Header Ads

කවුරු මොන මත දැරුවත් සයිටම් වැහෙන්නේ නැහැ - සයිටම් සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු කියයි

"සයිටම්" පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මාස කීපයක්‌ තිස්‌සේ රටේ සමහරුන්ගේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්විය.

"සයිටම්" වලට එරෙහිව සහ පක්‍ෂව දෙපාර්ශ්වයෙන්ම මාධ්‍යයට සිය අදහස්‌ පළ කළේ මාධ්‍ය පිළිබඳව තබා තිබෙන දැඩි විශ්වාසය පදනම් කරගෙනය. "සයිටම්" ප්‍රශ්නය වඩාත් උණුසුම්කාරී වූයේ "සයිටම්" විධායක නිලධාරී දොස්‌තර සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට මාලබේ දී ඉකුත් හය වැනිදා රාත්‍රියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුය.

මෙම සිද්ධියෙන් පසු රුසියාවේ සංචාරයකට සහභාගි වීමට ගිය බව කියනු ලබන දොස්‌තර සමීර සේනාරත්න මහතාට තවත් මඩ ප්‍රහාරයක්‌ එල්ල වීම නිසා "සයිටම්" ප්‍රශ්නය රටේ ආන්දෝලනයට තුඩුදෙන මාතෘකාවක්‌ බවට පත්විය.

"සයිටම්" ගැන කතා කරද්දී එහි නිර්මාතෘවරයා පිළිබඳවද සිහියට නැඟෙයි. ඔහු සයිටම් සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා ය. අපව සම්බන්ධ කළේ සයිටම් විධායක නිලධාරී දොස්‌තර සමීර සේනාරත්න මහතාය.

අප ඇසූ ප්‍රශ්න කීsපයකට සයිටම් සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා අපට පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය - මොකද මේ සයිටම් ප්‍රශ්නය තාම ඉවර නැහැ නේද?

පිළිතුර - කට්‌ටියක්‌ අපට විරුද්ධයි. එයාල විරුද්ධ වුණාට

අපිට ප්‍රශ්නයක්‌ නෑ.

ප්‍රශ්නය - කවුද ඔය විරුද්ධ කට්‌ටිය....

පිළිතුර - ඡේ.වී.පී. කට්‌ටියයි. ළමුන් පිටරට අධ්‍යාපනයට යවන සමාගම්ද මේ විරුද්ධ කට්‌ටිය පසුපස ඉන්නවා.

ප්‍රශ්නය - දොස්‌තර කාලෝ ෆොන්සේකා මහත්මයා මොනවද කියන්නේ....

පිළිතුර - එයා දැන් විරුද්ධයිලු. එදා කිව්වේ ලේ වලින් වුණත් අත්සන් කරලා දෙන්න පුළුවන් සයිටම් හොඳයි කියලා.

ප්‍රශ්නය - සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තාවකාලිකව ළමුන් ගැනීම නතර කළා නේද?

පිළිතුර - අපොයි එහෙම දෙයක්‌ නැහැ. අපේ වෛද්‍ය විද්‍යාලයට ළමුන් බඳවා ගැනීම අපි දිගටම කරගෙන යනවා. දැන් සයිටම් තවත් ජනප්‍රිය වුණා. එදා ඡේ.වී.පී. සහෝදරවරු කරපු දේවල් දැන් එයාලට මතක නැහැ.

ප්‍රශ්නය - "සයිටම්" වෛද්‍ය විද්‍යාලයට ළමුන් ගැනීම තාවකාලිකව නතර කරන්න කියලා රජය දැනුම්දීමක්‌ කළා නේද?

පිළිතුර - ඉල්ලීමක්‌ වශයෙන් කළා මිසක්‌ නියෝගයක්‌ කළේ නැහැ. සයිටම්වලට එරෙහිව ක්‍රියාකරන කට්‌ටිය පසුපස සිටින පිටරට (රුසියාව) අධ්‍යාපනයට ළමුන් යවන ආයතනය එක ළමයෙක්‌ යෑවීම සඳහා පමණක්‌ රුපියල් ලක්‌ෂ පහක්‌ අය කරනවා. එයාල අපිට එරෙහි වන්නේ ඊර්ෂ්‍යාවටයි. ඒ වගේම අපිට එරෙහි වන හුඟ දෙනෙක්‌ ඊර්ෂ්‍යාවට අපිට විරුද්ධව ක්‍රියා කරනවා.

