Header Ads

රු. ලක්‌ෂ 58ක ඒ.ටී.එම් කොල්ලකරු භාෂා හයක්‌ දන්නා කථිකාචාර්යවරයෙක්‌

මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි ධම්මික පුෂ්පකුමාර අවුරුදු විසිනමයක තරුණයෙකි. පාසල් වයසේ සිටම දඩබ්බර ගති පැවතුම්වලින් යුක්‌ත වූ ඔහු හරිහමන් පාසල් අධ්‍යාපනයක්‌ද ලැබුවේ නැත. ජීවත්වීම සඳහා නොයෙක්‌ රැකියාවල නිරත වුවද එක දිගට රැකියාවක නිරත වීමට ඔහුට නොහැකි විය.

දැනට වසර පහකට පමණ පෙර ධම්මික රැකියාවක්‌ නොමැතිව අන්ත අසරණ වූහ. සුළු සුළු සොරකම් කිහිපයක්‌ පවා කළේ කරන්න කිසිම දෙයක්‌ නොමැති නිසාය. එයින් ජීවත් වීමට හෝ දිගටම කරගෙන යැමටත් නොහැකිවීම නිසා හමුදාවට බැඳීමට ඔහු තීරණය කළේය.

යුද හමුදා පාබල ඒකකයේ වසර හතරක පමණ කාලයක්‌ ඔහු සේවය කළේය. දඩබ්බර හා සෙල්ලක්‌කාර චරිතයක්‌ වූ ධම්මිකට හමුදා ජීවිතය කල්යත්ම තිත්ත වී තිබුණි. අවසානයේ ධම්මික හමුදාවෙන් පැන යැමට තීරණය කළේය.

ධනංජය හේරත් ආණමඩුව මහඋස්‌සව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉගෙනීමට ඉතාමත් දක්‍ෂයකු වූ ඔහු සරසවි වරම් ලබා ගත්තේ දෙමාපියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින්ය. පාසල් යන කාලයේ සිට ඔහු අධ්‍යාපන කටයුතුවලට අමතරව වාහනවල ටින්කර් වැඩද කළේය. කලක්‌ යද්දි ඔහු අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ටින්කර් වැඩවලටද දක්‍ෂයකු විය.

කලක්‌ යද්දී ධනංජය වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තය බලා පිටත් විය. එහිදී ඔහු ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්‌ද ලබා ගත්තේය. මීට අමතරව ඔහුට භාෂා හයක්‌ චතුර ලෙස කතා කිරීමට හැකිවූහ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් ධනංජය යනු ඉගෙනීමට උපන්ගෙයි හපනෙකි.

එංගලන්තයේ සිට ලංකාවට පැමිණි ධනංජය කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර අංශයේ කථිකාචාර්ය වරයකු ලෙස සේවය කළේය. ඉගෙනීමට මෙන්ම ඉගැන්වීමටද ඔහු හපනෙකි.

යසරත්න තෙන්නකෝන් පනාගමුව පොතුහැර පදිංචි පුද්ගලයෙකි. ඔහුද හරි හමන් අධ්‍යාපනයක්‌ නොලද්දෙකි. රියදුරෙකු වශයෙන් රැකියාව කළේය. ආර්ථීක අමාරුකම් රැසක්‌ තිබූ ඔහු සල්ලි වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක්‌ කිරීමට සූදානම් වී සිටියේය.

"කූඩැල්ලව මෙට්‌ටය උඩ තියන්න බැහැ" කියා කියමනක්‌ අපි සමාජයෙන් අසා ඇත්තෙමු. ධනංජය ද එසේය. ධනංජය කොතරම් උගතෙකු වුවත් ඔහුගේ මට්‌ටමට නොගැළපෙන අය ඇසුරු කළේය. ඒ අනුව ධම්මිකද ධනංජයගේ හොඳම මිතුරෙකි. ඔය අතර යසරත්න ධනංජයව හඳුනා ගන්නේ ධම්මිකගේ මාර්ගයෙනි. කලක්‌ යද්දී තිදෙනා අතර දැඩි මිත්‍රකමක්‌ ගොඩනැඟුණහ.

හරිහමන් රැකියාවක්‌ නොමැති නිසා ධම්මික සහ යසරත්න ජීවත් වූයේ අඟහිඟකම් රැසක්‌ මැද්දේය. කථිකාචාර්යවරයකු වුවත් ධනංජය සල්ලිවලට දැඩි කෑදරකමක්‌ දැක්‌වූහ. ධම්මික දිනක්‌ යසරත්නට මෙලෙස පැවසුවේය. හැමදාම මෙහෙම ඉඳල බැහැ බං. ඉන්න ටිකේ ජොලියේ ඉන්න ඕන. අපි මොකක්‌ හරි ගේමක්‌ ගහමු. සර් කාරයවත් (කථිකාචාර්ය ධනංජය) සම්බන්ධ කරගමු. මිනිහා අකමැති වෙන්නේ නැහැ. සල්ලිවලට හරි කෑදරයි. ඒ වගේම ඉගෙන ගත්තට මිනිහටත් තියෙනවා සල්ලි ප්‍රශ්න..."

