Header Ads

එක්‌කෝ දේශපාලනය අත්හැරිය යුතුයි නැත්නම් මර්දනයට මුහුණ දිය යුතුයි!

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විජේවීර... ඇතුළු නායකයන් සමරන ඉල්මහ විරු සමරුව ඉදිරියේදී පැවැත්වේ. පක්‍ෂයේ නායකයා ගැනත් වර්තමාන දේශපාලන භූමිකාව ගැනත් ජනතා විමුක්‌ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සම්මුඛ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

ප්‍රශ්නය - රෝහණ විජේවීර... ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රථම නායකයා. ඔබ අද එහි හතරවැනි නායකයා ලෙස කටයුතු කරනවා. ජ.වි.පෙ. හතර වැනි නායකයා... පළමු නායකයා දකින්නේ කෙබඳු ආකාරයටද?

පිළිතුර - හැට දශකය වෙද්දී ලෝක සමාජවාදී ව්‍යාපාරයේ බෙදීමක්‌ ඇතිවීම සහ විශාල න්‍යායික හා ප්‍රායෝගික පීලි පැනීම් දක්‌වා ගමන් කරමින් තිබුණා. ඒ ජාත්‍යන්තර තත්ත්වය අපේ රටේ පැරැණි වමේ ව්‍යාපාරයේ සභාග ආණ්‌ඩු කරා ගමන්කොට වමේ අවස්‌ථාවාදය දක්‌වාම ගමන් කළා. මේ තත්ත්වය හමුවේ වමේ නව විප්ලවවාදී ව්‍යාපාරයක අවශ්‍යතාවක්‌ පැන නැගුණා. ඒ අවශ්‍යතාවය මැනවින් තේරුම්ගත් වයස අවුරුදු විසි දෙකක තරුණයකු දේශපාලන ව්‍යාපාරයක්‌ හදනවා. ඒ රෝහණ විජේවීර සහෝදරයා. රෝහණ විජේවීර සහෝදරයා පන්තියට පක්‍ෂයක්‌ ගොඩනැගීමට ගත් ඒ අධිෂ්ඨානශීලී තීරණය ප්‍රායෝගිකව යථාර්ථයක්‌ බවට පත්කර ගැනීමට රෝහණ විජේවීර සහෝදරයා විසින් කළ කැප කිරීම්, මැදිහත්වීම් සහ තෝරාගත් උපාය ක්‍රම කවර හෝ දේශපාලකයකු ජීවිතයේ මුහුණ නොදුන් අභියෝගයන්. ඒවා සාර්ථකව නිම කරන්නට රෝහණ විජේවීර සහෝදරයාට හැකියාව ලැබුණා.

ප්‍රශ්නය - ඔබ දකින රෝහණ විජේවීර මහතාගේ ප්‍රධාන ගුණාංග මොනවාද?

පිළිතුර - පළමුව රෝහණ විජේවීර සහෝදරයා පන්තියට පක්‍ෂයක්‌ ගොඩනගා දුන්නා. මාක්‌ස්‌වාදය කොපිකිරීමක්‌ වෙනුවට ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගොඩනැගීම පිළිබඳව වඩාත් පුළුල් සහ ගැඹුරු අධ්‍යයනයකින් යුක්‌තව ලංකා මහපොළොවට ඔබින ලෙස ගළපන්න ඔහු සමත් වුණා. ඒ වගේම අපේ රටේ ජාතික ප්‍රශ්නය කෙරෙහි විශාල සංකීර්ණතා ගොඩනඟා ඇති අවධියකදීත් වමේ ව්‍යාපාරයත්, සුළු ධනේශ්වර ව්‍යාපාරයත් අධිරාජ්‍යවාදය, ඉන්දියාව, ධනපති පක්‍ෂ, සිවිල් සංවිධාන විසින් විවිධ පිළිතුරු සහ ස්‌ථාවරයක සිටියා. එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ඓතිහාසිකව පැන නැගීමත්, එහි ඇති අන්තර් සබඳතා සහ වර්තමාන තත්ත්වයත් මැනවින් විග්‍රහ කරමින් ජාතික ප්‍රශ්නය අළලා විද්‍යාත්මක විසඳුම් ප්‍රවේශයක්‌ රට හමුවේ තබන්න රෝහණ විජේවීර සහෝදරයා සමත් වෙනවා. ජාතික ප්‍රශ්නය අරභයා අදත් වල්මත් වී සිටින අයට එය පහන්ටැඹක්‌ වනු නොඅනුමානයි. ඒ වගේම පන්තියේ පක්‍ෂයට කැප කිරීම්, ධෛර්යය, විශ්වාසය වගේම මනා විනයකින් යුතු සංවිධාන ජාලයක්‌ සහිත විප්ලවවාදී ව්‍යාපාරයක්‌ ගොඩනැඟීම රෝහණ විජේවීර සහෝදරයා විසින් ඉටුකළ ඓතිහාසික වැදගත් කාර්යභාරයක්‌. රෝහණ විජේවීර සහෝදරයාගේ ගුණාංග සහ ඓතිහාසික කාර්යභාරයන් මෙවන් ලිපියකින් සම්පූර්ණයෙන්ම විග්‍රහ කිරීම අසීරු කටයුත්තක්‌.

