Header Ads

ආණ්‌ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳවැටීම ඇරඹිලා

අපේ රටේ ප්‍රධාන පක්‌ෂ තුනම පසුගියදා පැවති ඌව පළාත් සභා මැතිවරණයට මුහුණ දුන්නේ මීළඟ ජනාධිපතිවරණයට සිදුකරන පෙරහුරුවක්‌ ලෙසටය. එක්‌ එක්‌ පක්‌ෂ ලබාගත් ප්‍රතිඵල අනුව අපේ රටේ දේශපාලන ප්‍රවාහයේ ඉදිරි ගමන් මග පිළිබඳ ආචාර්ය දයාන් ජයතිලකයන් කරන විග්‍රහයකි මේ.

ඌව පළාත් සභා මැතිවරණයේ තම තමන් ලැබූ ප්‍රතිඵල විග්‍රහ කරන ප්‍රධාන පක්‌ෂ තුනම පවසන්නේ තමන් මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බවයි. මෙම විග්‍රහයන් තුළ ඇති තාර්කික - අතාර්කික බව ඔබ දකින්නෙ කොහොමද?

පළමුවෙන්ම සත්‍යය සත්‍යවශයෙන් හඳුනා ගත යුතුයි. ආණ්‌ඩුව ඌව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළා. විපක්‌ෂය පැරදුනා. 2010 ජනාධිපතිවරණයේදී ජෙනරල් සරත් ෆොන්සේකා පොදු අපේක්‌ෂකයා ලෙස සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ගත්තා. නමුත් ඔහු පැරදුනා. දැන් ඒ සියයට 44 පවා අමතකයි. ඌවේදී එජාපය සියයට 40 ක ඡන්ද ප්‍රමාණයක්‌ ගත්තා. එය ජයග්‍රාහී ඡන්ද ප්‍රතිශතයක්‌ නෙමෙයි.

ආණ්‌ඩුව මේ ඡන්දයෙන් දිනුව බව ඇත්ත. නමුත් සදාචාරාත්මකව ආණ්‌ඩුව මේ ඡන්දයෙන් පරාද වූ බව තේරුම් ගන්න ඕන. මේ ඡන්ද ව්‍යාපාරය තිබෙද්දීම ශ්‍රී ල.නි.ප. ය සමුළුව පැවැත්වූවා. ඒ සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ ජන්දය ලක්‌ෂ දෙක හමාරකින් ජයග්‍රහණය කරන බව කිව්ව. නමුත් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ආණ්‌ඩුව ජයග්‍රහණය කරල තියෙන්නෙ ඡන්ද හැට හැත්තෑදාහකින්. ඡන්ද දෙලක්‌ෂ පනස්‌දාහකින් දිනන්න හිතුවත් දිනුවෙ ඡන්ද පනස්‌දාහකට ටිකක්‌ වැඩියෙන්. එනම් මේ ඡන්දය පිළිබඳ ආණ්‌ඩුව තිබ්බ අපේක්‌ෂාවලින් සාක්‌ෂාත් වුණේ අවමයයි. එනම් කොහොමහරි ජයග්‍රහණය කිරීම. ජයග්‍රහණය නම් කළා. නමුත් ඉතාම ඉහළින් මේ ඡන්දෙ ජයග්‍රහණය කරල ඊළඟ ජනාධිපතිවරණයට හොඳ පිම්මක්‌ ගන්නව කියල ආණ්‌ඩුවේ තිබුණු අපේක්‌ෂාව බොල් වුණා. ආණ්‌ඩුවේ ආධිපත්‍යයේ විශාල ගරාවැටීමක්‌ සිදුවෙලා තිබෙන බව මේ ප්‍රතිඵල අනුව ආණ්‌ඩුව තේරුම් ගන්න ඕන.

ජනතාව අතර ආණ්‌ඩුව සිටි ඉහළම තැන දැන් ගිලිහෙමින් යන බවද මේ ප්‍රතිඵල කියාපාන්නෙ?

