Header Ads

එක්‌නැළිගොඩ මැරුවේ රාජපක්‍ෂවරු - ඇමැති පාඨලී චම්පික රණවක

* මහින්ද ඉන්නකම් රටේ නායකයා වෙන්න බෑ
* 2020 මහජන බලය තීරණය කරන්නේ අපි
* ඇයි මට මේ මිනිස්‌සු බය!

ඉදිරියේදී සිදුවීමට නියමිත යෑයි පැවසෙන කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය ඇතුළු කරුණුq කාරණා රැසක්‌ පිළිබඳව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් විමසුමක්‌ කළෙමු.

එහිදී සන්දීප තරුණයාගේ අනතුර, එක්‌නැළිගොඩ ඝාතන චෝදනාව, හෙළ උරුමයේ අර්බුදය පිළිබඳ විමසීමට අපි අමතක නොකළෙමු. පහතින් පෙළ ගැසෙනුයේ ඒ මහතා සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කළ සම්මුඛ සාකච්ඡාවයි.

ඇමැතිතුමා ආයුබෝවන්·

ආයුබෝවන්·

ප්‍රශ්නය - ඇමැතිතුමා කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ පිළිබඳව පසුගිය දිනවල සිට ලොකු කතාබහක්‌ රට තුළ නිර්මාණය වී තිබෙනවා.

පිළිතුර - දැනට සිටින ඇමැතිවරුන්ගේ විෂයපථ පිළිබඳ තීරණයක්‌ ගැනීමට ව්‍යවස්‌ථානුකූලව ජනාධිපතිවරයාට හැකියාවක්‌ තිබෙනවා. මේක සහජීවන රජයක්‌ නිසා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් එකතුවී අවශ්‍ය නම් එවැනි තීරණයක්‌ ගැනීමට පුළුවන්.

ප්‍රශ්නය - වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වී සිය ධුර කාලයෙන් හරි අඩක්‌ ගත වීමට ආසන්න කාලයක තමයි මේ පිළිබඳ කථාවෙන්නේ

පිළිතුර - ඔව්. මේ ජනාධිපතිතුමා බලයට පත්වී ලබන ජුනි මාසයට ධුර කාලයෙන් හරි අඩක්‌ වෙනවා. ඒ නිසා රජය කළේ මොනවද? නොකළේ මොනවද? රටේ මුහුණපා ඇති තත්ත්වය කුමක්‌ද යන්න අනුව ඔවුන් යම් යම් තීරණ ගන්නවා වෙන්න පුළුවන්.

ප්‍රශ්නය - ඇමැතිවරුන්ගේ සහ රජයේ වැඩ කටයුතු පිළිබඳ වාර්තා සහ සමීක්‍ෂණ ආණ්‌ඩුවේ ඉහළ බලධාරීන් ලබාගෙන ඇති බව පැවසෙනවා.

පිළිතුර - එවැනි සමීක්‍ෂණ කරලා තිබෙනවා. එහි ප්‍රතිඵල මොනවද කියලා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දන්නවා.

ප්‍රශ්නය - රජයේ අඩුපාඩුවක්‌ ඇත්නම් එය ඇමැති ධුර වෙනස්‌a කිරීමකින් නිවැරැදි කර ගත හැකි යෑයි ඇමැතිතුමා හිතනවාද?

පිළිතුර - ඒක ඇමැතිධුර වෙනස්‌ කිරීමකින්ද? ප්‍රතිපත්ති වෙනස්‌ කිරීමකින්ද? උපාය මාර්ග වෙනස්‌ කිරීමකින්ද කියලා තීරණයක්‌ ගත යුත්තේ ජනපති, අගමැති දෙපළයි.

ප්‍රශ්නය - මෙම හවුල් ආණ්‌ඩුවේ පසුගිය පාලන සමය දෙස හැරී බැලුවහොත් යම් යම් ඇමැති ධුර වෙනස්‌ විය යුතු යෑයි ඔබ පෞද්ගලිකව සිතනවාද?

පිළිතුර - මේවා ඇමැතිධුරවල ඉන්න පුද්ගලයන්ගේ ප්‍රශ්න නොවෙයි. මෙතන හුඟාක්‌ දුරට මතුව තියෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලු සහ එම ගැටලුවලට පොදු එකඟතාවකින් තොරව ගමන් කිරීමේදී මතුවූ ප්‍රශ්නයි.

