Header Ads

දීගෙ හබක්ද..? 'මෛත්‍රි රනිල් දීගේ වැඩි කල් දුවන පාටක් නැහැ වගේ නේද...?'

'මෛත්‍රි රනිල් දීගේ වැඩි කල් දුවන පාටක් නැහැ වගේ නේද...?'
මේ දවස්වල පත්තරවල යන නිවුස් දැකල මිනිස්සු කියන්නේ එහෙමය.
'එහෙනම් මාලදිවයිනේ නෂීඩ්ටයි වහීඩ්ටයි වෙච්ච දේ තමයි මෛත්‍රිටයි රනිල්ටයිත් වෙන්නේ....'
මේ විදේශ මාධ්‍යවේදියෙක් කී කතාවකි.


'කවුද දන්නවාද අද මාලදිවයිනේ ජනාධිපති. යමීන් අබ්දුල්ලා ගයුම්. මාලදිවයින අවුරුදු 30ක් ආණ්ඩු කරපු ගයුම්ගේ මල්ලි. නෂීඩ් සහ වහීඩ් අමාරුවෙන් ගයුම්ව පන්න ගත්තා. පස්සෙ දෙන්නා ගහ ගත්තා. සන්ධානය කැඩුණා. ගයුම් මේ දෙන්නාගේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදල ගානට මල්ලිව ජනාධිපති පුටුවට ගෙනාවා...'
ඔහු කී කතාව හරිය. අද මාලදිවයිනේ ජනාධිපති යමීන් අබ්දුල්ලා ගයුම් හිටපු ජනාධිපති ගයුම්ගේ මල්ලීය. හිටපු ජනාධිපති ගයුම් අවුරුදු 30ක් රට පාලනය කළේ විපක්‍ෂයට නැඟිටින්න ඉඩ නොදෙමිනි. විපක්‍ෂයත් එකිනෙකා ඇන කොටා ගනිමින් ගයුම්ට ඔක්සිජන් දුන්නේය. එරට විපක්‍ෂ නායක නෂීඩ්ව ඔහු හිරේට දැම්මේය.

හිරෙන් නිදහස් වූ නෂීඩ් දේශපාලනය කළේ රටින් පිට වී ලංකාවේ සිටය. ගයුම්ව පන්නා මාලදිවයිනට ප්‍රජාතන්ත්‍රවාදය උදාකර දෙන්න ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම ඉන්දියාවත් පුංචි ශ්‍රී ලංකාවත් එකට එක් විය. ඔවුන්ගේ මැදිහත්වීම මත නෂීඩ් වටා විපක්‍ෂයේ සියලු පක්‍ෂ එකට එකතු විය. පරද්දන්න බැහැ කී ගයුම්ව හැමෝම එකට එක් වී පරාජය කළහ. නෂීඩ් ජනාධිපති විය. වැඩි කලක් ගියේ නැත. නෂීඩ් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අතර ගැටුම් ඇති විය. හවුල කැඩුණි.

නෂීඩ් පත් කළ උප ජනාධිපති වහීඩ් සමඟද නෂීඩ් ගැටුම් ඇති කර ගත්තේය. රට පුරා වැඩ වර්ජන, සත්‍යග්‍රහ ආරම්භ විය. නෂීඩ් ජනාධිපති ධුරයෙන් විසි විය. උප ජනාධිපති අන්තර්කාලීන ජනාධිපති විය. ඒත් වහීඩ්ටත් රට ආණ්ඩු කරන්න ලැබුණේ නැත. 2013 ජනාධිපතිවරණයෙන් අබ්දුල් ගයුම්ගේ මල්ලී අබ්දුල්ලා යමීන් ජනාධිපති විය. ඔහු ජනාධිපති වුණේ අබ්දුල් ගයුම් 2011දී හදපු ප්‍රගතිශීලී (ර්ථීර්ථීර්) පක්‍ෂයෙන්ය. ජනාධිපති පදවිය නැති වූ පසු ගයුම් තම පක්‍ෂය වූ ච්අර්ථී පක්‍ෂයේ නායකත්වය ආරක්‍ෂා කර ගන්න උත්සාහ කළත් එය සාර්ථක නොවීය. පසුව ඔහු විශ්‍රාමික සුප්‍රීම් නායකයා ලෙස පත්විය. පසුව ඔහුට එරෙහිව පක්‍ෂය තුළින්ම කැරැල්ලක් මතුවී ගයුම්ට විශ්‍රාමික සුප්‍රීම් නායකත්වයෙන් ඉවත් වන්න සිදු විය. ඔහු සිය පක්‍ෂයේ ඉන්නේ දූෂිතයන් යැයි කියා පක්‍ෂයෙන් ඉවත් වී අලුත් පක්‍ෂයක් හැදුවේය. එහි නායකයා වී ඔහු සිය සහෝදරයා අබ්දුල් යමීන්ව 2013දී රටේ ජනාධිපති කළේය. අද නෂීඩ්ද ගෙදරය. ඔහුගේ උප ජනාධිපති වහීඩ්ද ගෙදරය. තමන්ව දෙකට තුනට බෙදල කුමන්ත්‍රණ කළේ තමන් අමාරුවෙන් එකට එක් වී පන්නා ගත් අබ්දුල් ගයුම් බව අද ඔවුන්ට තේරී ඇත. හැබැයි තේරෙන කොට බස් එක ගිහින්ය.


