Header Ads

විජයාරාමයේ අසිරිමත් භික්ෂු රූප දර්ශනය වීම් මිථ්‍යාවකැයි ඉවත හෙළිය යුතු නැහැ -- පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක

(ඉන්දු පෙරේරා)

අනුරාධපුර විජයාරාම වනපෙතේ සෘද්ධිමත් භික්ෂූන් වහන්සේලා දර්ශනය වන බවට ඔබටත් කරුණු දැන ගන්නට ලැබි තිබෙනවාද?

අවස්ථා කිහිපයකදීම එවැනි තොරතුරු මටත් දැන ගන්න ලැබුණා. මාධ්‍ය මගින් වගේම ඒ පරිශ්‍රයට සම්බන්ධ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ නියුතු අයගෙනුත්. විජයාරාම පුරාවිද්‍යා ස්ථානයේ දැනට ගවේෂණ කටයුතු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්. එහි අධීක්ෂණ
කටයුතු භාරව සිටින මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ අනුරාධපුර ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංගගෙන් මං මේ ගැන අහල බැලුවා. එවිට දැන ගන්න ලැබුණු කරුණු අනුව බාහිර අය වගේම ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කරන ඇතැම් අයත් එවැනි අත්දැකීම් ලබා තිබෙනවා.

අපේ රටේ පුරාවිද්‍යා ස්ථානවලින් එවැනි සිද්ධීන් මීට පෙරත් වාර්තා වී තිබෙනවාද?
මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු කාලයේ  ඉඳලා අද වන තුරුත් ලද එවැනි අත්දැකීම් ගැන අහන්න ලැබිලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියටත්, පුරාවිද්‍යාඥයකු හැටියටත් ඔබ ඒ ගැන මොනවද හිතන්නේ?
පුරාවිද්‍යාව කියන්නේ මුළුමනින්ම භෞතික සාධක මත පදනම් වුණු පරීක්ෂණ, නිරීක්ෂණ නිගමන යන විද්‍යාත්මක සාධක මතින් පමණක් කරුණු ඉදිරිපත් කෙරෙන විද්‍යාවක්. එනිසා පුරාවිද්‍යාඥයකු ලෙස ඔය කියන දේවල් පුරාවිද්‍යාවට අනුව ග්‍රහණය කර ගන්න බෑ. නමුත් මා පෞද්ගලිකව විශ්වාස කරනවා භෞතික සහ විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි එවැනි දේවලුත් අප ජීවත් වන විශ්වයේ තිබිය හැකි බව. එය අපගේ පර්යේෂණ
ක්‍ෂේත්‍රයට අදාළ නෑ. එය වෙනම විෂය ක්‍ෂේත්‍රයක්.

නමුත් පසුගිය දිනවල ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සභාව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔබ අප රටේ මේ දිනවල ශීඝ්‍ර ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙන රාවණා සංකල්පය මිථ්‍යාවක් වශයෙන් මුළුමනින්ම බැහැර කොට තිබෙනවා.
රාවණා වෘත්තාන්තය විවිධ
ක්‍ෂේත්‍රයන් ඔස්සේ විමසුමට ලක් කළ හැකි දෙයක්. විශේෂයෙන් ඒ වෘත්තාන්තය තුළ ඇති මානව විද්‍යාත්මක වැදගත්කම ඉවත හෙළන්න බැහැ. ඒ අනුව රාවණා වෘත්තාන්තය යනු මානව ඉතිහාසයේ කිනම් හෝ ආදිතම යුගයක ඇති වූ සමාජ ප්‍රපංචයක් සංකේතය කෙරෙන මනරම් වෘත්තාන්තයක් විය හැකියි. ඒ අනුව අපට නිමනය කළ හැක්කේ රාවණා වෘත්තාන්තය පූර්ණ අසත්‍යයක් සේ බැහැර කිරීමට සේම පූර්ණ සත්‍යයක් සේ පිළිගැනීමට ද නොහැකි කතා පුවතක් බවයි.