ආණ්‌ඩුවේ උච්චම අවස්‌ථාව තිබුණෙ 2009 අවුරුද්දේ. ඒ අවුරුද්දේ ආණ්‌ඩුව විශාල ජයග්‍රහණ තුනක්‌ ලැබුවා. එක නන්දකඩාල් කලපුවේදී යුද ජයග්‍රහණය. දෙක ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ලද ජයග්‍රහණය. තුන මැතිවරණ ජයග්‍රහණය 2009 දෙසැම්බර් - 2010 ජනවාරි ජනාධිපතිවරණය. මේ උච්චතම අවස්‌ථාවේ ඉඳන් පසුගිය අවුරුදු 5 තුළදී ආණ්‌ඩුව විශාල ගරාවැටීමක්‌ සිදුවෙලා තියෙනවා. ඒ ගරාවැටීම ආරම්භ වුණේ ජාත්‍යන්තරයෙන්. ඒ 2012 ජිනීවාවලදී. ආණ්‌ඩුව එතනදි පිට පිට තුන් සැරයක්‌ ජන්දයෙන් පැරදුනා. 2009 දී ආණ්‌ඩුවට තිබුණු ජාත්‍යන්තර ඡන්ද පදනම 2012 වන විට ආණ්‌ඩුව විසින්ම නොපිට පෙරළගෙන තිබුණා. ආණ්‌ඩුවේ දෙවැනි පරාජය සනිටුහන් වුණේ උතුරු පළාත් සභා ඡන්දෙදී. එහිදී ආණ්‌ඩුවට විරුද්ධව සියයට 80 ක තරම් ඡන්ද ප්‍රතිශතයක්‌ ටී.එන්.ඒ. සංවිධානයට ලබාගත හැකි වුණා. ජිනීවා ත්‍රිත්ව පරාජය සහ උතුරේදී ලද පරාජයත් නොතකා ආණ්‌ඩුව සිතාගෙන සිටියේ සිංහල බෞද්ධ බහුතරයක්‌ සිටින විශේෂයෙන්ම ගැමි ජනතාව බහුතරයක්‌ ඉන්න රටේ හදවත වැනි පළාත්වලදී කවදාවත් ආණ්‌ඩුව පරාජයට පත්වෙන්නෙ නැහැයි කියලයි. නමුත් දකුණු පළාතේදී ආණ්‌ඩුවේ ඡන්දවල සංකෝචනයක්‌ අපි දැක්‌කා. ඌව ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලිවම පෙනෙන සත්‍යතාව වන්නේ වතුකරයේ දමිළ කම්කරු ඡන්ද නොවන්නට ආණ්‌ඩුව පරදින්නටත් ඉඩකඩ තිබුණු බවයි. වෙනත් විදිහකට කිව්වොත් ආණ්‌ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනම දැන් සංකෝචනය වෙමින් යනවා.

ආණ්‌ඩුවත් සමග ගැටුණු පසුගිය හැම ඡන්දයකදීම එජාපය අන්ත පරාජයක්‌ ලැබුවත් මෙවර ඌව ඡන්දයේදී ආණ්‌ඩුවත් සමග කරට කර සටනක්‌ දීමට එජාපයට හැකිවුණා?

එක්‌සත් ජාතික පක්‌ෂය සාපේක්‌ෂක ජයග්‍රහණයක්‌ මේ ඡන්දයේදී ලබාගත්තා. සියයට 26 කට බැස්‌ස එජාපය අද සියයට 40 කට නැගල. සියයට 40 කියන්නෙ ජයග්‍රාහී ජන්ද ප්‍රතිශතයක්‌ නොවන බව ඇත්ත. 1994 දී ශ්‍රීමා දිසානායක මහත්මිය යටතේ එජාපය ඉතාමත් අමාරු තත්ත්වයක සිට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධව තරග කරද්දී පරාජය වෙමින් ගත් ඡන්ද ප්‍රතිශතය සියයට තිස්‌ අටයි දශම ගණනක්‌. ඌවේදී එජාපය ගත්තෙ ඊට වඩා සියයට එකක වගේ ප්‍රමාණයකුයි. මෙය මහා ජයග්‍රහණයක්‌ නොවුණත් මෙයින් අදහස්‌ කරන්නේ ආණ්‌ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනම පවා සංකෝචනය වෙමින් යන අතර විපක්‌ෂයේ අත්තිවාරම් ඡන්ද පදනම යළිත් පණ ගැන්වී තිබෙන බවයි. එනම් ආණ්‌ඩුවේ බහින කලාව දැන් ආරම්භ වී තිබෙන බවයි.