මාලදිවයිනේ මේ අපූරු කතාව මෛත්‍රිටයි රනිල්ටයි මේ දෙදෙනාගේ වටේ ඉන්න අයටයි ඉගෙන ගන්නවා නම් හොඳ පාඩමකි. මෛත්‍රි සහ රනිල් එකට එක් වෙලා විපක්‍ෂයත් එකට එකතු කරගෙන කළේ එසේ මෙසේ විප්ලවයක් නොවේ. ජේ‍යතිෂවේදීන්ගේ ග්‍රහ තරුත් බොරු කරන විප්ලවයකි. මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි වෙලා ජනාධිපතිවරණයකට ගිය කිසිදු ජනාධිපතිවරයෙක් පරාජය වී නැත. අනෙක මේ රටේ හැම ජනාධිපතිවරයෙක්ම ජනාධිපති ධුරයට පත් වූයේ අගමැති ධුරය සහ ආණ්ඩු බලය අතැතිවය. 1982 ජේ.ආර්. ජනාධිපතිවරණයට ගියේ ජනාධිපති ධුරයේ සිටිමින්ය. 1988 ප්‍රේමදාස ජනාධිපති වූයේ අගමැති ධුරයේ සිටිමින්ය. 1994 චන්ද්‍රිකා ජනාධිපතිවරණයට ගියේ අගමැති ධුරය දරමින්ය. 2005 මහින්ද ජනාධිපතිවරණයට ගියෙත් අගමැති ධුරය දරමින්ය.


ඒත් මෛත්‍රි මේ ජනාධිපතිවරණයට ආවේ දුර්වල තැනකින්ය. ඔහු හිටපු ශ්‍රී ල.නි.ප. මහ ලේකම්ය. ශ්‍රී ල.නි.ප.යේ පරම හතුරා වන එ.ජා.ප. ඡන්දවලින් ඔහු දිනිය යුතුව තිබිණි. ඔහු ඡන්දය ඉල්ලුවේ 2010 පරාජය වූ පක්‍ෂයකින් සහ ලකුණකින්ය. 2010 ෆොන්සේකා ආවේ ශ්‍රී ල.නි.ප. පාක්‍ෂිකයකු ලෙස නොව යුද වීරයා ලෙසය. එහෙම බැලුවත් මෛත්‍රිට මේ සටන දුෂ්කර විය යුතුව තිබිණි. ඒත් මෛත්‍රි මේ සියලු අභියෝග අමාරුකම් මැද පරාජය කරන්න බැහැ කී රාජපක්‍ෂලා පරාජය කළේය.
ඔහුගේ ජයග්‍රහණයේ හෙවණැල්ල එ.ජා.ප. ඡන්දය. ඔහු ලබපු ඡන්ද සංඛ්‍යාව බලද්දී ඒ ඡන්ද අතර ශ්‍රී ල.නි.ප., හෙළ උරුම ඡන්ද ලොකුවට තිබුණා කියා අනුමාන කිරීම අමාරුය. හේතුව ශ්‍රී ල.නි.ප., හෙළ උරුම ඡන්ද පදනම ශක්තිමත් මාතර, ගාල්ල, හම්බන්තොට වගේම මොනරාගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් සභා ඡන්දවලදී ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් මහින්ද මෙම ජනාධිපතිවරණයේදී ගත්තේය. 2013 පළාත් සභා ඡන්දයේදී සන්ධානය මාතරින් 231102ක් ගත්තේය. මහින්ද ජනාධිපතිවරණයේදී මාතරින් 297823ක් ගත්තේය. සන්ධානය පළාත් සභා ඡන්දයේදී ගාල්ලෙන් 293619ක් ගත්තේය. මහින්ද ජනාධිපතිවරණයේදී ගාල්ලෙන් 377126ක් ගත්තේය. සන්ධානය පළාත් සභා ඡන්දයෙන් හම්බන්තොටදී 174687ක් ගත්තේය. මහින්ද හම්බන්තොටින් 243295ක් ගත්තේය. සන්ධානය 2014 උෟව පළාත් සභා ඡන්දයෙන් මොනරාගලින් 140850ක් ගත්තේය. මහින්ද ජනාධිපතිවරණයෙන් 172745ක් ගත්තේය.


