Header Ads

දැන් තියෙනවා! රජ රටටත් නයිට්‌ ක්‌ලබ්......සිරිමා බෝ සමිඳුන් අභියස රඟන මරඟනන් දුටුවෙමි

අටමස්‌ථාන වැඳ පුදාගැනීමට අපි අනුරාධපුරයට ගියෙමු. ඒ ගිය අතරතුර අනුරාධපුර නගරයේ ත්‍රීවීල් රියෑදුරකු හරි අපූරු ස්‌ථානයක්‌ ගැන අපේ කන තැබුවේය. ඒ අනුරාධපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ අලුතින් විවෘතව ඇති 'නයිට්‌ ක්‌ලබ්' එක ගැනය. අනුරාධපුර නගරයේ නැති දෙයක්‌ නැති බව සැබෑය. එහෙත් රාත්‍රි සමාජ ශාලාවක්‌ නොතිබිණි. දැන් ඒ අඩුවත් සම්පූර්ණ වී ඇත. අනුරපුරට තවමත් 'නයිට්‌ ක්‌ලබ්' අලුත්ය. 'අටමස්‌ථාන නම් කොයි වේලාවක වැඳපුදා ගන්න බැරිද...' මේ නුහුරු අත්දැකීම විඳගැනීමේ අදහසින් අපි නයිට්‌ ක්‌ලබ් ගියෙමු.

කොළඹ සමාජශාලාවක්‌ ඉදිරිපිට නම් මැදියම් රාත්‍රිය වන විට තවත් වාහනයක්‌ නතර කිරීමට නොහැකි තරමට වාහන නතර වී තිබේ. එහෙත් මේ සමාජශාලාව අසල වාහන නතර වී තිබුණේ තුන හතරක්‌ පමණි. නානාප්‍රකාර විසිතුරු ගහකොළවලින් හැඩ වී තිබුණ ඒ හෝටල් භූමිය හරිම ලස්‌සනය. සිරිපොද බේරෙන තුරුපත් සෙවණින් අපි සමාජශාලා පරිශ්‍රයට ඇතුළු වුණෙමු.

'ආයුබෝවන්...' යුරෝපීය ඇඳුමින් සැරසී සිටි මැදිවියේ පුද්ගලයකු අතිශය සුහදශීලීව අපව පිළිගත්තේය...

'ටිකට්‌ එකක්‌ කීයද...' මම ඔහුගෙන් විමසුවෙමි.

'රුපියල් පනසියයි...' සිනාවකින් මුව සරසාගෙන ඔහු උත්තර දුන්නේය. රුපියල් එක්‌දහස්‌ පන්සියක්‌ දී ටිකට්‌ තුනක්‌ ලබාගෙන පසෙක තිබුණු දොරටුවෙන් අපි ඇතුළු වුණෙමු. එතැනත් පුංචි කාමරයකි. හැඩි දැඩි තරුණයකු අපගේ සියොළඟම අතගෑවේය. ඒ පරීක්‍ෂණයෙන් ද අපි සමත් වීමු. කොළඹ සමාජශාලාවකට ඇතුළු වන විටද මේ පරීක්‍ෂණ තිබේ. එහෙත් මේ තරම් සුහදශීලී නැත. එමෙන්ම කොළඹ සමාජශාලාවල මෙන් රෞද්‍ර පෙනුමැති සිනාව ගිලගත් යෝධ පැටවු මෙතැන නැත. අනතුරුව අපගේ සියොළඟ අත පත ගෑ තරුණයා විසින්ම තව දොරක්‌ විවෘත කළේය. ඒ සමග අප වෙතට ගලා ආවේ කන් පැළෙන බටහිර වේග රිද්ම සංගීත රාවයකි.