එසේ නම් ඔබ රාවණා වෘත්තාන්තයේ වැදගත් සන්ධි ස්ථානයක් සනිටුහන් කරවන දඬු මොනර සංකල්පය මිථ්‍යාවක් ලෙස බැහැර කරන්නේ ඇයි ?
පුරාවෘත්ත කියන්නේ එකක්; ඉතිහාසය සහ පුරා විද්‍යාව කියන්නේ ඊට සෘජු සම්බන්ධතාවක් නැති විෂයන්
දෙකක්. ඒ අනුව ක්‍රිස්තු පූර්ව හය දහසේ දී පමණ අප රටේ රජකම් කළ රාවණා නම් රජ කෙනකු සම්බන්ධ පුරා විද්‍යාත්මක සාක්ෂි සොයා ගත හැකි ද ? කියා මගෙන් ඇසුවොත් ඒ යුගය සම්බන්ධයෙන් දැනට පුරා විද්‍යාත්මකව අනාවරණය වී ඇති කරුණු ඉදිරිපත් කිරීමට මට සිදුවෙනවා. ඒ ඔස්සේ තමයි ඔය දඬු මොනර සංකල්පය සත්‍යයක් නොවන බව තහවුරු වන්නේ.

එසේ තහවුරු වන්නේ කොහොමද?
පූර්ව ෙඓතිහාසික සහ ප්‍රාග් ෙඓතිහාසික යුගවල මෙහි විසූ මානවයන් පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. එම මානව ජනාවාසවලින් ලබා ගත් නියැදි කාබන් 14, ටී.එල්.ආර්. වැනි නවීන තාක්ෂණික
ක්‍රම ඔස්සේ පර්යේෂණයන්ට ලක් කොට ඒ සම්බන්ධ කාල නිර්ණ වාර්තා ද ලබා ගෙන තිබෙනවා. ඒවා මුළු ලෝකයම පිළිගන්නා අතිශය නිවැරදි වාර්තා වශයෙනුයි සැලකෙන්නේ, ඒ අනුව ක්‍රිස්තු පූර්ව හය දහස වැනි යුගවල අප රටේ විසූ නොදියුණු මානවයන් පිළිබඳ විවිධ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් තිබෙනවා. නමුත් ඒ කාලයේ අහසින් ගමන් කළ හැකි යන්ත්‍ර තිබූ බව හෝ දියුණු ශිෂ්ටාචාරයක්
පැවැති බව අපට කෙසේවත් සනාථ කරන්නට බැහැ.

රාවණා කතාව පසෙකින් තබමු. රුවන්වැලි සෑය මුල්කරගෙනත් අසිරිමත් භික්ෂු රූප දර්ශනය වන බව රුවන්වැලි සෑ විහාරාධිපති නාහිමියන් පසුගිය සතියේ “ඉරිදා ලක්බිම”ට පවසා තිබුණා.
රුවන්වැලි සෑය සම්බන්ධ එවැනි සිදුවීම් කිහිපයක් මටත් අසන්නට ලැබි තිබෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම මගේ මතකයෙහි රැඳුණු සිද්ධියකුත් තිබෙනවා.

