Header Ads

හිරගෙදර සිට හොර බිස්නස් කළ පොලිස් ලොක්කන්ගේ සුරතලී


ඉහළ පෙළේ ධනවතුන්, විශේෂඥ වෛද්‍යවරුන්, රේගු අධිකාරිවරුන් මෙන්ම නීතිය රකින නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් සහ ‍පොලිස් අධිකාරිවරුන්ගේ සිට සෑම තරාතිරකම බලවතුන් රවටා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වංචා කරන සක්විති කතක් ගැන කරළියට එන්නේ පසුගිය සතියේය. මෙකී ජාවාරම්කාරිය ගැන ‍පොලිස් ‍පොත්වල හා අධිකරණයේ ලියැවී ඇති ආකාරයට ඇය නමින් තුෂාරි මේනකාය.
ඇගේ නම කියූ පමණින් ‍පොලිසියේ සමහරුන්ගේ ඇඟ කිලි‍පොලා යන්නේ ඇය සක්විතිටත් වඩා කනින් රිංගා ගිය කතක් නිසාය. ‍පොලිසියේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන්ගේ සිට සෑම අයකුම ළඟින් ඇසුරු කරන සුරතලියක් යැයි ප්‍රසිද්ධව ඇති නිසා තුෂාරිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ‍පොලිස් නිලධාරිහුද බියක් දක්වති.
එපමණක් නොව වරෙන්තු ගණනාවක් ඇති මෙකී කාන්තාවට එරෙහිව ඇති වරෙන්තුද හංගා ගෙන සිටින ‍පොලිස් කණ්ඩායම් ගැනද මෙකී සක්විති කත ගැන සොයා යෑමේදී අනාවරණය වූයේය.
‍පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ තරු පලඳින නිලධාරීන්ද මෙකී සක්විති කතගේ ජාවාරම්වලට සූක්ෂ්මව හසුවී යළි මුදල් ලබාගැනීමට ගිය පසුව ඇය විසින් යොදන උගුල්වලට අසුවී සිටින වගද අනාවරණය වන්නේය.
ඇතැම් නිලධාරීන්ගේ කට වැසී ගොස් ඇත්තේද ඇය විසින් කාමර තුළදී එකී නිලධාරීන්ගේ පටි ගැලවෙන අයුරින් සූක්ෂ්ම ලෙස ගෙන ඇති වීඩියෝ පටවලට ඇති බිය නිසා බවද මේ වන විට අනාවරණය වෙමින් තිබෙන්නේය.
තුෂාරි ඇඟලුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඉහළ පැලැන්තියේ කතක් ලෙස පෙනී සිටිමින් කාලයක් තිස්සේ ලක්ෂ ප්‍රකෝටි ගණනින් වංචා කර ඇතත් නීතියේ හිඩැස්වලින් ගැලවී යන්නේ තමා හඳුනන තරු නිලධාරීන්ගේද නම විකුණමිනි.
ඒ අයුරෙන් රටම ගිලගන්නා මෙකී ජාවාරම්කාරිය හොට පටලවා ගන්නේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකුටත් රුපියල් ලක්ෂ හතක පමණ ‍පොල්ලක් තැබූ නිසාය. මෑතකදී විශ්‍රාමලත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට හිතවතකු මාර්ගයෙන් මෙකී තුෂාරි හඳුනා ගන්නට ලැබෙන්නේ කොළඹ හතර ඩික්මන් පාරේ ඇඟලුම් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන හිමිකාරියක ලෙසින්ය.
ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවන ඉහළ පැළැන්තියේ පවුල් පසුබිමක් ඇති වග හඟවන නිසාත් කතා කළ පමණින් ඕනෑම අයකුගේ විශ්වාසය දිනා ගන්නට සමත් මෙකී සක්විති නෝනා ඔවුන්ව ව්‍යාපාරවලට ‍පොලඹවා ගන්නටද සමත් වූ ගැහැනියක වූවාය.
නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හිතවතා මාර්ගයෙන් හඳුනා ගන්නා තුෂාරි යෝජනා කරන්නේ ලොව ප්‍රසිද්ධ වෙළෙඳනාම සහිත නිමි ඇඳුම් විකිණීමේ ව්‍යාපාරයක් ගැනය.