ප්‍රශ්නය - රෝහණ විජේවීර... ජවිපෙ නායකයා ලෙස 88 - 89 කාලයේදී සන්නද්ධ ව්‍යාපාරය වෙනුවෙන්ම ලොල් වී කටයුතු කළා යෑයි පැවසුවොත්?

පිළිතුර - රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වය යටතේ ජනතා විමුක්‌ති පෙරමුණ සන්නද්ධ අරගල දෙකකට මුහුණ දුන්නා. ඒ එක්‌ අරගලයක්‌වත් රෝහණ විජේවීර සහෝදරයාගේ හෝ පක්‍ෂයේ තෝරා ගැනීම නොවේ. පක්‍ෂයේ මූලික අරමුණ බවට පත් වූ ඉතාමත් සංවිධානාත්මක විනයක්‌ සහිත නිර්ධන පන්ති ව්‍යාපාරයක්‌ ගොඩනඟා එය පුළුල් ජනතා ව්‍යාපාරයක්‌ බවට පත් කිරීම සිදුකළා. එම කාර්ය සඳහා සාර්ථක ලෙස කටයුතු කරගෙන යන අවධියේදී "ධනපති ආණ්‌ඩු කුලප්පු වෙනවා. 1970 අගෝස්‌තු සිට 31 71 මාර්තු මාසය දක්‌වා රටේ ප්‍රධාන නගරවල මහජන රැස්‌වීම් පවත්වමින් ජනතාව වෙතට මතය ගෙන යන පුළුල් ජනතා ව්‍යාපාරයක්‌ ගොඩනැඟීමේ අධිෂ්ඨානයෙන් යුක්‌තව කටයුතු කළා. ඊට සහභාගි වූ ජනතාවගේ අධිෂ්ඨානශීලීත්වය වගේම කරේ තිබූ ෙච්න් ගලවා, අතේ තිබූ මුදු ගලවා, සාක්‌කුවේ තිබූ මුදල් පරිත්‍යාග කරමින් දැක්‌වූ බැඳීම එවක ධනපති ආණ්‌ඩුව කුලප්පු කළා. ඒ හමුවේ තිබුණේ තෝරා ගැනීම් මාවත් දෙකයි. එක්‌කෝ දේශපාලනය අත්හැරිය යුතුයි. නැත්නම් මේ මර්දනයට මුහුණදිය යුතුයි.

ප්‍රශ්නය - ඒ කියන්නේ එදා ජවිපෙ මර්දනයට මුහුණ දුන්නා...?

පිළිතුර -

දේශපාලනය අත්හැරීමට කිසිදු යුක්‌ති සහගත අයිතියක්‌ නැති නිසා එදා අපේ සහෝදරවරු මර්දනයට මුහුණ දුන්නා. එය අන්තිමේදී සන්නද්ධ අරගලයක්‌ බවට පත්වුණා. ඒ සන්නද්ධ අරගලය එදා සමගි පෙරමුණු ආණ්‌ඩුවේ තෝරාපත් කර ගැනීමක්‌ මිස අපේ කැමැත්තකින් සිදුවූවක්‌ නොවේ.