ඒ කුමක්ද?
මීට වසර කීපයකට කලින් රුවන්වැලි සෑයේ විශේෂ උත්සවයකට ගිය අපේ දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පී අර්ජුන සමරවීර උත්සවයට පෙර දින රාත්‍රියේ රාජකාරි කටයුතු සඳහා රුවන්වැලි සෑ මළුවෙහි ගත කළා. රාත්‍රී දොළහ ඉක්ම වූ පසු රුවන්වැලි සෑය වන්දනා කිරීමට පිටතින් පැමිණි වන්දනා නඩයක් එම මළුවේ බුදුන් වඳිමින් හිඳ තිබෙනවා. අර්ජුන මේ අයගේ පින්තූරයක් ගන්න කැමරාව සූදානම් කරන විටම මුළුමනින්ම සුදු වතින් සැරසුණු අති විශාල වන්දනා නඩයක් එකවරම රුවන්වැලි සෑ මළුවේ දර්ශනය වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම මළුවේ බිම දිගාවෙලා ස්ථූපය වන්දනා කරනු අපේ ඡායාරූප ශිල්පී අර්ජුන දැක තිබෙනවා. ඔහු හැකිතාක් ඉක්මනින් එය ඡායාරූප ගත කරලා. එසැනින්ම වගේ අර පිරිස නොපෙනී ගිහින්. අර්ජුන කැමරාව පරීක්ෂා කර බලන විට මළුවේ කලින් සිටි වන්දනා නඩය මිස අර පිරිස ඡායාරූපයට නැංවී නෑ. විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි වුණත් එවැනි දේවල් සිදුවෙනවා. ඒ අනුව මේ ලැබෙන තොරතුරු මත ඒවා වැඩිදුර ගවේෂණය කළ යුතුයි.

නමුත් මෙවැනි දර්ශන මනෝ  භ්‍රාන්ති සහ මායාත්මක දර්ශන ලෙසයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. ඒ නිසා එවැනි දේවල් පිළිබඳ වැඩිදුර පර්යේෂණ
කිරීම අනුවණ කමක් ලෙස සමහරු සලකනවා?
මම නම් හිතන්නේ කිසියම් දෙයක් සම්බන්ධයෙන් පරීක්ෂණ
හා නිරීක්ෂණ නොකර පූර්ව නිගමනවලට එළඹීමයි අනුවණකම කියන්නේ. මනෝ විද්‍යාත්මක සාධක මුල්කර ගත්තොත් සමහර පුද්ගලයන්ට එවැනි දේ පෙනෙන්න පුළුවන්. නමුත් මනෝ විද්‍යා ක්‍ෂේත්‍රයෙන් බැහැරවත් එවැනි දේවල් විය හැකිද යන්න ගැන පරීක්ෂණ කළ යුතුයි. මා දන්නා තරමින් ලෝකයේ දියුණු රටවල එබඳු පර්යේෂණ සිදුවෙනවා. ඒවාට තහංචි පනවන්නෙවත්, අපහාස උපහාසවලට ලක් කරන්නෙවත් ඒ සංසිද්ධීන් පිළිබඳ පූර්ව නිගමනවලට එළඹෙන්නෙවත් නෑ. එසේ කිරීම විද්‍යාත්මක හා ශාස්ත්‍රීය වශයෙන් නිවැරදි ක්‍රමයක් නොවෙයි.

ඒ අනුව විජයාරාමයේ ඇතැයි කියන මේ අසිරිමත් දර්ශන මුල්කරගෙන කිසියම් කෙනෙක් පරීක්ෂණයක් කිරීම සඳහා ඉදිරිපත් වුණොත් ඔබ ඒ සඳහා සහය දක්වනවාද?
විජයාරාමය ඇතුළු පුරාවිද්‍යා රක්ෂිත සම්බන්ධයෙන් පුරාවිද්‍යා ආඥා පනත බලාත්මක වෙලා තියනවා. එම ආඥා පනත උල්ලංඝනය කරන ක්‍රියාවලින් සපුරාම වැළකිලා එවැනි කටයුත්තක් කරනවා නම් රාජකාරි වශයෙන් වගේම පෞද්ගලිකවත් ඒ සඳහා යම් සහයක් දැක්වීමට මට පුළුවන්.

