Header Ads

කෝච්චිවල චිත්‍ර අදින 'චෙක්‌' ජාතික තරුණයින් දෙන්නා ලංකාවේදී අත්අඩංගුවට පත් කතාව

කෙනෙකුගේ සිත තුළ පහල වන අනේකවිධ සිතුවිලි සිතුවමට නැඟêමේ ඉතිහාසය ආරම්භ වන්නේ මිනිසා ශිෂ්ටත්වයට පත් වූ ඈත එපිට අතීතයේ සිටය. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ පවතින අතර මෙරට සම්බන්ධයෙන් ගත් කල ලෝ ප්‍රකට සීගිරි බිතු සිතුවම් ඒ සඳහා එක්‌ උදාහරණයක්‌ ලෙස සඳහන් කළ හැක.

එහෙත් චෙකොස්‌ලෝවැකියාව වැනි දියුණු රටක සිට අධික මුදලක්‌ වැය කොට මෙරටට පැමිණි විදේශික තරුණයන් දෙදෙනෙකු විසින් සිදු කළ අපූරු සිතුවම් දැක්‌මක්‌ අධිකරණයෙන් කෙළවර වූ පුවතක්‌ පිළිබඳ තොරතුරක්‌ ඉකුත් 25 දා මාතර දුම්රිය ස්‌ථානයෙන් වාර්තා වන්නේ එවැනි පුවතක්‌ මෙරටින් වාර්තා වූ පළමු අවස්‌ථාව ලෙස ඉතිහාසගත වෙමින්ය.

වසර දෙකකට ආසන්න කාලයක්‌ පුරා වරින් වර මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්‌කඩුව සහ මාතර දුම්රිය ස්‌ථානවල නතර කර තබන ලද දුම්රිය කීපයක්‌ තුළ විවිධ මාදිලියේ සිතුවම් කීපයක්‌ ඇඳ තිබෙනු දකින දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත්වීමට ගන්නේ දුම්රිය මගීන්ගේ මෙන්ම දුම්රිය මැදිරි ආරක්‍ෂාවද ඔවුන්ගේ රාජකාරියට අයත් වගකීම් වීම හේතුවෙනි. වෙනස්‌ම ආරකින් යුත් ශෛලියක්‌ යටතේ ස්‌ප්‍රේ තීන්ත වර්ග භාවිතා කරමින් දුම්රිය මැදිරි මතුපිට ඇඳ ඇති එම සිතුවම් දකින ආරක්‍ෂක නිලධාරීන් අවසානයේදී තේරුම්ගත් එක්‌ කරුණක්‌ වී ඇත්තේ එම සිතුවම් විදේශීය ජාතිකයෙකු හෝ පිරිසක්‌ විසින් අඳින ලද සිතුවම් විය යුතු යෑයි යන්නය. විශේෂයෙන් හික්‌කඩුව සහ ගාල්ල යන දුම්රිය ස්‌ථානවල නතර කර තබන දුම්රිය තුළ පමණක්‌ එවැනි සිතුවම් ඇඳීමත් එම සිතුවම් මුළුමනින්ම විදේශීය ආරකින් යුතුව සිතුවමට නගා තිබීමත් හේතුවෙන් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් එසේ අනුමාන කිරීමට ආසන්නම හේතුව වී ඇත.

අවස්‌ථා කීපයකදී දුම්රිය මැදිරි කීපයක්‌ තුළ ඇඳ තිබූ විවිධ මාදිලියේ සිතුවම් දකින ආරක්‍ෂක නිලධාරීන් එතැන් සිට වැඩි අවධානයක්‌ යොමු කර ඇත්තේ රාජ්‍ය දේපළක්‌ වන දුම්රිය මැදිරි තුළ නීති විරෝධී අයුරින් සිතුවම් අඳින්නන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමය.

මාතර සහ හික්‌කඩුව දුම්රිය ස්‌ථාන භාර ආරක්‍ෂක නිලධාරීන් එතැන් සිට මේ සිදුවීම් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත්ව පසුවන අතර ඉහත සිදුවීමේ සුළමුල හෙළිවීමට ගන්නේ මීට මාස දෙකකට පමණ එපිට සිදුවන එක්‌තරා සිදුවීමක්‌ හේතුවෙන්ය.