අඳුර ගලන ශාලාව තුළ නියොන් එළි, විදුලි කදම්බ නළියයි. ශාලාව මැද වේදිකාව තුළ තරුණ තරුණියෝ නටති... සිප වැළඳ ගනිති... එකම ප්‍රීති සාදයකි. අපේ දෙනෙත් ශාලාව පුරා දිව යයි. එතරම් විශාල නැති ශාලාව තුළ ළඟ ළඟ සැප සෝපාවන්ය. එහෙත් හිස්‌ සෝපාවක්‌ සොයාගැනීමට නොහැකි තරම්ය. මත් බඹරුන්ට තුරුලු වූ අඩ නිරුවත් තරුණියෝ කති බොති ප්‍රීති වෙති. පෙම් ගඟුළේ කිමිදෙති. ඇතැම් තරුණියන් තරුණයන්ගේ කර උඩය. අපි ශාලාව පුරා වටයක්‌ ගියෙමු. එහෙත් අසුන් ගැනීමට අසුනක්‌ නැත. අපි එක තැනක සිටියදී දෙනෙත් අසුනක්‌ සොයා ගියේය. එහෙත් දෙනෙත් නතර වන්නේ උඩටත් නැති පහළටත් නැති මිනි ගවුම් ඇඳ ගත් කාන්තාවෝ සේම කෙටි කලිසම්වලින් සහ කෙටි ටීෂර්ට්‌වලින් හැඩ වුණු කාන්තාවන්ගේa අනඟ රැගුම් අතරය. සැබැවින්ම ඒ නර්තනයක්‌ නම් නොවේ බඹන මතින් ගැහැනු නිරුවත පෙන්වමින් තඩි ඇඟ සෙලවීමක්‌ පමණි. ඒ අතරතුරේ ශාලාවේ කොනක අසුනක්‌ හිස්‌ව ඇති බව පෙනිණි. නොපමාව අපි ඒ අසුනට බර තැබුවෙමු. ඒ සමගම වට පිට ඇවිදින මගේ ඇස්‌ එක පාරටම උඩ ගියේය. අප අසුන්ගෙන සිටින සෝපාවට ඉදිරිපස සෝපාව මත වැතිරි සිටින කොට කලිසම් ඇඳ ගත් තරුණ කොල්ලෙකු තඩිම තඩි මහත ගැහැණියකට යටවී සිටියි. තරුණයාගේ ශරීරයෙන් පෙනෙන්නට තිබෙන්නේ කකුල් දෙක පමණි. ඉතිරිය සියල්ල ගැහැණියගේ එල්ලන මසට වැසී ගොස්‌ය. එම සමාජ ශාලාවේ සිටින කාන්තාවන්ගේ බහුතරය මහතය. හීන්දැරි තරුණියන් සිටියේ අතේ අඟිලි ගාණටත් අඩු තරම්ය. කෝලම් මඩුවේ අතරමංව සිටින අප අසලට ද තරුණියන් දෙදෙනකු පැමිණියහ.

' දැන්ද ආවේ...' එසේ අසමින් එක්‌ තරුණියක්‌ අප අසලින් අසුන් ගත්තාය.

'දැන් ටිකක්‌ වෙලා... මට ඔයාව දැකලා පුරුදුයි...' මම ඇයට කීවෙමි.

'කොළඹදි වෙන්න ඇති... මම ඉස්‌සර වැඩ කළේ කොල්ලුපිටියේ ක්‌ලබ් එකක... මෙහෙට සෙට්‌ වුණෙ ළඟදි...' ඇය එසේ කීවාය.

ඇයි කොළඹින් මෙහෙට ආවේ... මෙහේ ගෙවීම් හොඳද... මම එකපිට ප්‍රශ්න දෙකක්‌ම යොමු කළෙමි.

'එහෙම වෙනසක්‌ නෑ. මෙහෙ ටාගට්‌ එකත් වැඩියි... ඒත් කොළඹට වඩා ගමේ ජීවත් වෙන්න ලේසියි. අපිත් ගමේ අයනේ...' ඇය කිසිම පැකිලීමකින් තොරව පිළිතුරු දෙන්නීය.

'මේ ක්‌ලබ් එකට ආපු අලුත් කෙල්ලෝ නැද්ද...' මම නැවත ඇසුවෙමි.

'ඇයි අපි හොඳ නැද්ද...' ඇය තරමක්‌ නොරිස්‌සුම් ගති පෙන්නුවාය.

'නෑ... නෑ... ඔයා හොඳයි. මම නිකමට ඇහුවේ...' මම ප්‍රශ්නය දියාරු කළෙමි.