ආධ්‍යාත්මික කටයුතු සඳහා යන්ත්‍ර තැනීම මිනිසත් බවේ
මළගම උදාකරලීමකි තිලක් සේනාසිංහට පිළිතුරක්

 මහාචාර්ය දයා අමරසේකර

‘අනුරපුරෙන් මතුවන ගුප්ත ලෝකය’ යනුවෙන් ‘ලක්බිම ඉරිදා සංග්‍රහයේ’ පළවන ලිපි පෙළ ආධ්‍යාත්මවේදය සම්බන්ධයෙන් මෑතකදී පළවුණු පුවත්පත් ලිපි අතරින් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු ලිපි පෙළක් බව අප දන්නා විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු තවත් බොහෝ විද්වතුන්ගේ ‍පොදු නිගමනය වී තිබේ. ආධ්‍යාත්මවේදය යන විෂය වල් බිහිවන අන්දමේ අවිචාරවත් මාධ්‍ය භාවිතයකින් යුතු වර්තමානයේ එවැනි උසස් ගුණාත්මක බවින් පිරිපුන් ලිපි පෙළක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉරිදා ලක්බිම කර්තෘ තුමන්ටත්, ඒ සඳහා තම බුද්ධිමය ශ්‍රමය කැප කිරීම සම්බන්ධයෙන් මා මිත්‍ර මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන්ටත් පළමුකොට
මගේ ස්තූතිය පුද කරමි. එමෙන්ම ‘සෘද්ධි බලය කෙසේ වෙතත් අනාගතයේ ආධ්‍යාත්මික කටයුතු සඳහාත් යන්ත්‍ර තැනේවි’ මැයෙන් තිලක් සේනාසිංහයන් විසින් පසුගිය නොවැම්බර් 9 වැනි ඉරිදා ලක්බිමෙහි පළකොට තිබූ ආන්දෝලනාත්මක ලිපියට පිළිතුරක් ලෙස මෙය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.
මිනිසාගේ බුද්ධිමය ඌනතාවන් මගහරවා ගැනීම සඳහා මිනිසාගේ බුද්ධිය අනාගතයේදී යන්ත්‍රවලට පැවරෙන බව දැක්වෙන අදහසක් ඔහු එම ලිපියෙන් ඉදිරිපත් කොට තිබිණි. ඔහු එයින් පවසා තිබුණේ ෙජෙවමය මොළයකට වඩා සිය දහස් ගුණයකින් වේගවත් හා නිවැරදි ක්‍රියාකාරීත්වයෙන් යුතු යාන්ත්‍රික මොළයක් අනාගතයේදී බිහිවන බවකි. ඔහු මෙම අදහස් ඉදිරිපත්කොට තිබුණේ හුදෙක් තමාගේ අදහසක් අනුව නොවේ. ලෝකයේ නවීන තාක්ෂණය දියුණුව පිළිබඳ යම් කරුණු හැදෑරීමකින් බව පෙනේ. ඇමෙරිකානු ග්‍රන්ථ කතුවරයකු, පරිගණක විද්‍යාඥයකු, නව නිපැයුම්කරුවකු සේ ම අනාගතවාදියකු සහ සුප්‍රකට ගූගල් සමාගමේ ඉංජිනේරුවකුද වන රේ කර්ස්වෙයිල් විසින් 1999 වසරේදී ලියා පළකරනු ලැබූ ‘ආධ්‍යාත්මික යන්ත්‍ර යුගය’ නම් කෘතියෙහි මේ සම්බන්ධව දක්වා ඇති කරුණු සේනාසිංහයන් මෙම අදහස් ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගෙන තිබුණි. මෙය විද්‍යාත්මක සාධක පසුබිම් කොට ගනිමින් ඉදිරිපත් කළ සංකල්පයක් වුව ද එය ද විද්‍යාව මගින් තවමත් සියයට සියයක්ම තහවුරු කොට නොමැත.