දිනක්‌ මාතර දුම්රිය ස්‌ථානයේ ආරක්‍ෂාව භාර නිලධාරියෙකුගේ දෑසට දුම්රිය මැදිරියක්‌ මතුපිට යමක්‌ සිතුවම් කරන පුද්ගලයෙකු හසුවන අතර ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වීමේදී ආරක්‍ෂක නිලධාරීන්ට සැකහැර දැනගන්නට ලැබෙන්නේ ඔහු විදේශීය ජාතිකයෙකු බවය. එවෙලෙහිම ක්‍රියාත්මක වන නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇතත් එම ප්‍රයත්නය ව්‍යර්ථ කරමින් විදේශීය ජාතිකයා මාතර දුම්රිය ස්‌ථානයෙන් පලාගොස්‌ ඇත්තේ කිසිවෙකුටත් කිසිවක්‌ සිතාගත නොහැකි අයුරින්ය.

ඒ වන විටත් " රුහුණු කුමාරි" සාගරිකා" සහ හික්‌කඩුව ශීඝ්‍රගාමී දුම්රිය මැදිරි තුළ අනවසරයෙන් චිත්‍ර ඇඳ තිබීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ පාඩුව පියවා ගැනීම පිණිස මාතර දුම්රිය ස්‌ථානයේ ආරක්‍ෂාව භාර නිලධාරීන් කීප දෙනෙකුගෙන් මාසිකව මුදලක්‌ අය කරගෙන ඇත්තේ ඔවුන් විසින් රාජකාරිය පැහැර හැර ඇතැයි යන චෝදනාව යටතේය.

එලෙස දිගින් දිගටම සිදු වී ඇති දුම්රිය මැදිරි තුළ චිත්‍ර ඇඳීමත් අවස්‌ථා දෙකකදී ඔවුන් ආරක්‍ෂක නිලධාරීන්ගෙන් මිදී පලාගිය සිදුවීම් පිළිබඳවත් මාතර දුම්රිය ස්‌ථානයේ ආරක්‍ෂාව භාර නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ පොලිසියේ සහය ඇතිව හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ අටියෙන්ය.

මේ අතර ඉකුත් 25 දා මාතර දුම්රිය ස්‌ථානයේ ආරක්‍ෂක නිලධාරියෙකුගේ ඇස දුම්රිය ස්‌ථානයේ නතර කර තිබූ දුම්රියක්‌ වෙත යොමුවන අතර එහිදී ඔහුට පැහැදිලිව දැක ගත හැකි වී ඇත්තේ විදේශීය ජාතිකයන් දෙදෙනෙකු මාතර සිට ගාල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියකට අයත් මැදිරියක්‌ තුළ යමක්‌ චිත්‍රයට නගමින් සිටින බවක්‌ය. ඒ පිළිබඳව අනෙකුත් නිලධාරින් හට දැනුම්දීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශයට හැකිවන අතර එහිදී ඔවුන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 සහ 32 හැවිරිදි වියේ පසුවන විදේශීය ජාතික තරුණයන් දෙදෙනෙකි. ඒ වන විටත් චිත්‍ර ඇඳීමට භාවිතා කරන ස්‌ප්‍රේ තීන්ත ටින් කීපයක්‌ ඔවුන් සන්තකයේ තිබී ඇති අතර මාතර දුම්රිය ස්‌ථානය වෙත සැකකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදි දෙකක ආධාරයෙන්ය.

අත්අඩංගුවට පත් විදේශීය ජාතිකයන් දෙදෙනා වැඩිදුර පරීක්‍ෂණ පිණිස මාතර පොලිස්‌ ස්‌ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් සැකකරුවන් පැමිණි යතුරු පැදි දෙකද පොලිස්‌ භාරයට පත් කර ඇත්තේ එතෙක්‌ දිනක්‌ පැවැති අභිරහසක සැබෑ තොරතුරු වැඩිදුරටත් හෙළි කර ගැනීමේ අරමුණෙනි.

එහිදී සිදු කළ පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ අත්අඩංගුවට පත් චෙක්‌ ජාතික තරුණයන් දෙදෙනා ලොව බොහෝ රටවල සංචාරය කරමින් දුම්රිය මැදිරි මතුපිට චිත්‍ර ඇඳීම වෘත්තියක්‌ වශයෙන් සිදුකර ඇති බවත් ඒවා ඡායාරූප සහ වීඩියෝ මගින් ලොව විවිධ රටවල පැවැත්වෙන ප්‍රදර්ශන සඳහා යොමු කොට මුදල් ඉපයීමේ කටයුත්තක නියෑළී ඇති බවත්ය.

අත්අඩංගුවට පත් විදේශ ජාතිකයන් දෙදෙනා මාතර මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

රුවන් ජයවර්ධන

No comments

Powered by Blogger.