Header Ads

ආණ්‌ඩුව හදන්නේ රෑ වැටුණු වළට මහ දවාලේම පනින්නයි

බැලස්‌ටික්‌ මිසයිල පවා යෑවිය හැකි චීන න්‍යෂ්ටික සබ්මැරීනයක්‌ කොළඹ වරායට පැමිණීම පසුගිය සතියේ ඉන්දියාවේ විශේෂ අවධානයට යොමු වූ කාරණයකි. තම සබ්මැරීනයක්‌ ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව කලබල නොවිය යුතු යෑයි චීන බලධාරීන් ප්‍රකාශ කළත් මහ බලවතුන්ගේ කැලඹීමට හේතුවන මෙබඳු සිදුවීම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අවාසිදායක බව දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ආචාර්ය දයාන් ජයතිලක පවසයි. ඉන්දියාව හා චීනය සමග මැද මාවතක ගමන් කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම ඔහු හඳුන්වන්නේ රෑ වැටුණු වළට මහ දවාලේ දුවගෙන ගොස්‌ පනින්නට දරන ප්‍රයත්නයක්‌ හැටියටය.

ශ්‍රී ලංකාවට පැමිණි චීන සබ්මැරීනය ගැන ඉන්දියාව විශේෂ අවධානයක්‌ යොමු කරල තියෙනව?

ඉන්දියාවේ මේ කලබලවීම ඕනෑම මහ බලවතෙක්‌ දක්‌වන ආකාරයක්‌ ලෙස දකින්නට අපට සිදුවෙනව. ඇමරිකා එක්‌සත් ජනපදය ගත්තත් තමුන්ගේ බල ප්‍රදේශය යෑයි සිතන තැනක තමුන්ගේ ප්‍රතිමල්ලවයෙක්‌ හෝ තරගකරුවෙක්‌ මෙබඳු හැසිරීමක්‌ දැක්‌වුවහොත් ඔවුනුත් කලබල වෙනව. කලබල වෙලා යම් යම් තීරණත් ගන්නව. රුසියාව තමුන්ගෙ පරිවාරය යෑයි සිතන යුරෝපයේදී බටහිර බලපෑම වැඩිවෙලා යෑයි සිතුවොත් ඔවුන් ප්‍රතිචාර දක්‌වනව. එය සෝවියට්‌ කාලයෙදිත් පශ්චාත් සෝවියට්‌ කාලෙදිත් සිද්ධවෙලා තියෙනව. ජෝර්ජියාවෙදි 2008 සහ මේ වසරෙදී යුක්‌ක්‍රේනයේදී එය අපි දුටුවා. චීනයත් ඔය විදියට කටයුතු කරල තියෙනව. 1979 වසරේදී බෙන්ෂුවාපෙන්ගෙ නායකත්වයේදී එවකට තමුන්ගෙ මහා තරගකරුවා වූ සෝවියට්‌ දේශය වියට්‌නාමය සමග ඕනවට වඩා කිට්‌ටු සම්බන්ධකමක්‌ ඇතිකර ගන්නවා යෑයි සිතල චීනය වියට්‌නාමේ උතුරු දේශසීමාවට පහරදීමක්‌ කළා. මේ විදිහට ලෝක ඉතිහාසය පුරාම මහබලවතුන් හැසිරෙන්නේ තමුන්ගෙ යෑයි සලකන බල ක්‌ෂේත්‍රය තුළ හැසිරෙන තමුන්ගේ සතුරෝ හෝ තරගකරුවෝ ගැන ඉතාමත් නොඉවසිල්ලෙනුයි. එබඳු මැදිහත්වීම්වලට ඉඩකඩ සලසනවා යෑයි සිතන සාපේක්‌ෂ වශයෙන් කුඩා හෝ මධ්‍යම පරිමාණයේ රට රාජ්‍යයන් සම්බන්ධයෙන් වපර ඇහැකින් බලල ඔවුන් සම්බන්ධයෙන් සමහර වෙලාවට දරුණු ආකාරයටත් කටයුතු කරල තියෙනව. ඒක ලෝක සම්මතයක්‌. එය සාධාරණ නැති වුණත් එය යථාර්ථයක්‌.

ශ්‍රී ලංකාවට චීන සබ්මැරීන පැමිණීම ඉන්දියාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ බව ඉන්දියාව පවසා ඇතැයි පුවත්පත්වල පළවුණා. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන ආකාරයට කටයුතු කිරීම ඉන්දු ලංකා ගිවිසුම උල්ලංඝනය කිරීමක්‌ද?