නමුදු සේනාසිංහයන්ගේ ලිපිය කියැවූ සැනින් මාගේ හදවත ප්‍රකම්පනයට ලක්වුණු අතර එය කියැවූ ඕනෑම කෙනෙකුගේ හදවත්ද ප්‍රකම්පනයකට ලක්වීම කිසිසේත්ම වැළැක්විය හැක්කක් නොවේ. මන්ද සේනාසිංහයන් මෙයින් ඉදිරිපත් කරන විද්‍යාත්මක අනාවැකියට අනුව මෙය අනාගතයේදී සිදුවන්නට යම් ඉඩකඩක් ඇත්නම් හා එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ බුද්ධිමය හා ආධ්‍යාත්මික කටයුතු යන්ත්‍රවලට බාර දෙන්නේ නම් මනුෂ්‍යත්වයේ මළගම ද ඒකාන්ත වශයෙන් එදිනම සිදුවීමය.
‘මිනිසා’ යන්න සිංහලෙන් අර්ථ දක්වා ඇත්තේ ‘මනසින් උසස්’ හෙවත් ‘මන+උස්’ යනුවෙනි. එවැනි මනැසින් උසස් සත්වයෙකු සිය මනස ද යන්ත්‍රයකට පවරන්නේ නම් ඉන් ඔබ්බට තවදුරටත් මෙලොව මිනිස් බවක් ඉතිරිවේද? යන ගැටලුව මෙහිදී නිතැතින්ම පැන නැගේ. කෙසේ නමුත් තිලක් සේනාසිංහයන් මෙවැනි අදහසක් ඉදිරිපත් කොට අපගේ මනස් ප්‍රකම්පනයකට ලක් කළද, එය සමනය කරගත හැකි සතුටුදායක කරුණු ද අප සතුව පවතී. සේනාසිංහයන් වැනි හේතුවාදයට නැඹුරුව අදහස් දක්වන්නවුන්ට කෙසේ වෙතත් අප ජීවත්වන විශ්වය පිළිබඳව විඥානවාදී සහ ආධ්‍යාත්මවේදී සංකල්ප දරන ‍පොදු ජනතාවගේ හිතසුව පිණිස එම කරුණු මෙලෙස ගොනුකරනු කැමැත්තෙමි.
ඇපල් යනු ලෝකයේ පරිගණක හා මෘදුකාංග නිෂ්පාදනය අතින් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන ප්‍රධාන පෙළේ සමාගමකි. එහි නිෂ්පාදන මේ වන විට ලොව පුරා සිය ආධිපත්‍යය පතුරුවා හමාරය. එය අද පවතින තත්ත්වයට ගෙන ඒමට සිය ජීවිතයම කැප කළ පුද්ගලයකු වූයේ එහි ප්‍රධාන විධායකවරයා ලෙස සේවය කළ, 2011 වසරේ මෙලොවින් සමුගත් ස්ටීව් ජොබ්ස් ය.
තිලක් සේනාසිංහයන් ඉදිරිපත් කළ අදහසට අනුව නම් මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුව යන්ත්‍රවලට පැවරීමේ කර්තව්‍යයේ ජයග්‍රාහී පෙරගමන්කරුවා විය යුත්තේ ස්ටීව් ය. මන්ද අනාගතයේ බිහිවන යාන්ත්‍රික බුද්ධියේ පදනම වන්නේ පරිගණක මෘදුකාංග වන බැවිනි. නමුත් ස්ටීව් සිදුකළේ තිලක් සේනාසිංහයන් අපේක්ෂා කළ පරිදි ආධ්‍යාත්මික කටයුතු පාලනය කළ හැකි යාන්ත්‍රික මනසක් සහිත මෘදුකාංගයක් නිර්මාණය කිරීම නොවේ. ඔහු කළේ සිය ආධ්‍යාත්මික සුවය සොයා ඇපල් සමාගමින් ඉවත්වී සෙන් බුදු දහමේ ඇසුර ලැබිමය. නමුත් ඔහුට තමන් සතු මෘදුකාංග හා දෘඪාංග දැනුම උපයෝගීකොට ගනිමින් යාන්ත්‍රික බුද්ධියක් නිර්මාණය කරන්නට ඕනෑවටත් වඩා හැකියාව තිබිණි. එහෙත් ඔහු තිලක් සේනාසිංහයන් හෝ රේ ක්ර්ස්වෙයිල් 1999 පැවසූ පරිදි ආධ්‍යාත්මික කටයුතු සඳහා ද යාන්ත්‍රික බුද්ධියක් නිර්මාණය කරන්නට උත්සාහ කරනවාට වඩා ස්ටීව් යොමු වූයේ සියලු යන්ත්‍රවලින් ඈත්ව බුදු දහමෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවයට සමීප වීමය. එය ඔහුගේ මනැසේ දියුණු බව සේම ශ්‍රේෂ්ඨ බව ද මැනවින් කියා පාන්නකි.
මෙයින් පෙනෙන්නේ තිලක් සේනාසිංහයන් සහ ඔහු අදහන රේ කර්ස්වෙයිල්ට වඩා ස්ටීව් ජොබ්ස් ආධ්‍යාත්මික වශයෙන් ඉතා ඉහළ මට්ටමක පසුවූ අයකු බවය. මේ අනුව අනාගත ලෝකයේ මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇතිකරගත හැකි වන්නේ මේ ආකාරයට ආධ්‍යාත්මික යන්ත්‍රයක් නිර්මාණයෙන් නොව ආධ්‍යාත්මික සුවය තම හැකියාවෙන්ම සාක්ෂාත් කරගැනීමෙනි. ස්ටීව් ජොබ්ස් සිදු කළේ ද සියලු භෞතික යන්ත්‍රවලින් ඉවත්ව සිය ආධ්‍යාත්මික දියුණුව තමා විසින්ම සොයාගෙන යාමය. බැවින් ස්වකීය හැකියාවෙන් ආධ්‍යාත්මික දියුණුව ළඟා කරගත් බලවත් පුද්ගලයන් වර්තමානයේද හිඟ නොවන බව මෙයින් පසක් වෙයි.
අනුරාධපුර විජයාරාමයේ භික්ෂූන් වහන්සේලාගේ රූප දර්ශනය වීම වැනි සිදුවීම් පසුපස ඇති ආධ්‍යාත්මික කරුණු අනාගතයේ බිහිවන ස්ටීව් ජොබ්ස්ගේ පරපුරේ අනුගාමිකයන් විසින් හෙළිපෙහෙළි කරගනු ඇත. ඒ අනුව මිනිසා සිය විමුක්තිය කරා යා යුත්තේ තිලක් සේනාසිංහයන් හෝ රේ කරස්වෙයිල් පවසන පරිදි ආධ්‍යාත්මික යන්ත්‍ර යුගය, හෙවත් තවත් අයුරකින් පැවසුවහොත් මිනිසාගේ මළගම උදාකරන යන්ත්‍ර යුගය ඔස්සේ නොව ස්ටීව් ජොබ්ස්ගේ මාර්ගය ගැනීමෙනි. එය තමන්ගේ විමුක්තිය තමන් විසින්ම සපයා ගත යුතුය. අන්කවරකු ඊට පිහිට වේද?
‘අත්තා හි අත්තනෝ නාථෝ
කෝ හි නාථෝ පරෝසියා’
යන බුදු වදන තවදුරටත් සනාථ කරවීමකි. මගේ අති ප්‍රබල විශ්වාසය අනුව මෙම මාර්ගය ඔස්සේ මිනිස් බුද්ධියේ අසිරිමත් විප්ලවයක් ඉදිරියේදී දැනගත හැකිවනු ඇත.
කෙසේ හෝ අනුරාධපුර විජයාරාම ආරාමික වනපෙතේ භික්ෂූන් දර්ශනය වීම පිළිබඳව ඉදිරියේදී ස්ථානීය ගවේෂණයක් කරන්නට මා බලා‍පොරොත්තුවෙන් සිටින අතර ඉන්පසුව මා ලත් අව්‍යාජ අත්දැකීම් එහිදී ‘ලක්බිම’ පාඨකයන් වෙත ගෙන ඒමට ද බලා‍පොරොත්තු වෙමි. එහිදී මා මිත්‍ර මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් හට ද මගේ එම ආ ධ්‍යාත්මික අත්දැකීම පිළිබඳව තම හේතුවාදී පාර්ශ්වයෙන් තවදුරටත් කරුණු දැක්වීමේ අවස්ථාවද  උදාවනු ඇත.

No comments

Powered by Blogger.