මීළඟට පවත්වන ඡන්දය ජයග්‍රහණය කිරීම ආණ්‌ඩුවට දුෂ්කර විය හැකි බවද ඔබ කියන්නේ?

ඊළඟ ජාතික ඡන්දයකදී ආණ්‌ඩුවේ පරාජය අනිවාර්ය බව මා ඉන් අදහස්‌ කරන්නේ නෑ. ආණ්‌ඩුව ජයග්‍රහණය කරන්න පුළුවන්. ආණ්‌ඩුව ඊළඟ ඡන්දය ජයග්‍රහණය කළත් දිගුකල් බලය රැකගෙන සිටිමින් සහ පවුලේ එක්‌ පුද්ගලයකුගෙන් පසු පවුලේ තවත් පුද්ගලයකුට ආණ්‌ඩු බලය මාරුවීම සහ ශ්‍රී ලංකාව රාජධානියක ලෙස පාලනය කිරීමේ සිහිනය දැන් හමාරයි. ඌවේදී වළලනු ලැබුවේ ඒ සිහිනයයි.

ආණ්‌ඩුවේ කථිකයන් ඌවේ ඡන්දයේදී රජයේ සංවර්ධන ව්‍යාපෘති හෝ ආර්ථික ජයග්‍රහණයන්ට වඩා දිගින් දිගටම වර්ණනා කළේ ජනාධිපතිතුමාවයි. ජනතාවට කියන්න ආණ්‌ඩුවට වෙනත් දෙයක්‌ නැද්ද?

ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක්‌ තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක්‌ සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්‌තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්‌ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්‌තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල තැන වඩාත්ම දුර්වල වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ. ඒ නිසා ශ්‍රී.ල.නි.ප. ය පසුගිය දශක දෙක තුළදී සිය ඡන්ද ව්‍යාපාරය කළේ චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‌ෂ නමැති විශේෂ නායකත්ව චරිත දෙක ඉදිරියට දමමිනුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජාතිකත්වය පැත්තෙන් විශාල ඌනතාවයක්‌ දක්‌වන නිසා යුද්ධය ජයග්‍රහණය නොකළත් 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මැතිවරණය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණා. අද මේ ආණ්‌ඩුව ඕනෑම මැතිවරණයක්‌ ජයගන්නේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ජනප්‍රියත්වය සහ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ඔහුගේ ඓතිහාසික කාර්යභාරය යොදවමින්. ඒ හැර මේ ආණ්‌ඩුවට කියන්න කිසිම දෙයක්‌ නෑ. මහින්ද රාජපක්‌ෂ සාධකය හැරුණුවිට අද ආණ්‌ඩුවේ සමස්‌ත පාලනයේම තිබෙන්නේ පිරිහීමක්‌. ඌවේදී ආණ්‌ඩුවේ ඡන්ද සංකෝචනයෙන් පෙනෙන්නේ ඒ පිරිහීමයි. සිංහල බෞද්ධ ඡන්ද කියන්නෙ ආණ්‌ඩුවේ අත්තිවාරම් ඡන්ද. ඒ ඡන්දත් අද සංකෝචනය වෙන්න පටන් අරන්.

ඌව කියන්නෙ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් ජීවත්වෙන පළාතක්‌. මේ ජනතාව ආකර්ෂණය කරගන්න ජ.වි.පෙ. ට නොහැකි වුණා පමණක්‌ නොවෙයි දකුණෙදී හෝ බස්‌නාහිරදී ඔවුන් පෙන්වූ ජන්ද පිබිදීම ඌවේදී බිඳවැටුණා?