ඉන්දු ලංකා ගිවිසුමේ එක අංගෝපාංගයක්‌ නම් ඉන්දියාවේ ආරක්‌ෂාවට කිසිලෙසකිනුත් තර්ජනයක්‌ හෝ හානියක්‌ වන ආකාරයට බාහිර බලවතුන්ට ශ්‍රී ලංකාවේ ඉඩකඩ නොලැබිය යුතුයි කියන කාරණය. ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාව හා ලංකාව අතර එකඟතාවකින් ඇති වූ ගිවිසුමක්‌ නෙමෙයි. ප්‍රචණ්‌ඩතාවයකින් අත්සන් කරගනු ලැබූ ගිවිසුමක්‌. එතනත් යථාර්ථයක්‌ තිබෙනව. එනම් ඒ ප්‍රචණ්‌ඩ හැසිරීමට ඔරොත්තු දෙන්න ශ්‍රී ලංකාවට හැකියාවක්‌ තිබුණෙ නෑ. කෙසේවෙතත් ඉන්දු ලංකා ගිවිසුම අද දක්‌වා එලෙසම තිබෙනවා. එය කටුගාල නෑ. ඉන්දු ලංකා ගිවිසුම කටුගෑම ශ්‍රී ලංකාවට වාසියකුත් නෙමෙයි. දමිළ බෙදුම්වාදයට සහයෝගය නොදෙන බවට ඉන්දියාව ප්‍රතිඥා දුන්නෙ ඉන්දු ලංකා ගිවිසුම අනුවයි. ඉන්දු ලංකා ගිවිසුම කටුගා දැමූ අවස්‌ථාවකදී ඉන්දියාව ඒ වගකීමෙනුත් මිදෙනව. ඒ නිසා ඉන්දු ලංකා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයකුත් අත්වෙලා තියෙනව. නමුත් ඉන්දු ලංකා ගිවිසුමේ ඇති ඉහත වගන්තිය සහ එහි අන්තර්ගතය සමග නොපෑහෙන ආකාරයට ශ්‍රී ලංකා ආණ්‌ඩුව කටයුතු කරන්නේ නම් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්‌වන්නට මැලිවේයෑයි අපට සිතන්නට බෑ. ඒ යථාර්ථය ශ්‍රී ලංකාව තේරුම් ගත යුතුයි.

ඉන්දියාව සහ චීනය නිසිලෙස කළමනාකරණය කර ගැනීමට ආණ්‌ඩුවට නොහැකි වී ඇති බවද ඔබ හිතන්නෙ?

මීට පෙර ශ්‍රී ලංකා ආණ්‌ඩු ඉන්දියාව සමග තිබෙන මේ සම්බන්ධතාව දක්‌ෂ ලෙස කළමනාකරණය කළා. ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍ර සබඳතා ඇතිවුණෙත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා ඇතිවුණෙත් අද ඊයෙ නෙමෙයි. නමුත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ සිට ලක්‌ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිතුමාගේ කාලය දක්‌වා දශක ගණනාවක්‌ තිස්‌සේ ඉන්දියාව හා චීනය තුලනය කරමින් එහි ආසියාතික බලවතුන් අතර නොබැඳි ප්‍රතිපත්තියක්‌ සාර්ථකව අනුගමනය කරන්නට ශ්‍රී ලංකා රජයන්ට හැකිවුණා. පසුගිය යුද සමයේදීත් එබඳු සාර්ථක තුලනයක්‌ සහ අතරමැදි ප්‍රතිපත්තියක්‌ ශ්‍රී ලංකාණ්‌ඩුව අනුගමනය කළා. 2009 දී යුද්ධය අවසන්වන විටත් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ ආණ්‌ඩුවත් චීනය හා ඉන්දියාව අතර එවැනි දක්‌ෂ තුලනය කිරීමක්‌ සිදු කළ බව මා කිවයුතුයි. දෙගොල්ලොම අපේ පැත්තෙ තියාගෙන හිටියා. නමුත් පශ්චාත් යුද සමයේදී එනම් පසුගිය අවුරුදු පහ ඇතුළත ඒ සමීකරණය ගිලිහිලා ගියා. එලෙස ගිලිහුණේ ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ අදූරදර්ශී ක්‍රියාපටිපාටිය නිසයි. පසුගිය අවුරුදු පහ තුළදී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙමින් සිටින අතර චීනයට ක්‍රම ක්‍රමයෙන් කිට්‌ටුවෙමින් සිටින බවක්‌ දකින්නට ලැබෙනව. අද ඉන්දියාව මෙබඳු ප්‍රශ්න දිහා වපරැහින් බලන්නේ ඒ අසමමිතික හා අසමතුලිත ප්‍රතිපත්තිය නිසයි.

ඉන්දියාව හා චීනය පිළිබඳ අනුගමනය කරන මේ අසමතුලිත ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කෙබඳු බලපෑමක්‌ ඇතිකරයිද?