“අපිට බ්‍රෑන්ඩඩ් ලිනන් ෂර්ට් එකක් රුපියල් හත්සියයකට බයර්ස්ලාගෙන් ගන්න පුළුවන්.
ඒවා එකක් රුපියල් එක්දහස් දෙසීයකට වගේ විකුණන්න පුළුවන්. බිස්නස් එකේ ලාබෙන් සියයට හැත්තෑවක් ඔයාලට දෙනවා. සියයට තිහක් මම ගන්නවා” කියා ගනුදෙනුවට ආවඩන තුෂාරි කළ පැහැදිලි කිරීම් හමුවේ මෙකී නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාත් තම මිතුරා ගෙනා යෝජනාවට එකඟ විය. විශ්‍රාම ගිය නිසා මෙවැනි ව්‍යාපාරයක් කරගෙන යාම ප්‍රශ්නයක් නොවන බව සිතා ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ලබාදී කමිස දහසක ඇණවුමකට එකඟ වන්නේය.
දහසක ඇණවුමට මුදල් දුන්නද පෙට්ටිවල අසුරා ගෙනැවිත් තිබුණේ කමිස හාරසියයක් පමණි. අවසානයේ ඇණවුම් කළ ප්‍රමාණය නොලැබුණ බව දැන ගන්නා විට නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාවත් අන්දවා අඩු ප්‍රමාණයක් ලබාදී ව්‍යාපාරික කත අතුරුදන් වී සිටියාය.
මෙකී කාන්තාව ගැන සොයා බලද්දී ඇය ‍පොලිසියේ ඉහළ ප්‍රධානීන්ගේ සිට සියලු තරාතිරමේ අයටත් ‍පොලු තියා රටම ඇන්දූ කතක් බවට නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා දැන ගත්තේය.
ඒ අනුව ‍පොලිස්පති පූජිත් ජයසුන්දර හා බස්නාහිර පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන් වෙත විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා පැමිණිලි කිරීමෙන් පසු රටක් කැලඹූ සක්විති කත සොයා මෙහෙයුම් අරඹන්නේ කොළඹ වංචා විමර්ශන අංශය ලවාය.
මේ අනුව විමර්ශන අංශ ක්‍රියාත්මක වී සෙවූමුත් සක්විති කත කිසිම තැනක සොයා ගන්නට නොහැකි විය. මෙකී කාන්තාවට එරෙහිව වංචා විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි හා රහස් ‍පොලිසියට ලැබුණු පැමිණිලිවලට අනුව ඇයට විරුද්ධව අධිකරණයේ වරෙන්තු දහයක් පමණ ඇති බවත් ඇය දිවයිනේ නමගිය අපරාධකරුවන්ගේ (අයි.ආර්.සී.) ලැයිස්තුවටත් ඇතුළත් කර ඇති බවත් අනාවරණය වන්නේය. එසේ වවුද එතෙක් ඇයට නිදැල්‍ලේ සිටීමට හැකි වන්නේද නීතිය බලවතුන් යැයි කියන හොරුන් ක්‍රියාත්මක නොවූ නිසාය.
නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකුටත් බියක් නොමැතිව මුදල් වංචාව කළ මෙකී කතගේ දුරකථනයට කතා කර වරෙන්තු කාරියක වන ඇය නීතියේ රැහැනට කොටු කරන බව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා කියද්දීත් ඇය කියා තිබුණේ “සර් ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඒවා හංගන්න පුළුවන්” යන පිළිතුරය.
නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකු හා හැප්පීමටද ඇයට නීතියේ රැකවරණ ඇති වග සිතා කටමැත දෙඩුවද ගල්කිස්සේ තරුපහේ හෝටලයකදී ජේලර්වරයකු සමග කොටු කර ගන්නට වංචා විමර්ශන අංශයට හැකි වූයේය.
