුන රනිල් සහ සජිත් එක් වූ පස්සර රැස්වීමට පෙර පැවැති තැපැල් ඡන්දවලදී ජවිපෙ 10%ක ඡන්ද ප්‍රතිශතයක් ගෙන ඇත. පස්සර රැස්වීමට පසු එජාපය පිබිදීම නිසා පළාත් සභා ඡන්දයේදී ජවිපෙ ඡන්ද ප්‍රතිශතය 5.36%ට බැස්සේය. ෆොන්සේකාටත් එකක්වත් නැති විය. මෙයින් පේන්නේ එජාපයට එක්සත්ව ශක්තිමත් නව නායකත්වයක් දෙනවා නම් එජාප පාක්ෂිකයන් හෝ ආණ්ඩු විරෝධීන් අනෙක් පක්ෂවලට ඡන්ද දෙන්න යන්නේ නැති බවය.


කොහොම හරි උෟව දින්නත් ආණ්ඩුව ඉන්නේ බයෙන්ය. ගල උඩ සටනින් ආණ්ඩුවටත් හොඳටම තුවාල සිදු වී ඇත. එජාපය පරාජය වුණත් ගල උඩින් ප්‍රපාතයට වැටිලා නැත.
1976 මුල්කිරිගල දිනල මැතිනියගේ ආණ්ඩුව 77 මහ ඡන්දයට ගිය විට රාජපක්ෂලාට අනුකම්පා ඡන්ද දුන් මුල්කිරිගල පමණක් නොව එවකට ආණ්ඩුවේ ළාබාලතම මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ ආසනයත් පරාජය විය. පළමුවරට හම්බන්තොටින් ඡන්දය ඉල්ලපු බැසිල් රාජපක්ෂද පරාජය විය.
ජනවාරියේ ජනාධිපතිවරණයකට යන්න පිට පොට ගහන රාජපක්ෂලාට ඒ අතීතය මතක තියෙනවාද කියන්න දන්නේ නැත.


No comments

Powered by Blogger.