ශ්‍රී ලංකාව චීනය සමග කිට්‌ටු සබඳතාවක්‌ ඇති කර ගත යුතුයි. එය ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවන් සමග පෑහෙනව. එනම් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස්‌ දෙනාගෙන් දෙදෙනකු වන චීනය හා රුසියාව ශ්‍රී ලංකාව ආරක්‌ෂා කරන නිසයි. ඒ ආරක්‌ෂාව සැමවිටම ශ්‍රී ලංකාවට අවශ්‍යයි. ඒ අනුව චීනය සමග ශ්‍රී ලංකාව කිට්‌ටු මිත්‍රත්වයක්‌ තබාගත යුතුයි. නමුත් බුදුරජාණන් වහන්සේ මැද මාවත ගැන ලෝකවාසී ජනතාවට දේශනා කළෙත් බරපතළ අර්ථයක්‌ ඇතිව බව අප කල්පනා කළ යුතුයි. ඒ මැද මාවතෙන් පිට පැන්නොත් ඕනම ක්‌ෂේත්‍රයකදී උවදුරු රැසකට මුහුණ දෙන්නට වෙනවා. අද ඉන්දියාව හා චීනය සම්බන්ධයෙන් මැද මාවතක ගමන් කරන්න ශ්‍රී ලංකා ආණ්‌ඩුවට නොහැකි වී තිබෙනවා. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සිට ලක්‌ෂ්මන් කදිරගාමර් ඇමැතිතුමාගේ කාලය දක්‌වාම ශ්‍රී ලංකාව ඉතාම දක්‌ෂ ලෙස මේ මැද මාවතේ ගමන් කළා. නමුත් විශේෂයෙන් පසුගිය අවුරුදු පහ තුළ ශ්‍රී ලංකාව ඒ මැද මාවතෙන් බැහැරවෙලා මේ මූලෝපායික සම්බන්ධතා එක්‌ අන්තයකට ගමන් කරන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. මම හිතන්නෙ එතන වරදක්‌ සිදුවෙලා තිබෙනවා. ඒ වරද නිසා දමිළ ඩයස්‌පෝරාවේ බෙදුම්වාදීන් ශ්‍රී ලංකාවට අටවා තිබෙන මහා උගුලට ශ්‍රී ලංකාව හසුවෙන්නටයි යන්නෙ.

දමිළ ඩයස්‌පෝරාවේ බෙදුම්වාදීන් අතර බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, චින්තකයින් සිටිනවා. මේ බුද්ධි මණ්‌ඩල සම්පාදනය කළ සැලසුම් අනුව ඔවුන් ඉන්දියාවට සහ ඇමරිකාවට යම් යම් සංඥා සහ පණිවිඩ ලබාදීල තියෙනව. චීනය ශ්‍රී ලංකාවේ තිප්පොලක්‌ බවත් ඒ නිසා ඇමරිකාව සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ යුතු බව එබඳු එක සංඥාවක්‌. ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවට හා ඇමරිකාවට විශ්වාස කළ හැකි ජන කොට්‌ඨාසය වන්නේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව පමණක්‌ බවත් ඔවුන් ඉන්දියාවට හා ඇමරිකාවට ඒත්තු ගැන්වීමට තැත් කරනවා. කවදා හෝ උතුරු නැගෙනහිර දමිළ ජනතාවට දේශපාලනික වශයෙන් වෙනම පැවැත්මක්‌ හිමි වුණොත් ඉන්දියාවේ හා ඇමරිකාවේ මූලෝපායික අවශ්‍යතාවන්ට අනුකූලව ත්‍රිකුණාමලය පාවිච්චි කරන්නට ඉඩකඩ ලබාගත හැකි බවත් දෙමළ ඩයස්‌පෝරාව ඉන්දියාවට හා ඇමරිකාවට ලබා දී තිබෙන තවත් සංඥාවක්‌. ඉන්දියාවටත් ඇමරිකාවටත් දෙමළ ඩයස්‌පෝරාවේ බෙදුම්වාදීන් යවන මේ සංඥා හා පණිවිඩ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය සම්බන්ධයෙන් පවත්වාගෙන යන අදූරදර්ශී අසමතුලිත ක්‍රියාමාර්ග නිසා දැනටමත් සනාථවෙමින් තිබෙනවා. එම නිසා අනාගතයේදී ඉන්දියාව හා ඇමරිකාව එකතු වී දමිළ ඊළමක්‌ බිහිකිරීමේ ව්‍යාපෘතියකට පවා සහයෝගය දිය හැකි උවදුරක්‌ දැන් මතු වී තිබෙනවා. එසේ මතු වී තිබෙන්නේ වර්තමාන ආණ්‌ඩුවේ පශ්චාත් යුද කාලීන විදේශ ප්‍රතිපත්තියේ හා මූලෝපායික ප්‍රතිපත්තීන්හි තිබෙන යථාර්ථවාදී නොවන හා අදූරදර්ශී භාවය නිසයි. මෙයින් පෙනී යන්නේ එක්‌දහස්‌ නවසිය අසූගණන්වලදී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලලිත් ඇතුලත්මුදලි ජාතික ආරක්‌ෂක ඇමතිවරයාගේ බලපෑම නිසා ඉන්දියාවට එරෙහිව ගොස්‌ රෑ වැටුණු වළේ වර්තමාන ආණ්‌ඩුව මහදවාලේ දුවමින් ගොස්‌ පනින්නට යන බවයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

No comments

Powered by Blogger.