බිඳවැටීමක්‌ම කියන්න බෑ. ජවිපෙට පුළුවන් වුණා සියයට පහක හයක ඡන්ද ප්‍රතිශතයක්‌ ගන්න. ඔවුන්ගෙත් ප්‍රගතියක්‌ තියෙනවා. නමුත් එය සෑහීමකට පත්වෙන්න බෑ. ජ.වි.පෙ. නව නායකත්වයේ දක්‌ෂතාව දෙස බලන විට අඩුතරමින් සියයට දහයක පමණ වත් ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගත යුතුව තිබුණා. එහෙම නොවුණේ හේතු කිහිපයක්‌ නිසා. ජ.වි.පෙ. නව නායකත්වය ආකර්ෂණීය වන නමුදු පක්‌ෂය තුළ ඇතිවූ පිපිරීම් දෙකෙන් එනම් දකුණට නැතහොත් රැඩිකල් ජාතිවාදී දිශාවට විතැන් වූ විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස්‌ පෙරමුණත් අධි වාම ස්‌ථාවරයකට විතැන් වූ පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයත් නිසා ජ.වි.පෙ. තුළ සිදුවූ සංවිධානාත්මක දුර්වලවීම සම්පූර්ණයෙන්ම පියවාගන්න ජනතා විමුක්‌ති පෙරමුණ තවම අසමත් වී තිබෙනවා. එසේම ජනතා විමුක්‌ති පෙරමුණ විරෝධාකල්ප දේශපාලනයේ සිට සැබෑ වෛකල්පිත දේශපාලනයට තවත් පරිපූර්ණ වශයෙන් සංක්‍රමණය වී නෑ. වඩාත් සරලව කිව්වොත් ජ.වි.පෙ. කළ යුතුව තිබුණේ ආණ්‌ඩුවට දක්‌ෂ හා තියුණු ලෙස පහරදීම පමණක්‌ම නොවේ, යුද්ධය ජයග්‍රහණය කිරීමට තමුන් කළ දායකත්වයත් එසේම පරිවාස ආණ්‌ඩු කාලයේ තමුන්ගේ නායකයන් කටයුතු කළ ආදර්ශමත් ආකාරය ගැනත් යළි යළිත් මතක්‌ කිරීමයි. එවැන්නක්‌ නොකළ බැවින් ඕනෑම රටක සාමාන්‍යයෙන් රැඩිකල් වමේ ව්‍යාපාරයකට ලැබෙන සියයට පහක්‌ වැනි ඡන්ද ප්‍රතිශතයකින් සෑහීමකට පත්වෙන්නට ජනතා විමුක්‌ති පෙරමුණටත් සිදුවී තිබෙනවා. ඇත්තවශයෙන්ම මෙය ශෝචනීය තත්ත්වයක්‌. මෙය වෙනස්‌ කරගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ පියවර ගත යුතුයි.

මේ ඡන්ද ප්‍රතිඵලත් සමග ජෙනරල් සරත් ෆොන්සේකාගේ දේශපාලන ජීවිතය හමාර වී ඇති බව ඇතැමුන් දරන මතයක්‌?

ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ දේශපාලන ව්‍යාපෘතිය විඩාවට පත්වී ඇති බව පෙනෙන්නට ඇතත් ජෙනරල් සරත් ෆොන්සේකාගේ දේශපාලන ජීවිතය හමාර වී නෑ. මේ රට වෙනුවෙන් ඔහුට කළ හැකි විශාල කාර්යභාරයක්‌ තිබෙනවා. ජෙනරල් තුමා සහ තවත් දෙතුන් දෙනෙක්‌ හැර රට හඳුනන පිරිසක්‌ එම පක්‌ෂයේ අපේක්‌ෂකයන් අතර නොසිටීම මේ ප්‍රතිඵලයට හේතුවක්‌. ප්‍රධාන විපක්‌ෂයේ කොටස්‌කරුවකු වුවහොත් සරත් ෆොන්සේකා මහතාට විශාල සේවයක්‌ කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන විපක්‌ෂය විසින් නායකත්ව මට්‌ටමෙන් ඔහුට ප්‍රසිද්ධියේ ආරාධනයක්‌ කළ යුතුයි. ඒ ඇරයුමේදී සඳහන් කළ යුත්තේ අනාගත එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රමුඛ සභාග ආණ්‌ඩුවක ආරක්‌ෂක උප ඇමැතිකම දරන්නේ ජෙනරල් ෆොන්සේකා බවයි. එබඳු ප්‍රතිඥාවක්‌ තුළ ජෙනරල් ෆොන්සේකාට විපක්‌ෂයේ ප්‍රධාන ප්‍රවාහයට එක්‌වීමට අවකාශය විවෘත වනු ඇත.

