Header Ads

හොරට වෙඩි තියාගත්ත හොර දොස්තර මාට්ටු....

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (SAITEM) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිදුවීමට අදාළව සැක පිට ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහු සන්තකව තිබී මිලිමීටර් 9 බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ 2ක්, 3.8 වර්ගයේ රිවෝල්වරයක්, එම උණ්ඩ 3ක්, හා මෙම අපරාධය සඳහා භාවිතා කළ බව කියන යතුරුපැදියක්ද පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඊයේ දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මාර්තු මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.

මෙම සිද්ධිය වෛද්‍ය සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇති බව හුවා දැක්වීමේ අරමුණින් ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බව හෙළිවෙමින් පවතින බවද පොලීසිය පවසයි.

සිද්ධිය සැලසුම් කළ බවට සැක කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හා පළාත් පාලන ආයතනයක රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වන විට විමර්ශන සිදුකරන බවද වාර්තා වේ.

No comments

Powered by Blogger.