'ගොඩක්‌ම ඉන්නේ කොළඹ ක්‌ලබ්වල වැඩ කරපු අය. අලුතින් ආපු කිහිප දෙනකුත් ඉන්නවා. කොළඹ ක්‌ලබ්වල වැඩ කරන හැම කෙල්ලක්‌ම ගමේ අය නේ... ගමේ අය ගමට කැමතියි. ඒකයි අපි මෙතැනට ආවේ...

'මෙහේ හොඳද...' මම ඇයට නොදැනෙන්නට ප්‍රශ්න පත්තරය එකිනෙක පෙරලු වෙමි.

වරදක්‌ නෑ... ඒත් ටාගට්‌ එක ලක්‍ෂ දෙකක්‌ වැඩියි. කොළඹ ක්‌ලබ්වල ටාගට්‌ එක රුපියල් ලක්‍ෂයයි. සමහර ක්‌ලබ්වල ටාගට්‌ ඇත්තේම නෑ. දැනට මෙහෙට කස්‌ටමර් හොඳට එන නිසා අවුලක්‌ නෑ...' ඇය වරෙක ගිරවියක්‌ වැනිය.

'අපිට නිකං මෙහෙම කතා කර කර ඉන්න බෑ. අපි මෙතැන ඉන්න නම් මේ ටෙබල් එක උඩ මොනවහරි තියෙන්න ඕනා... මොනවද බොන්නේ...' ඇය තොණ්‌ඩුව අප වෙතට දිගු කළාය.

'මොනවද බොන්න තියෙන්නෙ...' මම ඇයගෙන් ඇසුවෙමි.

'ඔයා ඉල්ලන්න ඕනෑම දෙයක්‌ අපි දෙනවා...' සිනා රැල්ලක්‌ මුවට ළං කරගෙන ඇය එසේ කීවාය. ඒ සමග ඇය මත්පැන් වර්ග කිහිපයකම මිල ගණන් කියාගෙන ගියාය. ඒ සෑම මත්පැන් වර්ගයක මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වල මිල ගණන්වලට වඩා විශාල ලෙස වැඩිය. එක්‌ විදේශීය මත්පැන් බෝතලයක්‌ රුපියල් දහසයදහසකි. අනෙකුත් මත්පැන් බෝතල්ද රුපියල් දසදහසෙන් ඉහළටය. ඩ්‍රෑම් සියයක්‌ රුපියල් එක්‌දහස්‌ හාරසීයේ සිට එක්‌දහස්‌ අටසීය දක්‌වා ඉහළට යන්නේය. කුකුළු මස්‌ දීසියක්‌ රුපියල් එක්‌දහස්‌ පන්සියකි. බියර් බෝතලයක්‌ රුපියල් හත්සියකි. ශක්‌තිජනක පාන ටින් එකක්‌ රුපියල් අටසියකි. බීම, අයිස්‌ක්‍රීම් වර්ග ද අධික මිලය. මෙම ක්‌ලබ් එකේ විකිණෙන සෑම දේකම මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට වඩා මිලය.

'පට්‌ට ගණන්...' මත්පැන්වල මිල ගණන් ඇසෙන විට මට එසේ කියවිනි.

'මුලින්ම අපි ඩ්‍රෑම් සියෙ දෙකක්‌ ගමු...' ඇය තොණ්‌ඩුව ටික ටික සිර කරන්නට සැරසෙයි.

'හරි ඔහොම ඉන්නකෝ... අපි යනකොට ඔයාට වැඩිපුර කීයක්‌ හරී දීලා යන්නම්...' ඇයට තොණ්‌ඩුව හිර කිරීමට මම ඉඩ නොදෙමි.

'කොහොමද සයිස්‌ එක...' මම ඇයට මහත කාන්තාවක්‌ පෙන්වමින් සිනාසුනේය.

'මෙතනට විවිධ අය එනවානේ... සමහර අය මහත අය හොයනවා... තව අය කෙට්‌ටු උස අය හොයනවා... තව සමහරු ටිකක්‌ වයස අය හොයනවා... ඒ සේරටම ගැලපෙන අය මෙතැන ඉන්නවා... කොළඹ ක්‌ලබ්වල වගෙ නෙමෙයි මෙහෙට එන තරුණ කොල්ලෝ හොයන්නේම මහත අයව...' ඇය අපේ කතාවට අලුත් මාතෘකාවක්‌ එකතු කළාය.