මෙකී වරෙන්තුකාරිය සමග හෝටලයේ පෙම් සුව විඳි ජේලර්වරයා ඇයට හමුවන්නේද හිරගෙදරදීය. හිරගෙදරදී හඳුනාගත් ඇය ජේලර්වරයාගේ සහායෙන් සියලු ජාවාරම් බය නැතිව කර ඇත්තේ හිරගෙදරදී වුවද ඇයට සැපට ඉන්නට පහසුකම් සපයා දුන් නිසා බව විමර්ශනවලදී හෙළි වන්නේය.
ජේලර්වරයා සමග සිටියදී අල්ලාගත් ජාවාරම්කාර කතගේ තරුපහේ හෝටලයේ කාමර බිල පමණක් රුපියල් ලක්ෂ හතකි. ඇය ජේලර්වරයාගේ පාවිච්චියට ලබාදී තිබුණේද වෙසල් වර්ගයේ රුපියල් ලක්ෂ හැට හැත්තෑවක ජීප් රථයකි.
මේ අනුව අත්අඩංගුවට ගන්නා කාන්තාව අධිකරණය හමුවට පමුණුවන අතර ජේලර්වරයා අවවාද කර මුදාහැරෙන්නේය.
ඒ සමග ඇය විසින් රට පුරා කළ මහා පරිමාණ වංචා ගැන තොරතුරු ගලා එන්නට වූයේය.
විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිමිකරුවකු හමුවන්නට ගිය මොහොතක හිමිකරුට හොරෙන් චෙක් ‍පොතෙන් චෙක්පතක් කඩා ගෙන ඇති වගද විමර්ශනවලදී හෙළි වන්නේය.
සරණංකර පාරේ පදිංචි නගර සභාවේ සේවය කළ විශ්‍රාමලත් ඉංජිනේරුවකු හා ඔහුගේ විශ්‍රාමික බිරිඳගේ වැටුපින් ස්ථාවර තැන්පත් ලෙස තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 98ක් වියපත් යුවළ රවටා වංචා සහගත ලෙස ලබාගැනීමේ චෝදනාවක්ද මෙකී කතට එරෙහිව ඇති වගද විමර්ශනවලදී අනාවරණය වන්නේය.
ඒ පමණක් නොව කොළඹ 7, රොස්මීඩ් පෙදෙසේ පදිංචි නලිනි ඉන්දිරා ජයතිලක නමැති කෝටිපති කාන්තාව රහස් පෙලිසියට පැමිණිලි කර ඇත්තේද මෙකී තුෂාරි නමැති කාන්තාව කළ කෝටි ගණනක වංචාවක් ගැනය.
පැමිණිකාරිය වූ නලිනි ඉන්දිරා මහත්මිය එංගලන්තයේ ගුරුවරියක ලෙස සේවය කර ඇති බවත් ඇගේ ස්වාමි පුරුෂයා එරට බැරිස්ටර්වරයකු හා අප්‍රිකාවේ මහෙස්ත්‍රාත්වරයකු ලෙස සේවය කර ඇති බවත් රහස් ‍පොලිසිය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේය.
මොවුන් සතු එංගලන්තයේ පිහිටි නිවාස දෙකක්, රුපියල් ලක්ෂ අසූවක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක්, රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසක් සහිත ඉඩමක්, මහනුවර හා දුනගහ ප්‍රදේශයේ ඉඩම් දෙකක් ඇතුළු දේපළවලට සැකකාරිය වන තුෂාරි මේනකා කූට ‍ලේඛන සකසමින් මසක් ඇතුළත වංචා කර ඇතැයි රහස් පෙලිසියේ වාණිජ අපරාධ අංශ විමර්ශන (2) ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිරෝෂනි හේවාපතිරණ මහත්මිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
මෙකී සැකාකර ජාවාරම්කාරිය රුපියල් කෝටියක් පමණ වටිනා රන් භාණ්ඩද මොවුන්ගෙන් වංචා කර ඇත්තේද එංගලන්තයේ සිට මෙරටට පැමිණ තනිවම වාසය කරමින් සිටි නලිනි ඉන්දිරා මහත්මියට ව්‍යාපාරයක් කිරීමට යැයි පවසා අනුකම්පාව දිනා ගනිමින් බවද අනාවරණය වූයේය.
