Header Ads

මහින්ද බිය විය යුත්තේ චීනයටද-ඇමෙරිකාවටද? --- උපුල් ජෝශප් ප්‍රනාන්දු

"ආණ්ඩුව පෙරළන්න ඇමෙරිකාව කුමන්ත්‍රණය කරනවා..."
"පොදු අපේක්‍ෂකයෙක් ගේන්න බටහිර තානාපති කාර්යාල බරටම වැඩ..."
"ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය ගණින නොනගත කාලයක් ඇති කරන්න තානාපති කාර්යාලවල කුමන්ත්‍රණයක්..."
මේ ආණ්ඩුව අද ඊයේ නොවන කලක සිට කියන කතාවය.


"ලංකාවේ ආණ්ඩු වෙනසක් කරලා ඇමෙරිකාව බටහිර රටවල් මොනවා ලබා ගන්නද...?" ඇත්ත ප්‍රශ්නය ඒකය.
"ඔය කියන්නේ ඇමෙරිකාවට ඕනෑ යූ.ඇන්.පී.ය බලයට ගේන්න කියලනේ. යූ.ඇන්.පී.ය බලයට ආපු කාලවල ඇමෙරිකාව මොනවාද කරගත්තේ? ඒ කාලයේ ඇමෙරිකාව මෙහෙ පටන් ගත්ත එක ලොකු ව්‍යාපෘතියක් තියෙනවාද? රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරද්දී ඇමෙරිකාව මිලට ගත්ත රාජ්‍ය ආයතනයක් තියෙනවද...?"
මේ ලංකාවේ විදේශ සබඳතා විෂයයේ ප්‍රවීණයෙක් කී කතාවය.


කතාව ඇත්තය. ලංකාවේ අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලට ගත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ය. එයට ඇඟලුම්ද අයත්ය.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඒ අපනයන නතර කළහොත් ඒ රටවලට වන පාඩුවක් නැත. පාඩුව අපිටය. ඒ නිසා ඇමෙරිකාවට, බටහිර රටවලට ලංකාවේ ආණ්ඩු වෙනස් කරලා ගත්ත වාසියක් නැත. ආණ්ඩු වෙනස් කරලා වාසි ගන්න පුළුවන් රටවල් ඇමෙරිකාවට තිබේ. දකුණු අසියාවෙත් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය විශේෂය. ඒ ඇමෙරිකාවට තර්ජනයක්ව ඇති ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය මර්දනය කරන්නටය. ඒ වගේ මැද පෙරදිග, පිලිපීනය, ලතින් ඇමෙරිකානු රටවල් ඇමෙරිකාවේ උපායික මර්මස්ථානය. ඒ රටවල ආණ්ඩු වෙනස් කරන්න ඇමෙරිකාව බිලියන ගණනින් ඩොලර් වීසි කරයි. හේතුව ඒකෙන් ඇමෙරිකාවට පාඩුවක් නැත. එය ආයෝජනයකි. ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්න ඩොලර් බිලියන ගණන් සල්ලි වීසි කිරීම ඇමෙරිකාව කපුටු දානයක් දුන්නා වගේය. සත පහක ප්‍රයෝජනයක් නැත.


"එහෙනම් ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්න ඕනෑ කාටද...?"
මහින්දගේ ආණ්ඩුව හිතන්න ඕනෑ ඒකය. ඇත්තටම අද වෙනකොට ලංකාවේ ආණ්ඩු වෙනසක් ගැන අහල වැඩියෙන්ම කලබල විය යුතු රට චීනය ය. හේතුව චීනය ලංකාවට ආයෝජනය කරලා තියෙන මුදල් සහ දීලා තියෙන ණය, පටන් අරගෙන තියෙන ව්‍යාපෘතිවල වටිනාකම මිල කළ නොහැකිය. චීන විරෝධී ආණ්ඩුවක් ලංකාවේ බලයට ආවොත් ඒ ඔක්කොම වතුරේය. මේ නිසාම තම ආණ්ඩුව ආරක්‍ෂා කර ගන්න චීනය ඕනෑම දෙයක් කරයි කියලා මහින්දගේ ආණ්ඩුව හිතන බව පෙනේ.

චීනය ළං කර ගත්ත බණ්ඩාරනායක මැතිනියත් මේ ටිකම හිතුවාය. ඇය චීනය ළං කර ගත්තේ ඇය අගමැතිකම් කළ 1960 - 65 කාලයේය. 1963 ඉන්දියාව සහ චීනය අතර යුද්ධයක් ආරම්භ වීමට ගිය විට එය නතර කිරීම සඳහා මැදිහත් වීමට ඇය ඉදිරිපත් වූවාය. 1963දී ඇය ඒ සඳහා වූ යෝජනාවලියක් රැගෙන චීනයට ගියාය. එවිට චීන මාධ්‍ය ඇයව හැඳින්වූයේ සාම දූතිකාවක ලෙසය. එහෙත් ඇය ඉන්දු - චීන සාම සම්මුතිය සඳහා රැගෙන ගිය යෝජනාවලිය ඉන්දියාවට අවාසිදායක, චීනයට පක්‍ෂග්‍රාහී යෝජනාවලියක් බව වාමාංශික දේශපාලනයේ පතාක යෝධයෙක් වූ පිලිප් ගුණවර්ධන කීවේය. එවකට විපක්‍ෂය වූ එ.ජා.ප.ය කීවේත් ඇය ඉන්දියාව තරහ කර ගන්න යනවා යැයි කියාය. ඒත් ඇය ඊට කන් දුන්නේ නැත. ඇය එම සංචාරය අවසන් කොට ලංකාවට ආවේ චීනයත් සමඟ නාවික මුහුදු සීමා ගිවිසුමකට අස්සන් කරලාය.
ඇගේ මේ චීන වන්දනාවට එරෙහිව එ.ජා.ප.ය රට පුරා ලොකු විරෝධයක් ඇති කරනු ලැබීය. ආණ්ඩුව පාලනය කරන්නේ චීන රතු ඉත්තන් බවත්, ඔවුන් බෞද්ධාගම විනාශ කරන කුමන්ත්‍රණයක් කරන බවත් කියමින් මහා සංඝරත්නය සමඟ පාරට ආහ. 1965 ආණ්ඩු පෙරැළියට මේ චීන විරෝධය ලොකුවට බලපෑවේය.


මේ නිසාම චීනය 1965 බලයට ආ එජාප ආණ්ඩුව එක්ක එතරම් ඇයි හොඳයියක් පැවැත්වූයේ නැත. 1965දී එ.ජා.ප. ආණ්ඩුව පෙරළන්න සැලසුම් කළ කුමන්ත්‍රණය පිටුපස චීනය ඉන්නවා යැයි එ.ජා.ප. ය චෝදනා කළේය. ඒ සඳහා වූ ආණ්ඩු විරෝධී අත්පත්‍රිකා මුද්‍රණය කළේ මෙරට චීන තානාපති කාර්යාලයේදී බවටත් චෝදනා එල්ල විය.
1970 එ. ජා. ප. ආණ්ඩුව පෙරැළී යළි ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ සමඟි පෙරමුණු ආණ්ඩුව බලයට ආ විගසම චීනය ලංකාවට දිව ආවේය. යළි ලංකාව සහ චීනය අතර සබඳතා ශක්තිමත් විය. මැතිනිය හිතුවේ චීනය ඇයගේ ආණ්ඩුවේ ආරක්‍ෂකයා යැයි කියාය. ඒත් 1971 ජ.වි.පෙ. කැරැල්ල අවස්ථාවේදී ඇයට තම ආරක්‍ෂකයා යැයි හිතපු චීනය ගැන සැක පහළ වූවාය.

එයට හේතුව ජ.වි.පෙ. කැරැල්ල මර්දනය කරන්න ඇය විදේශ රටවලින් උදවු ඉල්ලපු විටදී අනෙක් රටවල් පැනලා උදවු කරන්න ඉදිරිපත් වෙද්දී චීනය පමණක් මුනිවත රැකීමය. ෂෙල්ටන් කොඩිකාර මහතාගේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ග්‍රන්ථයේ මේ කතාව පැහැදිලිව ලියා තිබේ. ඇගේ ආණ්ඩුව දැඩි ලෙස ඇමෙරිකාව විවේචනය කළත් ඇමෙරිකාව පවා ආධාර දෙන්න ඉදිරිපත් විය. ඒත් චීනය කට හෙල්ලුවේ නැත. මැතිනියගේ සැකය තවත් වැඩි වූයේ චීන අවි ආයුධ රැගත් නැවක් කොළඹ වරායේ නවතා තිබීමය. එය ටැන්සානියාව බලා යන නැවක් ලෙස ලේඛන ගත කර තිබුණත් ජ.වි.පෙ. කැරැලිකරුවන් පහර දෙන අවස්ථාවේම ඒ චීන නැව කොළඹ වරායට ආවේ කෙසේද යන්න ප්‍රශ්නයක් විය. මැතිනියගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය යුතුද කියා බීජිංහි චීන ආණ්ඩුව සාකච්ඡා කරන්න පටන් ගත් විට චීන නැව වරායෙන් නික්ම යමින් තිබිණි. ජ.වි.පෙ. මතවාදය අධ්‍යයනය කරන විට ඔවුන්් අනුගමනය කර තිබුණේ මා ඕසේතුන්, කිම්සුන් සහ චේ ගුවේරාය.