'එහෙනම් අනුරාධපුර කොල්ලෝ වැඩියෙන්ම කැමති මහත අයට...'

'ඔව් එහෙම තමයි... කෝ ඉතිං ඔයාලා තවම මොනවත් ගත්තේ නෑනේ... එහෙම නෙමෙයි මෙහෙට එන කස්‌ටමර්ලා හොඳට වියදම් කරනවා. අපිටත් හොඳට සලකනවා. එහෙම සලකනකොට අපිත් කස්‌ටමර්ට දෙන්න තියෙන හැම දේම දෙනවා...' ඇය ඇත්ත ඇති සැටියෙන්ම කියන්නීය.

බඹරුන් මෙන් ශාලාව තුළ එහෙට මෙහෙට දුවන පනින නටන හැම තරුණයෙක්‌ම වැඩි වයසක්‌ නැති ගානය. බොහෝ තරුණයෝ හැඳ සිටින්නේ ද කොටකලිසම්ය. ඔවුන්ගේ හැසිරීම රටාවද කියා පාන්නේ ඔවුන් තවමත් නයිට්‌ ක්‌ලබ්වලට කෝඩුකාර බවය. මහත ගසක එතුණු වැල් මෙන් ඇතැම් පුංචි කොල්ලෝ ගෑනුන්ගේ ඇඟ වේලී සිටින්නාහ.

'ඩ්‍රෑම් සියේ දෙකක්‌ ගේන්නද...' ඇය නැවත පරණ තැටියම දැම්මාය.

'වැඩියෙන්ම ඉන්නේ තරුණ කොල්ලෝ නේද...' ඇය කියන දේ නොඇසූ ගාණට මම ප්‍රශ්න කළෙමි.

'ඔව්... ඔව්... පොඩි කොල්ලෝ තමයි... ඔයලා වගේ ලතවෙන්නේ නෑ... හොඳට වියදම් කරනවා. කොළඹ අය කට්‌ටයෝ... රුපියලක්‌ වියදම් කරලා දහදහක විතර ආතල් ඉල්ලනවා... එකයි අපි ගමට ආවේ... ගමේ මිනිස්‌සු අවංකයි... අපෙන් ගන්න දේට වඩා දෙගුණයක්‌ අපට දෙනවා. වක්‌කඩේ කැඩුණ වගේය. ඇය එක දිගට කියාගෙන ගියාය. එනපොට හොඳ නැත. දැන් නම් මොනව හරි ගන්නම වෙන හැඩය.

'අපි මුලින්ම බියර් බොමු...' ඇයගෙන් තවත් බොහෝ දේ දැනගැනීමට ඇවැසිය. එහෙයින් අප ඇයව රඳවාගත යුතුය.

'මම නම් බියර් බොන්නේ නෑ. විස්‌කි විතරයි. ඔයා බියර් බොන්න මට විස්‌කි ඩ්‍රෑම් සියයක්‌ අරන් දෙන්න...' තත්ත්වය දරුණුය. වියදම වැඩිය.

'ඔයාට යනකොට හොඳට ගෙවන්නම්...' මම ද ඇයට ලොසින්ජරයක්‌ දුන්නෙමි.

'බොරු කියලා පැනලා යන්නේ නෑ...' ඇය ඒ යෝජනාවට කැමති විය.

'මෙතනට එන්නේ අනුරාධපුරේ හොඳ සල්ලිකාරයන්ගේ පුත්තු වෙන්න ඇති...' මම නැවත ප්‍රශ්න පත්තරය දිගහැරුවෙමි.

'අනුරාධපුරේ විතරක්‌ නෙමෙයි කැකිරාව දඹුල්ල, පොළොන්නරුවේ ගම්වල අයත් මෙතැනට එනවා. මේ පැතිවල මිනිස්‌සුන්ට මෙතන අලුත්. ඒ නිසා ඒ අයත් එක්‌ක අපිට ගනුදෙනු කරන්න ලේසීයි. ඔයලා වගේ තැම්බිලා නෑ...' ඇය මොත්තේ පාරකින් මගේ අත්ල තැලුවාය.