ප්‍රශ්නය - අසූ අට අසූ නවයේදී මොනවද වුණේ..?

පිළිතුර - ඒකත් එහෙමයි. එදා සිරගත වූ බොහෝ සහෝදරවරු යළි නිදහස්‌ වී එළියට ඇවිත් නැවත දේශපාලනය කළා. හැත්තෑ අටේ මැතිවරණයට තරග කළා. අසූ එකේ සංවර්ධන සභා මැතිවරණයට තරග වැදුණා. ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 මැයි දිනයේදී ප්‍රකාශයක්‌ කරනවා තමාගේ ප්‍රධාන සතුරා ජනතා විමුක්‌ති පෙරමුණ බවට. ජයවර්ධන ජනාධිපතිවරයාත් අද රටේ ඉන්න නායකයා වගේම තමන්ගේ බලය වෙනුවෙන් තුන්වැනි සංශෝධනය ගෙන ආවා. ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පැවැත්වූවා. අපි ඒ ජනාධිපතිවරණයටත් තරග වදිනවා. ජයවර්ධන ජනාධිපතිවරයා අද රටේ ඉන්නා නායකයා වගේම බලය වෙනුවෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට හතර වැනි සංශෝධනයක්‌ ගෙනැවිත් මැතිවරණය කල් දැමුවා. නියමිත පරිදි 89 දී මැතිවරණය කළා නම් ජනතා විමුක්‌ති පෙරමුණේ බොහෝ පිරිසක්‌ පාර්ලිමේන්තුවට එනවා. ඒත් එදා ඡේ. ආර්. ජනාධිපතිවරයා කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්‌ඩුව වගේම ජනතා විමුක්‌ති පෙරමුණ පසුපස හඹා ගොස්‌ මර්දනය කිරීමටයි. හැත්තෑ එකේදී වගේම 88 -89 දීත් අපිට එක්‌කො දේශපාලනයෙන් ඉවත් වෙනවාද... නැතිනම් මර්දනය හමුවේ දේශපාලනය කරනවාද යන සන්ධිස්‌ථානයට ආවා.

රටේ වැඩකරන පන්තියේ මිනිසුන්ගේ වුවමනාව, ඔවුන්ගේ පාලනය වෙනුවෙන් කරන දේශපාලනය කිසිසේත්ම අතහරින්න අපට අයිතියක්‌ හෝ යුක්‌තියක්‌ නෑ. එදා ඡේ. ආර්. ජයවර්ධනගේ මර්දනය හමුවේ දේශපාලනය කරන්න අපි තීරණය කරනවා. එය අවසාන සන්නද්ධ ගැටුමක්‌ දක්‌වා වර්ධනය වෙනවා. මෙය කිසිසේත්ම අපේ තෝරා ගැනීමක්‌ නොවේ. ධනපති පන්තිය අපව බිත්තියට හේත්තු කර පහර දෙන්න පටන් ගත් පසු ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමයි එදා අපි කළේ.

මාෙඕ සේතුංගේ ප්‍රකාශයක්‌ තියෙනවා "යුද්ධයක්‌ යනු රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ නොවේ. යුද්ධයකදී සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවෙනවා."

අසූඅට අසූනවයේදීත් සිද්ධ වුණේ එයමයි. ධනපති ආණ්‌ඩු ජනතාව මර්දනය කරන එක, ඝාතනය කරන එක පුදුම විය යුතු දෙයක්‌ නොවේ. අදත් අපි දකිනවා කුඩා ජනතා උද්ඝෝෂණවලට පවා වෙඩි තබා ආණ්‌ඩුව ජනතාව මරා දමනවා. ආණ්‌ඩුව ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් එවන් ම්ලේච්ඡ ක්‍රියා දක්‌වා පත්වීම අපි පුදුමයක්‌ ලෙස දැකිය යුතු නෑ. ලෝකය පුරාත්, අපේ රටේත් කලක්‌ අපි දැක ඇති අත්දැකීම එයයි.

ප්‍රශ්නය - මේ සන්නද්ධ අරගලවලදී විශාල පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා නේද?