ප්‍රශ්නය ( ඔබතුමාට මුදල් අමාත්‍යාංශයේ ඇමැති ධුරය හිමිවීමට නියමිත බව සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කර තිබුණා. ඒ ඇත්තක්‌ද?

පිළිතුර - මුදල් ඇමැතිතුමා මාරු කරනවා යෑයි අපිට නම් කිසිම දැනුම්දීමක්‌ කර නැහැ.

ප්‍රශ්නය - හදිස්‌සියේවත් එම ඇමැති ධුරය හිමිවුවහොත් එය භාර ගන්නවාද?

පිළිතුර - සම්මුතියකින් සාකච්ඡාවකින් ඇමැති ධුර වෙනස්‌කම් කරනවා මිසක්‌ මට මේක දෙනවාද වෙනත් එකක්‌ දෙනවාද කියලා දෙයක්‌ නැහැ. මට යම් වගකීමක්‌ පවරලා තියෙනවා. ඒක මම වසර දෙදහස්‌ විස්‌ස වෙනකම් කරනවා.

ප්‍රශ්නය - මුදල් ඇමැතිකම ලබාදී ඒ හරහා ඔබගේ ප්‍රතිරූපය නංවමින් ඉදිරි ඉලක්‌කයකට ඔබතුමාව සූදානම් කරන බවක්‌ තමයි කියෑවෙන්නේ.

පිළිතුර - අපි පාරවල් කපලා මඟහසර පෙන්වන අය මිසක්‌ අපි ඩ්‍රයිවර්කම් කරන්න යන්නේ නෑ.

ප්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ යුගයේ ඇති කළැයි කියන ආර්ථික බුබුල පිපිරී යන්න ආසන්න යෑයි ඔබතුමා පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී නිරන්තරයෙන් ප්‍රකාශ කළ කරුණක්‌. ආර්ථිකය ගැන වැඩිපුරම කතා කළේ මගේ අදහස අනුව නම් ඔබතුමයි. මේ දේවල් දිහා හැරී බලන විට මුදල් ඇමැතිකමට සුදුසු ඔබ යෑයි ජනතාව හිතන්න පුළුවන්.

පිළිතුර- මෙහෙමයි... මම සෑම විෂයක්‌ ගැනම හොඳින් හොයල බලන මෙන්ම ඉගෙන ගන්න කෙනෙක්‌. ආර්ථිකය ගැන කතා කළා කියලා එහි ඇමැතිකම මට ලැබෙන්න ඕනැ යෑයි එයින් අදහස්‌ වෙන්නේ නැහැ.

ප්‍රශ්නය - මුදල් ඇමැතිකම අවශ්‍ය නැහැ වගේ තමයි ඔබගේ කතාවෙන් පෙනෙන්නට තියෙන්නේ?

පිළිතුර - ජනාධිපතිතුමාගේ අනුමැතිය අනුව ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිපත්තිමය කාරණා අගමැතිතුමා ප්‍රමුඛ ආර්ථික කමිටුව තුළින් ගන්නවා. එයට එතුමට ජනවරමක්‌ තියෙනවා. ඕකට තව අය ඇඟිලි ගහන්න අත ගහන්න ඕන වෙයි කියලා මම හිතන්නේ නැහැ.

ප්‍රශ්නය - හොඳයි ඇමැතිතුමා.. මුදල් ඇමැතිකමින් ඔබ්බට ගිහින් අනාගත සැලසුම් පිළිබඳ විමසීමක්‌ කරන්න අවශ්‍යයි. ඔබට රටේ ජනාධිපතිවීමේ සිහිනයක්‌ තිබෙනවාද?

පිළිතුර - මම කියන්න ඕන එක දෙයක්‌. අපිට භය මිනිස්‌සු ටිකක්‌ ඉන්නවා. මම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්‌. ඒ මන්ත්‍රිට ඇයි ඔච්චර භය . ලක්‍ෂ ගණන් ඡන්ද ගත්ත අය මට භය වෙලා.

ප්‍රශ්නය - හේතුවක්‌ නැතුව නිකම්ම භය වෙන්න විදිහක්‌ නැහැ නේද ඇමැතිතුමා?

