Header Ads

රනිල්- මහින්ද සන්ධානයක් ගැන මෛත්‍රී සැකයෙන්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අතර අශුද්ධ සන්ධානයක් ගොඩ නැගෙමින් පවතින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුල සාධාරණ සැකයක් ගොඩ නැගෙමින් පවතින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනාධිපති ධූරයට පත්වී ගතවූ මසක කාලය තුල ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා විනා කිසිදු සාධනීය
කටයුත්තක් සිදු නොකළ බවට දසතින් නැගෙන චෝදනාව ජනාධිපතිවරයාගේ මෙම සැකය තීව්‍ර කිරීම සඳහා හේතු සාධක වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඇසට පෙනෙන සහ ඔප්පු කළ හැකි සාක්ෂි අපමන තිබියදී පසුගිය දින 30 ක කාලය තුල පසුගිය රජයේ කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට නොගැනීම පිළිබඳව මවිතය පලකර ඇති ජනාධිපතිවරයා තත්වය මෙසේ වන්නේ නම් තමන්ගේ විධායක බලතල අකමැත්තෙන් වුව පාවිච්චි කිරීමට සිදුවන බව ඉතා කලකිරීමෙන් යුතුව පවසා තිබේ.

මහජන සාමය, ක්‍රිස්තියානු කටයුතු හා ආපදා කළමණාකාරණය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට ඇත්තේ රාජපක්ෂවරුන්ට උපරිම ආරක්ෂාව සලසාදීම සඳහා බවට මතයක් මේ වන විට ආණ්ඩුව තුල මෙන්ම විපක්ෂය තුලද ගොඩ නැගී පවතී. මෙම තත්වය තවදුරටත් එසේ පැවතිය හොත් එය ඉදිරි මහා මැතිවරණයට විශාල හානියක් වීම නොවැලැක්විය හැකි බව ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එම පෙන්වා දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පෙරේදා (12) පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් කැඳවන ලදී. පසුගිය රජයේ දූෂිත නිලධාරීන්ට හා දේශපාලඥයන්ට එරෙහිව පොලීසිය විසින් මේ වන විට පවත්වාගෙන යන විමර්ශණ වල ප්‍රගතියක් අත් නොවන්නේ නම් ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ විෂය පථයෙන් පොලීසිය කපා හැර එය ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට විශාල ඉඩකඩක් මේ වන විට නිර්මාණය වී පවතින බව අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments

Powered by Blogger.