පිළිතුර - විප්ලවවාදී ව්‍යාපාරයක්‌ වන අප පොදු ජනතාවට අසීමිතව ප්‍රේම කරනවා. අපට ඇත්ත අවශ්‍යතාව වී තිබෙන්නේ රටේ සාතිශය බහුතරය වූ අනේකවිධ දුක්‌ඛ දොaමනස්‌සයන්ට පත් වූ ජනතාවට මීට වඩා හොඳ සමාජ තත්ත්වයක්‌ ලබා දීමයි. ජනතා විමුක්‌ති පෙරමුණ මානවවාදී ව්‍යාපාරයක්‌. සැබෑ ලෙසම මිනිසුන්ට ප්‍රේම කරන ව්‍යාපාරයක්‌. අපේ පන්තියේ මිනිසුන්ට මීට වඩා හොඳ ජීවිතයක්‌ ලබාදීමට අසීමිත ලෙස වැඩකරන මිනිසුන් තමයි මේ ව්‍යාපාරයේ ඉන්නේ. ඉතින් එවන් මිනිසුන්ගෙන් සමන්විත ව්‍යාපාරයකින් කුඩා හෝ සිදුවීමක්‌ සිදු නොවිය යුතුයි. ඒ අනුව 88 - 89 අපගේ අතින් සිදුවී තිබෙන එම සිදුවීම පිළිබඳව බලවත් කනගාටුවක්‌ වගේම කම්පනයක්‌ අප තුළ තිබෙනවා. එය හෘදයාංගම බැඳීමයි.

ප්‍රශ්නය - රෝහණ විජේවීර මහතාගේ අවසානය .... ඔබට දැනුණ අයුරු?

පිළිතුර - රෝහණ විජේවීර සහෝදරයා පක්‍ෂය ගොඩනැගීම සහ මෙහෙයවීම සඳහා විශාල කැපකිරීම් සහ පරිත්‍යාග කළා. අවසානයේදී ඒ සහෝදරයාගේ ජීවිතය පවා මේ සතුරන් විසින් පැහැර ගන්නවා. අද මානව හිමිකම් ගැන කතා කරන බොහෝ පිරිස්‌ රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම ගැන දැඩි මුනිවතක්‌ අනුගමනය කරනවා. එවක රණසිංහ ප්‍රේමදාස සහ ප්‍රේමදාස ආණ්‌ඩුවේ ඝාතකයන් විසින් රෝහණ විජේවීර සහෝදරයා වගේම රටේ ජනතාවට අසීමිතව ආදරය කළ දහස්‌ ගණන් ජීවිත අපෙන් උදුරාගෙන තිබෙනවා. ඒ ජීවිතවලට යුක්‌තිය ඉටුකිරීමේ දැඩි වුවමනාවක්‌ හා වගකීමක්‌ අපට තිබෙනවා.

ප්‍රශ්නය - රෝහණ විජේවීර මහතාගේ පවුලේ අය දේශපාලනයෙන් ඈත්ව සිටින්නේ මන්ද?

පිළිතුර - විජේවීර සහෝදරයාගේ බිරිඳ සහ දරුවන්ට ස්‌වාධීනව මේ සමාජයේ ජීවත් වීමේ අයිතියක්‌ තිබෙනවා. අප පක්‍ෂය විසින් ඒ දරුවන් වෙනුවෙන් කළ යුතු බොහෝ කාර්යයන් ඉටුකර තිබෙනවා. ඔවුන් අප සමග සමීපව ඇසුරු කරනවා. නමුත් දේශපාලනයට ඒම, නොඒම ඒ අයගේ ස්‌වාධීන අයිතියක්‌.

ප්‍රශ්නය - කුමාර් ගුණරත්නම්... ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු ඉදිරිපෙළේ සාමාජිකයෙක්‌. අද ඔහු ගැන යළි කතාබහ වෙනවා...?