ප්‍රධාන පක්‌ෂ තුනම ඌව පළාත් සභා මැතිවරණයට මුහුණදුන්නේ මීළඟ ජනාධිපතිවරණයට සිදුකරන පෙරහුරුවක්‌ ලෙසටයි. එක්‌ එක්‌ පක්‌ෂ ලබාගත් මේ ප්‍රතිඵල අනුව ඉදිරි ජනාධිපතිවරණය කෙබඳු මුහුණුවරක්‌ ගනීද?

මීළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතා ජයග්‍රහණය කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වන බවත් මේ ප්‍රතිඵල අනුව පැහැදිලියි. ඇත්තවශයෙන්ම අනාගත ජනාධිපතිවරණයකදී සිදුවන්නේ 1982 ඔක්‌තෝබරයේ ඡේ. ආර්. ජයවර්ධන සහ කොබ්බෑකඩුව ඡන්දය වැනි ප්‍රතිඵලයකි. එදා ඡේ. ආර්. ජයවර්ධන මහතා ලබාගත්තේ සියයට පනස්‌ දෙකයි දශම ගණනකි. ඔහු එම ඡන්ද ප්‍රතිශතය ලබාගත්තේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක්‌ද අතැතිව, මහවැලි ක්‍රමයත් ක්‍රියාත්මක කර, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කර සිය බලයේ උච්චම අවස්‌ථාවේදීය. එබඳු අවස්‌ථාවකදී පවා ලබාගත්තේ සියයට පනස්‌ දෙකයි දශම ගණනකි. ඌවේදීත් ආණ්‌ඩුවට සියයට පනස්‌ එකක්‌ තිබේ. මහින්ද රාජපක්‌ෂ යනු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට වඩා ජනප්‍රිය පුද්ගලයකි. රනිල් වික්‍රමසිංහ යනු හරීන් ප්‍රනාන්දු මහතා ඌවේදී ලබාගත් ජනප්‍රියත්වයට වඩා අඩු ජනප්‍රියත්වයක්‌ ඇති පුද්ගලයකි. ඇත්තවශයෙන්ම එක්‌සත් ජාතික පක්‌ෂය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ජනප්‍රියයි. ශ්‍රී ල.නි.ප. නායකයා එම පක්‌ෂයට වඩා ජනප්‍රියයි. ජනාධිපතිවරණය යනු ද්වන්ධ සටනක්‌ බැවින් එහිදී ජනප්‍රියත්වයෙන් වැඩි පුද්ගලයා නිසැකවම ජයගනී. නමුත් එදා ඡේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනිවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් අර්බුදය ජයගන්නට නොහැකිවූවා සේම මීළඟ ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්‌ෂ මහතා ජයග්‍රහණය කළත් දැනටමත් ඔහු මුහුණ දී සිටින දරුණු අර්බුදය එනම් ඔහුගේ පාලනයට එරෙහිව විවෘත වී ඇති ජාත්‍යන්තර පෙරමුණ සහ රට අභ්‍යන්තරයේ තමාගේ පසුබිමේ සිංහල බෞද්ධ බහුතරයක්‌ සිටින ප්‍රදේශවල පවා සම්ප්‍රදායික විපක්‌ෂය අලු දූවිලි ගසා නැගිට සිටීමෙන් සමාජ මානසිකත්වයේ ඇතිවෙමින් පවතින වෙනස යන අර්බුද දෙක ජයගැනීම මහින්ද රාජපක්‌ෂ මහතාට දුෂ්කර විය හැකියි. වර්තමාන ආණ්‌ඩුවේ පාලනය අභ්‍යන්තර හා බාහිර යන පෙරමුණු දෙකකින් අර්බුදයකට ලක්‌වී තිබෙනවා. මෙම නිසා මීළඟ ජනාධිපතිවරණය මහින්ද රාජපක්‌ෂ මහතා ජයග්‍රහණය කළත් පාර්ලිමේන්තු ජන්දයේදී එම ජනාධිපතිවරණ ජයග්‍රහණයේ ජවය කොතෙක්‌ යොදන්නට උත්සාහ දැරුවත් ජනතා තීන්දුව වෙනත් රජයක්‌ විය හැකියි. අවුරුදු විස්‌සක්‌ පැවති පිළුණු ආණ්‌ඩුවක්‌ තුනෙන් දෙකක බහුතරයක්‌ ලබාගනීවි යෑයි සිතිය නොහැකියි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

No comments

Powered by Blogger.