මෙයින් පේන්නේ ශ්‍රී ල.නි.ප. ඡන්ද කඩන්න ශ්‍රී ල.නි.ප.යෙන් කැඩී ආ අය, හෙළ උරුමය සමත් වී නැත. ඔවුන්ගෙන් පාවෙන සහ තරුණ ඡන්දවලට ආකර්ෂණයක් ලැබෙන්න ඇත. මෛත්‍රි දින්නේ එ.ජා.ප. ඡන්ද, පාවෙන ඡන්ද, තරුණ ඡන්ද, දමිළ සහ මුස්ලිම් ඡන්දවලින්ය.
එ.ජා.ප. පාක්‍ෂිකයන් තමාගේ පරම හතුරා වන ශ්‍රී ල.නි.ප.යේ ලේකම්ව ජනාධිපති කරන්න ගත් තීරණය ඉතිහාසගත වන තීරණයකි. ශ්‍රී ල.නි.ප.ය තම වාසිය තමන්ට ලැබෙන්න කුට්ටිය දිහා බලනවා මිස දේශපාලනයේ එවැනි පරිත්‍යාග කර නැත. ශ්‍රී ල.නි.ප.ය 1994 පොදු පෙරමුණ හදන්න අත ලකුණ දන් දුන්නත් අගමැති සහ ජනාධිපති අපේක්‍ෂකත්වය පක්‍ෂය තුළ තියා ගත්තේය. 2005දීත් එසේය. පොදු පෙරමුණු ලේකම් වූයේත් ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි දි.මු.ය. 2004 සන්ධාන ලේකම් වූයේ ශ්‍රී ල.නි.ප.යේ සුසිල් ප්‍රෙම්ජයන්ත්ය. එහෙත් එ.ජා.ප.ය මෙවර ජනාධිපති අපේක්‍ෂකත්වයද පක්‍ෂයද ලකුණද මේ සියල්ල දන් දුන්නේය. චන්ද්‍රිකා මෛත්‍රිගේ අපේක්‍ෂකත්වයට එ.ජා.ප.ය සහාය දෙන බව පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රකාශ කරන විට එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ඒ තීරණය සාකච්ඡා කොට අනුමත කර තිබුණේත් නැත. ඕන නම් රනිල්ට චන්ද්‍රිකාගේ ප්‍රකාශය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නිශේධ කළ හැකිව තිබිණි.


රනිල් සහ එ.ජා.ප.ය ඉටු කළ මේ කාර්යභාරයට මෛත්‍රි රනිල්ට සහ එ.ජා.ප.යට මදි නොකියන්න බෙදල දුන්නේය. කෘත ගුණ දැක්වූයේය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති රනිල්ව අගමැති පුටුවේ වාඩි කෙරෙව්වේය. ඔහුට ඕනෑ නම් රනිල්ව ව්‍යවස්ථාවට අනුව බහුතරය පෙන්වන්න යැයි කිව හැකිව තිබිණි. ශ්‍රී ල.නි.ප.යේ අපේක්‍ෂකයා පරාජය කරපු තමාට පක්‍ෂ නායකත්වය භාර ගන්න යැයි ශ්‍රී ල.නි.ප.ය ආරාධනා කරද්දීත් ඔහු රනිල්ට ඕනෑ විදිහට ඇමැති මණ්ඩලය සහ අමාත්‍යංශ තනතුරු පත් කර ගන්න ඉඩ දුන්නේය. එයින් ඔහු ශ්‍රී ල.නි.ප.ය තුළ නායකයා ලෙස අපහසුතාවකට පත් විය. අය-වැයටත් ඔහු ශ්‍රී ල.නි.ප.යේ එකඟතාව ලබා ගත්තේය. ශ්‍රී ල.නි.ප.ය අය-වැයට විරුද්ධව ඡන්දය දුන්නා නම් රනිල් සහ එ.ජා.ප.ය ගෙදරය.


අද මෛත්‍රි සහ රනිල් හිතන්න ඕනෑ තම තමන් නායකත්වය දෙන පක්‍ෂ ගැන නොව තමන්ට ඡන්දය දුන් ලක්‍ෂ 62 බලාපොරොත්තු ගැනය.
ඒ හැට දෙලක්‍ෂයේම ලොකුම බලාපොරොත්තුව තමන්ගේ අත මිට සරුකර ගැනීම සහ දුවා දරුවන්ට රැකියා සොයා ගැනීමය. ශ්‍රී ල.නි.ප.යට මෙය කරන්න බැරිය. පසුගිය අවුරුදු 20 දිහා බලන විට එය පැහැදිලිය. එය කළ හැක්කේ රනිල්, සජිත් ඇතුළු එ.ජා.ප.යටය. මෛත්‍රිපාලගේ ගමේ සිංහල බෞද්ධ රට රකින ප්‍රතිරූපයත් රනිල්ගේ සහ එ.ජා.ප.යේ රට හදන ප්‍රතිරූපයත් එක්වූ විට ගොඩයන්නේ මෛත්‍රිය. ඒ හැට දෙලක්‍ෂයේ බලාපොරොත්තු ඉටු කරන්නේ නැතිව පක්‍ෂයේ අයගේ ප්‍රශ්නයි තමන් වටේ ඉන්න අයගේ ප්‍රශ්නයි විසඳන්න ඇන කොටා ගන්න ගියොත් අබ්දුල් ගයුම් මල්ලිව ගෙනාවා වගේ මහින්ද තමාට බැරි නම් මල්ලිව හරි ගේන්න වලි කනු ඇත. එදාට රනිල්ට කොහොම වෙතත් මෛත්‍රිට ඉන්න වෙන්නේ හිර ගෙදරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.