මෙරට උතුරු කොරියානු තානාපති කාර්යාලය කැරැලිකරුවන්ට ආධාර කොට ඇති බව තහවුරු කර ගත් විගස තානාපති කාර්යාලය වහන ලෙස මැතිනිය නියෝග කළාය. ඉන්දියාවේ ආරක්‍ෂක යාත්‍රා හතරක් ලංකාවේ නාවික හමුදාව සමඟ එක්ව අබිරහස් චීන ආයුධ නැව හොයන්න පටන් ගත්හ. මෙයින් කලබලයට පත් චීන නායක චෞ එන් ලායි මැතිනියට ලිපියක් ලීවේය. ලිපියේ ලංකා - චීන සබඳතාව ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබිණි. එසේම කැරැල්ල මර්දනය කිරීමට මැතිනියගේ ආණ්ඩුව සමත් වීම ප්‍රශංසාවට ලක් කොට තිබිණි. පොලී රහිත රුපියල් මිලියන 150ක ණයක් ලංකාවට දෙන බවද එහි සඳහන් විය.
හැබැයි චෞ එන් ලායි එම ලිපිය ලීවේ කැරැල්ල මර්දනය කළාට පසුවය.
මේ සිද්ධිය එකල පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්‍රිව සිටි මහින්ද රාජපක්‍ෂට අමතක විය නොහැකිය. පසුගිය අඟහරුවාදා ලංකාවට ආ චීන ජනාධිපතිවරයා පිළිගන්නා විට මහින්ද හිතන්න ඇත්තේ තමාගේත් තම ආණ්ඩුවේත් ආරක්‍ෂකයා නොහොත් ගැලවුම්කාරයා මවුබිමට පැමිණ ඇතැයි කියා විය යුතුය.


උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල්ගේ බාල පුතා කිම් ජොන් උන් එරට නායකත්වයට පත් වන විටත් චීනය ගැන හිතුවේ එලෙසය. චීනයත් පෙනී හිටියේ කිම් ජොන් උන් ගේ ආරක්‍ෂකයා ලෙසය. ඒත් කිම් ජොන් උන්ගේ මුරණ්ඩුකම් නිසා ඔහු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ සීමාව ඉක්මවා හැප්පෙන්න යෑමෙන් ඔහුගේ නායකත්වය අස්ථාවර වන ලකුණු චීනයට පෙනිණි. එම අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගෙන ඇමෙරිකාව උතුරු කොරියාවට රිංගා කිම් ජොන් උන් පන්නා තමන්ට හිතවත් පාලකයෙක් පත්කර ගතහොත් චීනය උතුරු කොරියාව තුළ කළ ආයෝජන වතුරේ යන බව චීනයට දැනිණි. දැන් චීනය බලන්නේ ඇමෙරිකාව රිංගන්න කලින් උතුරු කොරියාව තුළ ජන අප්‍රසාදයට පත් වී අස්ථාවර වන කිම් ජොන් උන්ව පන්නා දමා තමන්ට හිතවත් ඔහුගේ සහෝදරයා කිම් ජොන් නාම්ව ඒ සඳහා බලයට ගේන්නටය. කිම් ජොන් උන්ට බලපෑම් කරන්න උතුරු කොරියානු බැංකු සමඟ ගනුදෙනු කරන චීන බැංකුවලට සීමා පනවා ඇත. කිම් ජොන් ඉල් පියාගෙන් පසු රටේ නායකත්වයට පත් වීමට නියමිතව සිටියේ ඔහුගේ වැඩිමහල් පුත් කිම් ජොන් නාම්ය. ඒත් ඔහු ජපාන ගුවන් තොටුපොළේදී හොර විදේශ ගමන් බලපත්‍රයකින් ජපානයට යන්න ගොස් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සිද්ධියෙන් පසු කිම් ජොන් ඉල් ඔහු ගැන බලාපොරොත්තු අත් හැරියේය. පසුව ඔහු චීනයේ රැකවරණ මත මැකාවෝ හා බීජිංහි පදිංචියට ගියේය. දැන් චීනය උත්සාහ කරන්නේ ඔහුව උතුරු කොරියාවේ නායකත්වයට පත් කර ඔහුගේ සහෝදර කිම් ජොන් උන්ව චීනයට ගෙන්වා ගෙන චීනයේ දේශපාලන රැකවරණ මත ඔහුව තියාගන්නටය. එවිට උතුරු කොරියානු ආණ්ඩුව ඇමෙරිකාවට රිංගන්න බැරි ලෙස ස්ථාවර වේ යැයි චීනය සිතයි.


ඇමෙරිකාවත් තමන්ට උපායික වශයෙන් වැදගත් රටවල තමන්ට පක්‍ෂපාතී පාලකයන් අප්‍රසාදයට පත් වෙද්දී කරන්නේ ඒ පාලකයා වැටී රට වෙනත් විදේශ බලවේග අතට යෑමට පෙර පාලකයාට දේශපාලන රැකවරණ දී තමන්ට හිතවත් නව පාලකයෙක් පත් කර ගැනීමය. පිලිපීනයේත්, පාකිස්තානයේත්, ඇමෙරිකාව මෙය කළේය.
"උෟව ඡන්දයෙන් මහින්දගේ ආණ්ඩුවේ වැටෙන ලකුණු පෙනුණොත් චීනයත් ඒ දේම කරයිද...?"
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මහින්ද දන්න හතුරන්ට වඩා නොදන්න මිතුරන්ගෙන් පරෙස්සම් වෙනවා නම් හොඳය.

No comments

Powered by Blogger.