මේ අයුරින් තුෂාරි සිරගත වී රුපියල් කෝටි ගණනක වංචා හෙළි වුවද තුෂාරි තම ජාවාරම නවත්වන්නේ නැත. ඒ තමාගේ සහායකයා වූ ජේලර්වරයාගේ සහාය තුෂාරිට නිබඳව ලැබුණු නිසාය.
තුෂාරි හිරගෙදර කේන්ද්‍ර කරගෙන කරළියට එන්නේ මේ අනුවය.
හිරගෙදර මහගෙදර කරගත් මෙකී ජාවාරම්කාරියට නිදහසේ තම ජාවාරම කරගෙන යාමට අවශ්‍ය පහසුකම් එහිදී ලැබේ. ඕනෑම මොහොතක දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම පමණක් නොව හිරගෙදරදී නොලැබෙන සැපපහසුකම්ද ඇයට ලැබෙන වග විමර්ශනවලදී අනාවරණය විය.
තුෂාරි හිරගෙදර සෙල්ලමට සිය මව හා දියණියද යොදා ගත්තාය. ඇඟලුම් ක්ෂේත්‍රයේ ජාවාරම් පිළිබඳව ඇති පළපුරුද්ද උපයෝගීකරගෙන හිරගෙදරදීම ඪඬථචද.තඬ වබේ අඩවියෙන් තොග වෙළෙන්දන් පිළිබඳ විස්තර ගෙන ඇය අලුත් ජාවාරමට බැස්සාය.
අන්තර්ජාලයේ ඇති අංකවලට කතා කර මෙරටට ලොව ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම සහිත නිමි ඇඳුම් ගෙන්වන ව්‍යාපාරිකයන් කොටු කරන මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.
තමන් නෙලා එකේ සේවය කරන බවද එහි ප්‍රධානියකුගේ ‍ලේකම්වරියක් බව කියමින් ඉංග්‍රීසියෙන්ම කතා කරන ඇයගේ කතා විලාසය ව්‍යාපාරිකයන් දැ‍ලේ දමා ගැනීමට හේතු වෙයි.
“මට බයර් කෙනෙකුට යවන්න කොලර් ටී ෂර්ට්, කොලර් නැති ටී ෂර්ට් දෙදහක් ඕන වෙනවා. උදේ පාන්දරම මට සාම්පල් එකක් ගෙනත් දෙන්න” යැයි හිරගෙදර සිට ජාවාරම මෙහෙයවූ තුෂාරි ප්‍රධාන පෙළේ රෙදි ව්‍යාපාරිකයකුට දැන්වීය.
එකවර මුදල් ලබා දිය හැකි ගනුදෙනුවක් යැයි ඇය කී නිසා ඔවුන්ද එම දුරකථන ඇමතුමට අනුව අදාළ කාන්තාවට අයත් කිරුළපන පිහිටි නිවස වෙත සාම්පලය රැගෙන ව්‍යාපාරික යුවළක් එහි ආහ. සාම්පලය රැගෙන පැමිණියද නිවසේ ඇඳුම් ඇණවුම ලබා දුන් කාන්තාව නොසිටියද ඇගේ මව විසින් පැමිණ එම ව්‍යාපාරික යුවළ පිළිගත්තේ දුව දරුවා පාසලට රැගෙන ගිය වග කියමිනි.
“අම්මා ගෙදර ඉන්නවා. එයාට සාම්පල් දීලා යන්න. මම පැයකින් ඕඩර් එක කන්ෆර්ම් කරන්නම්.” ව්‍යාපාරික යුවළට තුෂාරි දුරකථනයෙන් දැන්වීය.
ඉහළ පෙළැන්තියේ පවුලකට අයත් නිවසක් මෙන් වූ මෙම නිවසේ වටපිටාව පවා කෙනෙකුට සැක නොසිතෙන ආකාරයක් ගනී.
යළිත් පැය කිහිපයකින් ඇණවුම සාර්ථක වූ බව කියමින් අදාළ ඇණවුම නිවසට රැගෙන එන්නැයි දැනුම් දෙයි. මේ අනුව රුපියල් අටලක්ෂ අනූදහසක් වටිනා නිමි ඇඳුම් පෙට්ටි දහතුනක් රැගෙන කිරුළපන නිවසට ගොස් මවට භාර දුන්නද කලින් ගිවිසගත් පරිදි මුදල් ගනුදෙනුව නොවීය.