ප්‍රශ්නය - "සයිටම්" වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ අදහසක්‌ තිබෙනවද?

පිළිතුර - ඇයි වහන්නේ. සයිටම් වහන්න තරම් හේතුවක්‌ නැහැ. අනික අපේ සිංහලයෝ මහ පුදුම පිරිසක්‌. උත්සාහයෙන් දියුණු වෙන එකාට වෛර කරනවා. ඊර්ෂ්‍යා කරනවා. මහා පුදුම කට්‌ටියක්‌. ඔබ දන්නවාද පානදුරේ කේතුමතී රෝහල මා වැඩිදියුණු කළේ 1977 එජාප රජය කාලේදියි.

ගැබිනි මව්වරුන් සඳහා මම එම රෝහල වැඩිදියුණු කළා. එවකට පැවැති එජාප රජයේ සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය මහතා එදා මට හුඟාක්‌ උදව් කළා. කේතුමතී රෝහල ආරම්භ කරලා රෝහල වැඩිදියුණුවට පත්කළා. කේතුමතී රෝහල දියුණු කිරීම පිළිබඳව අපේ පක්‍ෂයේ ආධාරකරුවන් මට කිව්වා එම රෝහලට මගේ නම දාගන්න කියලා. මම ඊට විරුද්ධ වුණා. මම එයාට කිව්වා කවදා හරි මගේම කියලා රෝහලක්‌ මගේ වියදමින් ආරම්භ කළහොත් එයට මගේ නම දාගන්නවා කියලා. අද වන විට මගේ නමින් මම රෝහලක්‌ ආරම්භ කළා. එදා මම දියුණු කරපු "කේතුමතී" රෝහලේ ගොඩනැඟිල්ල පවා යොදවාගෙන මගේ සයිටම් එකට විරුද්ධ බැනර්, පෝස්‌ටර් ගහනවා. මහ පුදුම මිනිස්‌සු.

ප්‍රශ්නය - දොස්‌තර සමීර සේනාරත්න මහතාට වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳව ඔබ මොකද කියන්නේ...

පිළිතුර - තාම පොලිස්‌ පරීක්‍ෂණයක්‌ සිදු වෙනවා.

ප්‍රශ්නය - දොස්‌තර සමීර සේනාරත්න ඔබට විශ්වාසද?

පිළිතුර - ඇයි විශ්වාස නැත්තේ. එතුමා මට විශ්වාසයි.

ප්‍රශ්නය - කතාවක්‌ තිබෙනවා ඔය සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තිබ්බේ ඔබගේ අනුදැනුම මතයි කියලා...

පිළිතුර - (සිනාසෙමින්) අපිට මොකටද ඔය වැඩේ කතා වෙලා කරන්න. ඔය කතාව හැදුවේ කට්‌ටිය. හරියට පුහුල් හොරා කරෙන් දැනේ වගේ. ඒගොල්ලෝ එක එක කතා ගොතනවා.

ප්‍රශ්නය - දොස්‌තර සමීර සේනාරත්න මහතාගේ රුසියාවේ ගත්ත උපාධි සහතිකය බොරු එකක්‌ කියලා කියනවා.

පිළිතුර - ඔය කතන්දර හදන කට්‌ටිය ඒගොල්ලන්ට මොනවා හරි කියන්න එපායැ...

ප්‍රශ්නය - ඔබ දොස්‌තර සමීර සේනාරත්නගේ උපාධි සහතිකය දැක්‌කාද?

පිළිතුර - ඔව්. මම දැක්‌කා. ඒ සහතිකය බොරු එකක්‌ නොවේ.

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සයිටම් ගැන මොකද කියන්නේ....

පිළිතුර - මුකුත් කියන්නේ නම් නැහැ. ඒත් එතුමාගේ වටේ සිටින ගොඩ පෙරකදෝරුවොත් ඒ වගේම අර වට්‌ටක්‌ක කියන මනුස්‌සයා...

ප්‍රශ්නය - ඒ කියන්නේ වාසුදේව නානායක්‌කාර මහත්මයා.

පිළිතුර - ඔව්. ඔව්. (සිනාසෙමින්) ඒ වගේම මහින්ද මහත්මයා වටේ සිටින කීප දෙනෙක්‌ "සයිටම්" එකට දොස්‌ කියනවා.

divaina -

No comments

Powered by Blogger.