පිළිතුර - එක්‌ එක්‌ කාලෙට ජනතා විමුක්‌ති පෙරමුණට එරෙහිව විවිධාකාරයෙන් ඔසවා තිබිය හැකි කල්ලි ආණ්‌ඩුවෙ සෘජු මැදිහත්වීම මත සහ වක්‍ර රැකවරණය ලබමින් කටයුතු කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ උපක්‍රම ක්‍රියාමාර්ග අවුල්කර දැමීමට ඒ ඒ මොහොතේ මෙම කල්ලි උපයෝගී කරගත් අවස්‌ථා අප පසුගිය කාලයේ දැක තිබෙනවා. වර්තමානයේ මෙම කල්ලිය ඒ වුවමනාව වෙනුවෙන් හැසිරෙන ස්‌වභාවය පෙන්වනවා. ඒවා ඔවුන්ම මාධ්‍යයට ලබාදී ඒ ප්‍රවෘත්ති ඔවුන් විසින්ම නරඹමින් ස්‌වයං තෘප්තියක්‌ ලබනවා. ඔවුන්ගේ ඒ ස්‌වයං තෘප්තියට අපි බාධා කළ යුතු නෑ. එම කල්ලියේ කවර හෝ තීරණයක්‌ දේශපාලන වශයෙන් අපට අදාළ වන්නේ නෑ. රටේ දේශපාලනයේ ප්‍රධාන ක්‌ෂේත්‍ර දෙකක්‌ තියෙනවා. එකක්‌ මහේක්‌ෂි දේශපාලනය. දෙවැන්න ක්‍ෂුද්‍ර දේශපාලනය. මහේක්‌ෂි දේශපාලනය තුළ තමයි ආණ්‌ඩු පෙරළීම්, උද්ඝෝෂණ, සටන්, උපක්‍රම, බහුජන ව්‍යාපාර ගොඩනැගීම, බලවේග පෙළගැසීම් සිදුවන්නේ. එම නිසා ජනතා විමුක්‌ති පෙරමුණ මහේක්‌ෂි දේශපාලනයේ භූමිකාවක්‌ අත්පත් කර ගත් ව්‍යාපාරයක්‌.

ක්‍ෂුද්‍ර දේශපාලකයන් කරන්නේ ඉඳහිට පොඩි කවියක්‌ ලියාගෙන, කුඩා පොත් පිංචක්‌ විචාරය කරමින්, වෙබ් අඩවියක්‌ විවෘත කරමින් ප්‍රවෘත්තියක්‌ දෙකක්‌ නිර්මාණය කරනවා. ආප්පයක්‌ කාලා, ප්ලේන්ටියක්‌ බීලා ගෙදර ගිහිං නිදා ගන්නවා. ඒක තමයි ඒ අයගේ ජීවිතේ. එය සමාජයේ මහා දේශපාලනයට කිසිසේත්ම අදාළ නෑ.

ප්‍රශ්නය - එළඹෙන ජනාධිපතිවරණයේදී ජවිපෙ භූමිකාව මොකක්‌ද?