“මං ක්ලයන්ට්ලා එක්ක හම්බන්තොට ඇවිත් ඉන්නේ. බයර් කියු.සී. කරලා කන්ෆර්ම් කරනකම් පර්චෙසින් ඕඩර් එක දෙන්නම්. දවස් දෙකෙන් මම සල්ලි දෙන්නම්.
ඔයාලාගේ එකවුන්ට් එකට දාන්නම්” කියා තුෂාරි යළි ගනුදෙනුවේ ඉතිරි කොටසත් සැක නොහිතෙන්නට ක්‍රියාත්මක කළාය.
දිනෙන් දින මුදල් ලබාදීම ප්‍රමාද වූ අතර සතියක් ගියද මුදල් නොලැබිණි. විටින් විට කතා කර මුදල් එකවර ලැබිමට ඇති වග කියා සමාව අයදින්නට තරම් ඇය සටකපට වූවාය.
තමන් හිරගෙදර සිට ජාවාරමක් කරන කතකට අසුවී ඇතැයි ව්‍යාපාරික යුවළද දැන සිටියේ නැත. දිනෙන් දින මුදල් ලැබිම ප්‍රමාදවීම නිසා තමන් හමුවීමට පැමිණි මාධ්‍ය සගයකුට මේ බව කියා ව්‍යාපාරික කත ගැන තොරතුරු සොයා යන විට තමන් චෞර රැජිනකට හසුවී ඇතැයි ව්‍යාපාරික යුවළද දැන ගත්හ.
මෙම ජාවාරම්කාරිය රටම හෙල්ලූ හොර දෙටු කතක් බව හෙළිවීමත් සමග තමන්ගේ හිතවත් ‍පොලිස් නිලධාරියකු මාර්ගයෙන් කොළඹ වංචා විමර්ශන අංශය වෙත ගොස් ඔවුහු පැමිණිලි කළහ. මේ වන විටත් එකී ව්‍යාපාරික යුවළට ඇති සබඳතා ඔස්සේ තමන්ගේ නිමි ඇඳුම් බෙදාහැර ඇති පුද්ගලයන් හා සඟවා ඇති තැන්ද සොයාගෙන තිබිණි.
ඉන්පසුව එකී ජාවාරමේ ඉදිරි පරීක්ෂණ ජාවාරම්කාර කතට ඇති බලය නිසා පමාවීමට ඉඩ ඇති වග දැනුණු නිසා ව්‍යාපාරික යුවළ කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක මහතා හමුවී පැමිණිලි කළේය.
වහාම ක්‍රියාත්මක වූ ලලිත් පතිනායක මහතා මෙකී ජාවාරමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට ලබා දුන් උපදෙස් පරිදි ජාවාරම මෙහෙය වූ හැත්තෑ හැවිරිදි මව ඇතුළු නිමි ඇඳුම් තොග විකුණන ජාවාරම්කරුවෝද පසුගිය සතියේ කොටු කර ගනු ලැබූහ.
එහෙත් මෙකී මෙහෙයුමේ හොර දෙටු කත බන්ධනාගාරගතව සිට දුරකථන තුනකින් ජාවාරම කරගෙන යන වගද හෙළි විය. ඇයට උදව් කරන ජේලර්වරයාගේ නම සඳහන් දුරකථන අංකයක් අත්අඩංගුවට ගත් සැකකාරියගේ මව භාවිත කරන වගද හෙළි විය.
කෙසේ වුවද මෙවර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටම ජාවාරම්කාරිය හා ජේලර්වරයා බන්ධනාගාරයේ සිට ගෙන යන මෙහෙයුම ගැන කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක මහතා දැනුම් දුන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේද ඇස් ඇරේ.
කෙසේ වුවද මේ වන විටත් තුෂාරිගේ බන්ධනාගාර මෙහෙයුමට ලංකාවට නිමි ඇඳුම් ගෙන්වන බොහෝ දෙනෙක් කොටු වී සිටියහ.