'වන්දනාවේ එන අය එන්නේ නැද්ද...' මම නැවත පෙරළා ප්‍රශ්නය දැම්මේය.

'ඔයා මේ ක්‌ලබ් එකේ චරිත සහතිකය ලියන්නද හදන්නේ... වෙන මොනවත් නැද්ද කතා කරන්න...' ඇය නැවතත් නොරිස්‌සුම් හඬින් කතා කළාය. වන්දනාවේ එන්නේ ඔයලා වගෙ අයනේ... ඒ අයට මේ ආතල් එක කොළඹදී උනත් ගන්න පුළුවන්නේ... වන්දනාවේ එන අය වැඩිය එන්නේ නෑ. අනිත් එක මේ ක්‌ලබ් එක ගැන තවම හරියට මිනිස්‌සු දන්නේ නෑ... ක්‌ලබ් එක පටන් අරගෙනත් තවම අවුරුද්දක්‌වත් නෑනේ...' ඇය මායම්කාරියක්‌ වුවත් ඇත්ත කතා කරන්නීය.

'කොළඹ ක්‌ලබ්වල නිතර නිතර ගහ මරා ගන්නවා... මෙහේ එහෙම රණ්‌ඩු කරන අය නැද්ද...' මගේ ප්‍රශ්න පත්තරය ඉවරයක්‌ නැත.

'රණ්‌ඩු කරලා මෙහෙන් යන්නේ බෑ. අනිත් එක අපේ බොස්‌ව දන්න කෙනෙක්‌ රණ්‌ඩු කරන්නෙත් නෑ. මම ආපු දවසෙ ඉඳල මෙතැන කවුරුවත් රන්ඩු කරන්න හදලා නෑ...' ඇය මුහුණට නිර්භීතකම ආරුඪ කර ගත්තාය.

'ඒ කියන්නේ ඔයාලගේ බොස්‌ අනුරාධපුරේ චණ්‌ඩියෙක්‌...'

'වෙන්න ඇති... ගොඩක්‌ අය අඳුරනවා...' ඇය ඔවුන්ගේ බොස්‌ගෙ නම අපට කීවාය. එහෙත් මේ සටහනට පෞද්ගලික නාම ඇවැසි නැත. අපට ඇයගෙන් ගත යුතු සියලුම තොරතුරු ලබාගෙන අවසානය.

දවස පුරා හේන් කොටපු මිනිස්‌සු වෙහෙස මහන්සිය නිවාගන්නට රාත්‍රියට නයිට්‌ ක්‌ලබ් එති. 'අනේ අපෙනුත් මල් ගන්න කෝ...' කියා උදේ ඉඳන් හවස වනතුරු පූජා භූමියේ මල් විකුණන මල් කොල්ලො රාත්‍රියට මල් සල්ලි නයිට්‌ ක්‌ලබ් එකට පූජා කරති. මේවා දකින අපට ආතල් එකටත් එහා ගිය අමුතුම කිතියකින් ඇඟ හිරි වැටී යන්නේය.

එහෙත් නයිට්‌ ක්‌ලබ් ලෝකයට අලුත් දෙයක්‌ නොවේ. අපේ රටටද අරුමයක්‌ නොවේ. කොළඹ හතු පිපෙන තරමට නයිට්‌ ක්‌ලබ් තියෙන්නේය. මිනිස්‌සුන්ට විසි කරන්නට මුදල් ඇත්නම් 'නයිට්‌ ක්‌ලබ්' නොව ඊට එහා තැනකට ගියද ගැටලුවක්‌ නැත. එහෙත් ගැටලුව ඇත්තේ සිරිමා බෝ සමිඳු වැඩ සිටින අනුරාධපුරය වැනි පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ ආරම්භ කිරීම කොතරම් සාධාරණද යන්න අපට අසන්නට ඇත්තේ කාගෙන්ද? ඒ ටිකත් අපට කියන්නට සිටින්නේ විසූක දස්‌සන පිරුණු මේ සමාජ ශාලා බිම ආසන්නයේම වැඩහිඳිනා සිරිමා බෝ සමිඳුට පමණයි.

තරංග රත්නවීර - දිනේෂ් විතාන

No comments

Powered by Blogger.