Header Ads

පොලිසිය හා පෙරටුගාමීහු ගුටි කෙළියක

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු සාමාජිකයන් පුංචි බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ දොරවල් බිඳගෙන ඊයේ (01 වැනිදා) දහවල් ඊට කඩාවැදීමට උත්සාහ කිරීමේදී පොලිසිය සමග ඇති වූ ගැටුමින් පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනකු ඇතුළු විසිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම ගැටුම නිසා ඊයේ (01 දා) දහවල් බොරැල්ල ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

ගැටුමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික දුමින්ද නාගමුව, රවීන්ද්‍ර මුදලිගේ, සුජිත් කුරුවිට ඇතුළු සාමාජිකයන් 15 දෙනකුට ආසන්න පිරිසකට තුවාල සිදුවී තිබේ.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස්‌ පාලනය කිරීමට ගිය සහකාර පොලිස්‌ අධිකාරි සංජය ඉරසිංහ මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු පස්‌දෙනෙක්‌ තුවාල ලැබූහ.

අධිකරණ නියෝගයකට අනුව පෙරේදා (31 දා) සිරගත කෙරුණු පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු 500 කට ආසන්න සාමාජිකයෝ පිරිසක්‌ ඊයේ (01 දා) දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී සාමකාමී උද්ඝෝෂණයක්‌ ආරම්භ කළහ. කුමාර් ගුණරත්නම් මහතාට පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් මෙම උද්ඝෝෂණය පැවැත්වුහ.

ආගමන විගමන නීති උල්ලංඝනය කළ කුමාර් ගුණරත්නම්ට එක නීතියකුත් විමල් වීරවංශට තව නීතියකුත් ක්‍රියාත්මක වන බව කියමින් මෙම පිරිස 'සාධාරණයක්‌' ඉල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය කර තිබේ. එහිදී පොලිසිය පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයන් කීපදෙනෙක්‌ ආගමන විගමන පාලක හමුවීමට

රැගෙන යැමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත. පසුව මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දොරවල් කඩා බිඳගෙන ඊට කඩාවැදීමට උත්සාහ කරද්දී එහි දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

මෙම කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය උද්ඝෝෂකයන්ට බැටන් ප්‍රහාර එල්ල කළ අතර ඔවුන් ද පොලිසියට පෙරලා පහර දී ඇත.

පසුව එම ස්‌ථානය වෙත පැමිණි කැරලි මර්දන ඒකකයේ පොලිස්‌ නිලධාරීන් සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ උද්ඝෝෂකයන් පලවා හැරීමට කටයුතු කළහ.

පොලිසිය පවසන්නේ උද්ඝෝෂකයන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ දොර ජනෙල් කීපයක්‌ විනාශ කර ඒවාට හානි කර ඇති බවයි.

එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කියා සිටියේ පොලිසිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දොර ජනෙල් කඩා දමා තමන්ට අමානුෂික ලෙස පහර දී පලවාහැරිය බවයි.

මෙහිදී තුවාල ලැබූ වැඩි පිරිසක්‌ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඊයේ (01 දා) සවස්‌ වන විට පිටව ගොස්‌ තිබිණි.

රාජ්‍ය දේපළ කඩා බිඳ දමා පොලිස්‌ නිලධාරීන්ට පහරදීමේ චෝදනා මත මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් සී. සී. ටී. වී. කැමරා මාර්ගයෙන් හඳුනාගෙන ඇති බව ද එම නිලධාරියා කියා සිටියේය.

No comments

Powered by Blogger.