එක් ව්‍යාපාරිකයෙක් නිමි ඇඳුම් මිලදී ගන්නට මෙරටට පැමිණි පුද්ගලයකු බව කියා මෙරට සිටි විදේශිකයකුටද හඳුන්වා දී තිබුණි. තවත් දෙදෙනෙක් රුපියල් ලක්ෂ හත, ලක්ෂ දහය පවා වංචා කළ අය වූහ.
තුෂාරි බන්ධනාගාර මෙහෙයුමේදී කිරුළපන නිවසට ගෙන්වා ගන්නා නිමි ඇඳුම් බෙදාහැරියේ හැත්තෑහැවිරිදි මව මාර්ගයෙනි. තුෂාරිගේ සොහොයුරියක් එතෙර සේවය කරන වෛද්‍යවරියකි. ජාවාරම්කාරියගේ සැමියා ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක විධායක නිලධාරියෙක් විය. එහෙත් ඔහු ඇගෙන් වෙන්ව ගොස් ඇත. ඔහු ලබා දුන් කිරුළපන නිවස ජාවාරම් තිප්‍පොළක් බවට පත්ව තිබේ.
ෆයිකි, ලීවයිස්, අඩිඩාස්, ඇමෙරිකන් ඊගල් ඇතුළු ලොව ප්‍රසිද්ධ වෙළෙඳනාම සහිත නිමි ඇඳුම් මෙරටදී මහා පරිමාණයෙන් විකුණන තොග වෙළෙඳුන් විසිපස් දෙනකු පමණ මෙරට සිටිති. එම වෙළෙඳුන්ගෙන් වෙළෙඳ ජාලය මාස කිහිපයක් ඇතුළත පහත වැටෙන්නේ තුෂාරි හිරගෙදර සිට මෙහෙයවූ ව්‍යාපාරික ජාලය නිසාය. තොග වෙළෙන්දන්ගේ කොළඹ සිට හම්බන්තොට දක්වා වෙළෙඳාම බිඳ වැටෙන්නේ තොග වෙළෙඳාමේදී රුපියල් පන්සිය විසිපහකට ලබාදෙන ඇඳුමක් තුෂාරිගේ කණ්ඩායම රුපියල් 250ක් වැනි මුදලකට බෙදාහරින්නන්ට ලබා දෙන නිසාය. තුෂාරි වෙළෙඳුන් රවටා නිකම්ම ලබා ගන්නා නිමි ඇඳුම් තොග අඩු මුදලකට හෝ ඉක්මනින් හතර වටේට බෙදාහරින්නේ සුළු ලාභයක් ලැබුණද එය ප්‍රමාණවත් නිසාය.
විදෙස් රටවලින් රුපියල් 490ට තොග පිටින් ගෙන රුපියල් 575ක් වැනි මිලකට බෙදාහරින්නට ව්‍යාපාරිකයන් උත්සාහ කළද තුෂාරිගේ කණ්ඩායම් බෙදාහරින ඇඳුම් රුපියල් 450ට වෙළෙඳ‍පොළට වැටෙද්දී තොග වෙළෙඳුන්ගේ රෙදි තොග ඉබේම ප්‍රතික්ෂේප වෙයි.
වෙළෙඳසලක රුපියල් 1500, 2000ට මිල කර විකිණෙන මෙම ඇඳුම්වලින් තුෂාරි සුළු ලාභයක් හෝ තකන්නේ ඒවා තමන්ට නොමි‍ලේම ව්‍යාපාරිකයන් රවටා ගන්නා ඒවා නිසාය.
කෙසේ වුවද මේ මගින් රටම ගොනාට ඇන්දවිය හැකි හොර දෙටු කතක් බන්ධනාගාරය තුළ සිට කරන කෝටි ප්‍රකෝටි ගණනක සංවිධානාත්මක ජාවාරම අනාවරණය වෙමින් ඇත්තේය. දැන් කළ යුත්තේ මොවුන් ගසා කෑ සියල්ල අනාවරණය කර ගැනීමත්, නීතිය යටපත් කර කාන්තාවන්ට විකිණෙන ‍පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ වෙස් මුහුණුු ගැලවීමත්ය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

No comments

Powered by Blogger.