"අනේ මන්දා බං. සර්Êකාරයා ගේමක්‌ ගහන්න කැමැති වෙයිද..." යසරත්න ඇසුවේය.

"උඹ බය නැතිව හිටපංකො. මම මිනිහව ගාණට සෙට්‌ කර ගන්නම්. අපි එකතුවෙලා ලොකු ගේමක්‌ ගහමු එක පාරටම ගොඩ යන්න. මේ පොඩි ගේම් ගහලා හරියන්නේ නැහැ..."

එසේ කතා කරගත් පරිදි දෙදෙනා දිනක්‌ ධනංජය හමුවීමට ගියේය. ආගිය තොරතුරු හුවමාරු කරගන්නා අතර තුර "නියම වැඩක්‌ තියෙනවා සර්ට කියන්න... අපි පොඩ්ඩක්‌ එළියට ගිහින් කතා කරමුද..."

"මොන මඟුලකටද ඕයි එළියට යන්නේ... මෙන්න මෙහෙ ඉඳලා කතා කරමු. මොකක්‌ද ඔය මහ ලොකු වැඩේ. ගාණක්‌ නැති වෙන එකක්‌ද" කථිකාචාර්ය ධනංජය එලෙස පැවසුවේය.

"මෙහෙම ඉඳලා කවද ගොඩයන්නද... සර්ටත් මුදල් ප්‍රශ්න තියෙනවනේ... අපි ලස්‌සන ගේමක්‌ ගහමු ප්ලෑන් කරලා..." ධම්මික යළි පැවසුවේය.

"ඔව් සර් මොකටද අපි නිකං දුක්‌ විඳින්නේ... හොඳට ප්ලෑන් කරලා ගේමක්‌ ගැහුවොත් කාටවත් අල්ලන්න බැහැ. ධම්මික ඒකට දක්‍ෂයිනේ..." යසරත්න උල්පන්දම් දුන්නේය.

"දැන් මොකක්‌ද කරන්න යන්නේ... කියන්නකෝ බලන්න එහෙනම්..." කථිකාචාර්ය ධනංජය යළි පැවසුවේය.

ඒ අනුව ධම්මික තමන් කරන්න යන දේ කථිකාචාර්ය ධනංජයට පැහැදිලිව පැවසුවේය. ඔහුගේ අදහස වූයේ ඒ.ටී.එම්. යන්ත්‍ර කොල්ලකෑමයි. ඒ වන විටත් ධම්මික එවැනි හොර වැඩ කිහිපයක්‌ කර තිබුණේය. එහි ප්‍රතිඵල වශයෙන් විවිධ පළාත්වල අධිකරණ දහසයක නඩු තිබූ අතර වරෙන්තු හතක්‌ද ඔහුගේ නමට නිකුත් කර තිබුණි.

සල්ලිවලට කෑදර කථිකාචාර්ය ධනංජය එම යෝජනාවට එක පයින්ම කැමැති විය. ඉන්පසු ඔවුහු ඒ.ටී.එම්. යන්ත්‍ර කොල්ල කන විදිහ ගැන සාකච්ඡා කළහ. ටින්කරින් වැඩවලටත් දක්‍ෂ කථිකාචාර්ය ධනංජය පැවසුවේ ගෑස්‌ උදුන් උපකරණයෙන් එම යන්ත්‍ර කපා මුදල් ලබා ගැනීමටයි.

කතා කරගත් පරිදි පිරිස පසුගිය විසිවැනිදා කුලියට ලබාගත් කාර් රථයක්‌ මගින් ඒ.ටී.එම්. යන්ත්‍ර කොල්ල කෑමට අවශ්‍ය ආම්පන්නද රැගෙන පිටත් වූහ. මොවුන්ගේ අරමුණ වී තිබුණේ සෙනඟ නොගැවසෙන ආරක්‍ෂිත අතින් අඩු ඒ.ටී.එම්. යන්ත්‍ර සොයා ගොස්‌ කොල්ලකෑමටයි. මෙහි මහ මොළකරු වූ ධම්මික, බිබිල ප්‍රදේශයට ගොස්‌ ඒ.ටී.එම්. යන්ත්‍ර කොල්ල කෑමට යෝජනා කළේය. සෙසු සගයන් එයට එක පයින්ම කැමැති වූහ. ඒ අනුව පිරිස බිබිල බලා පිටත් වූවෝය. බිබිල ප්‍රදේශයේ එක්‌තරා රාජ්‍ය බැංකුවක්‌ මොවුන්ගේ නෙත ගැටුණි.