පිළිතුර - පළමුකොටම ව්‍යවස්‌ථානුකූලව පැහැදිළියි මහින්ද රාජපක්‍ෂ මහත්තයට යළිත් ඉල්ලන්න බෑ. වසර හයක්‌ පිරෙන තෙක්‌ ජනාධිපතිවරණ කැඳවන්න බෑ. එය හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේම නීතිඥ සංගමයට උපදෙස්‌ දුන් ඔස්‌ටේ්‍රලියානු නීති පීඨයේ මහාචාර්ය සූරි රත්නපාල මහතාගේත් පැහැදිලිs අර්ථකථනයක්‌. මහින්ද මහත්තයා මේ එන්න හදන්නේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවම කඩලා. මේ ව්‍යවස්‌ථාව සමග කළ සෙල්ලම්වල ප්‍රතිඵල අපි දැක තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන තුන්වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරණය පවත්වන්න ගත් තීරණය, හතරවැනි සංශෝධනය හරහා රට මහා ව්‍යසනයකට දැමීම. ප්‍රභාකරන් මරාගෙන මැරෙන හමුදාවක්‌ නිර්මාණය කරන්න තරම් බලපෑම් ඇති කළා. අසූ අට අසූ නවය වැනි තත්ත්වයක්‌ රට තුළ නිර්මාණය වුණා. රාජපක්‍ෂ මහත්තයා යළි ව්‍යවස්‌ථාව සමග සෙල්ලම් කරන්න පටන් අරන්. ජනාධිපතිවරයා මහජන ඡන්දෙන් තෝරාපත් වුණත් ඔහුට ධුරයේ වැඩ බලන්න හැකියාව තියෙන්නේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුගමනය කර ආරක්‍ෂා කරන බවට ප්‍රතිඥ දීමෙන්. එම නිසා ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති මූලික සම්මුතිය වන්නේ ව්‍යවස්‌ථාව රැකීමයි. නමුත් අද මහින්ද රාජපක්‍ෂ මහත්තයා උත්සාහ කරනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩා දමා නායකත්වයට එන්න. මෙය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඇබ්බැහියක්‌. පුරුද්දක්‌. රටේ අණපනත්, රෙගුලාසි, නීති සීමා කිසිවක්‌ අදාළ නැති පාලකයෙක්‌. එදා ගෝත්‍රයේ නායකයා ගෝත්‍රය පාලනය කරද්දී සියල්ල තමන් විසින්ම පාලනය කළා වගේ අද ගෝත්‍රවාදීව ඒ දේ කරනවා. එදා ගෝත්‍රවාදී නායකයා මේ දේ කළේ තමන්ගේ ගෝත්‍රයේ උන්නතිය පැවැත්ම හා ආරක්‍ෂාව උදෙසා. ඒත් අද මේ දේ කරන්නේ පවුල, පවුල වටා සිටින කල්ලියේ උන්නතිය වෙනුවෙන්. එනිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩමින් එන මේ ප්‍රයත්නය පරාජයට පත්කළ යුතුයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අත්හිටුවීම හමුදා පාලනයක මූලික ලක්‍ෂණයක්‌. පකිස්‌තානයේ ෂියා උල්හක්‌, ඊජිප්තුවේ මුබාරක්‌ වැනි ලෝක පරිමාණ උදාහරණ මේ සඳහා දිය හැකියි. මේ ගමන් කරන්නේ ව්‍යවස්‌ථාව අත්හිටුවා, නොසලකාහැර හමුදා පන්නයේ පාලනයකට. ඒ නිසා මේ ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාවට එරෙහිව පුළුල් ව්‍යාපාරයක්‌ ගොඩනැඟීමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් සෙසු පක්‍ෂ සමග සාකච්ඡා කරනවා. එවන් තත්ත්වයක්‌ යටතේ වුවද මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරණයක්‌ කැඳවන්නේ නම් මේ ව්‍යවස්‌ථා විරෝධී ඒකාධිපති වියරුව සඳහා දරන ප්‍රයත්නය පරාජය කරන්න අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය - ජනතා විමුක්‌ති පෙරමුණ සමග අද ආණ්‌ඩුවේම ඉන්න අතුරලියේ රතන හිමියෝ... මේ ව්‍යාපාරයට එක්‌වීම හිතන්න පුළුවන්ද?

පිළිතුර - හෙළ උරුමය හා ජනතා විමුක්‌ති පෙරමුණ අතර බොහෝ වෙනස්‌කම් තියෙනවා. නමුත් මේ ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාමාර්ග පරාජය කරන්න අපි පුළුල් ව්‍යාපාරයක්‌ ගොඩනගනවා. ඊට අතුරලියේ රතන හිමියෝත් එක්‌ව සිටිනවා. උන්වහන්සේට විශාල බාධා සහ අභියෝග තිබියදී මේ ව්‍යාපාරයට සහාය දෙනවා. ඒකාධිපති, ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාදාමය පරාජය කිරීමට ගොඩනැගෙන ඒකාබද්ධ ව්‍යාපාරයක්‌ පමණයි අපේ මේ ව්‍යාපාරය. ඉන් එහාට යන දේශපාලන ක්‍රියාදාමයක්‌ සඳහා සංවාද ඇතිවිය යුතුයි. එය දැනටමත් බොහෝ පිරිස්‌ සමග ආරම්භ කර තිබෙනවා.

සාකච්ඡා කළේ -  අජිත් අලහකෝන්

No comments

Powered by Blogger.