ඒ වන විට රෑ බෝවී තිබුණි. වටපිටාවේද පෙනෙන්නට කිසිවකු සිටියේ නැත. පිරිස එම ඒ.ටී.එම්. යන්ත්‍රය කොල්ලකෑමට තීරණය කළහ. යසරත්න මෝටර් රථය ඒ.ටී.එම්. යන්ත්‍රයට මීටර් කිහිපයක්‌ දුරින් නැවැත්තුවේය. ඔහු එම මෝටර් රථය තුළට වී සිටියදී සෙසු පිරිස අවශ්‍ය ආම්පන්නද රැගෙන ඒ.ටී.එම්. යන්ත්‍රය කොල්ලකෑමට ගියේය.

එම ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනකු ඒ.ටී.එම්. යන්ත්‍රය තිබුණ ස්‌ථානයට මීටර් හත්සියයක්‌ පමණ දුරින් මත්පැන් පානය කරමින් සිටියහ. ටික වේලාවක්‌ ගතවෙද්දී එම ස්‌ථානයේ නවතා තිබෙන ධම්මිකලා පැමිණි මෝටර් රථය ගැන එම තරුණයන්ට සැකයක්‌ ඇතිවූහ. ඒ අනුව එතැනට පැමිණි බීමත් තරුණයෝ යසරත්නගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්හ.

එන පොට හොඳ නැති බව යසරත්නට ඉවෙන් මෙන් දැණුනි. ඔහු තම ජංගම දුරකථනයෙන් එම බීමත් තරුණයන්ටත් හොර රහසේම ධම්මිකට වුණ දේ පැවසුවේය. වහාම පිරිස ඒ.ටී.එම්. යන්ත්‍රය කොල්ලකෑම පසෙකට දමා මෝටර් රථයට නැග එම ස්‌ථානයෙන් පලා ගියේය. බීමත්ව සිටි තරුණයන්ට මුලසිටම එම මෝටර් රථය පිළිබඳව සැක සිතුණි. එම නිසා එක්‌ තරුණයකු එම මෝටර් රථයේ අංකය මතක තබා ගත්තේය. පසුව ඔහු පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකය අමතා සිදුවූ සියලු දේ සහ එම මෝටර් රථයේ අංකය ලබා දුන්නේය.

"බලහංකෝ කාලකණ්‌ණි ටිකක්‌ නිසා අපේ ගේම් එක ගහගන්නත් බැරි වුණානේ..." ධම්මික කේන්තියෙන් පැවසුවේය.

"ගණන් ගන්න එපා මචං. එක මැෂින් එකක්‌ නොවෙයි තව තියෙනවානෙ. අපි වෙන තැනකට යමු..." කථිකාචාර්ය ධනංජය පැවසුවේය.

පිරිස බිබිල, මැදගම ප්‍රදේශයේ සවිකර තිබූ තවත් ඒ.ටී.එම්. යන්ත්‍රයක්‌ ළඟ මෝටර් රථය නතර කළහ. කිසිදු බාධාවකින් තොරව ගෑස්‌ ලාම්පුව භාවිතා කර ඒ.ටී.එම්. යන්ත්‍රයේ තහඩු කථිකාචාර්ය ධනංජය කපා දැමුවේය. ඉන්පසු එහි තිබූ රුපියල් ලක්‌ෂ පනස්‌හතකට අධික මුදලක්‌ එම පිරිස කොල්ලකෑවෝය.

එදින රාත්‍රිය බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ එම පිරිස ඉමහත් සතුටින් ගත කළේය. එදින රාත්‍රියේ පිරිස අතර මුදල් බෙදාගත්හ. පසුදින යළි පිරිස තම තමන්ගේ නිවෙස්‌ බලා ගියේ ඉමහත් සතුටින්ය.

ඒ.ටී.එම්. යන්ත්‍රය කොල්ලකෑම පිළිබඳ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළහ. එහිදී බිබිල ප්‍රදේශයේ දී තරුණයන් ලබාදුන් සැක කටයුතු මෝටර් රථයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය දවස්‌ කිහිපයක්‌ ඇතුළත ඒ.ටී.එම්. යන්ත්‍රය කොල්ලකෑමේ සියලු තොරතුරු සහ අදාළ සැකකරුවෝ අත්අඩංගුවට ගත්හ.

ගයාන් සමරසිංහ

No comments

Powered by Blogger.