පිළිතුර - අපේ හැකියාව කුමක්‌ද කියලා ඒ අය දන්න නිසයි ඔහොම භයවෙලා තියෙන්නේ. ඕක තමයි හේතුව. වෙන මුකුත් ඔතන නැහැ.

ප්‍රශ්නය - දෙදහස්‌ විස්‌සේ ජනාධිපතිවරණය කුමක්‌ වේද?

පිළිතුර - දෙදහස්‌ විස්‌සේ ජනාධිපතිවරණයක්‌ තිබ්බොත් දිනන්නේ කවුද? එයාගේ ප්‍රතිපත්ති මොනවාද කියලා ඒ අවස්‌ථාවේදී මහජන බලවේගය කුමක්‌ද කියලා තීරණය කරන්නේ අපි. මම කලින් කිව්වා වගේ අපි පාරවල් හදනවා මිසක්‌ ඩ්‍රයිවර්කම් කරන්න යන්නෙ නැහැ.

ප්‍රශ්නය - මීළඟ ජනාධිපතිවණයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හොඳම ප්‍රතිවාදියා වෙන්න ඉන්නේ ඔබ යෑයි සමාජය තුළ කථා බහ වෙනවා.

පිළිතුර - හොඳම ප්‍රතිවාදියාද? ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද? කියන දේවල් පැත්තට තියලා මම වෙන එක දෙයක්‌ කියන්නම්. මහින්ද රාජපක්‍ෂ මහතා ජීවතුන් අතර සිටිනකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට රටේ නායකයා වෙන්න ඔහු ඉඩ තියෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත.

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය ආරම්භයේ සිට මේ දක්‌වා වූ කාලය තෙක්‌ ආපසු හැරී බලන විට තීරණාත්මක අවස්‌ථාවන්හිදී පක්‍ෂයේ විවිධ ගැටුම්, බෙදීම් ප්‍රබලයින් පක්‍ෂය හැරදායාම් ඇතිව තිබෙන බව පැහැදිලියි. මෙහෙම වෙන්නේ ඇයි?

පිළිතුර - ජාතික හෙළ උරුමය තුළ මම..... මම...... මම කියලා මමත්වයට ඉඩක්‌ නැහැ. අපි අපේ නායකයෝ පවා ඉවත් කරන්න එඩිතර වූ පක්‍ෂයක්‌. අපේ පක්‍ෂය දිනෙන් දින වෙනස්‌ වෙනවා. පක්‍ෂයෙන් ගිය අය ගැන කථා කරන්aනේ, පක්‍ෂයට ආපු අය ගැන කථා කරන්නකෝ. අපේ පක්‍ෂය අලුත් වෙලා තියෙනවා.

ප්‍රශ්නය - කොහොමද අලුත් වෙලා තියෙන්නේ.

පිළිතුර - අපේ පක්‍ෂය, ඉස්‌සර පක්‍ෂයේ ලොකුම සමුළු පැවැත්වුවේ මහරගම තරුණ සේවා එකේ. දැන් සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේ පවත්වන්නේ. අපේ කාන්තා සමුළුවට සමාන කාන්තා සමුළුවක්‌ මේ වනතෙක්‌ කිසිම පක්‍ෂයක්‌ කර නැහැ. අපි මීළගට කාටවත් නොදෙවැනි තරුණ සමුළුවක්‌ පවත්වනවා. කම්කරුවන් ගැන කථා කරන අයට මරඋණ ගැන්වෙන මැයි දිනයක්‌ ඊළගට අපි පවත්වනවා. අපි සමාජ වටපිටාවට අනුගත වෙමින් සැමදා සෑම මොහොතකම අලුත් වෙනවා.

ප්‍රශ්නය - අතුරලියේ රතන හිමියන් මේ වන විට ජාතික හෙළ උරුමය සමඟ කටයුතු කරන්නේ නැතිද?

පිළිතුර - ඒක උන්වහන්සේගෙන් තමයි විමසන්න ඕන.

ප්‍රශ්නය - උන්වහන්සේ සම්බන්ධයෙන් පක්‍ෂය මොනවගේ ක්‍රියාමාර්ගයක්‌ද ගෙන තිබෙන්නේ

පිළිතුර - පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී යම් යම් තීන්දු තීරණ ගත්තා. ඒ අනුව ඉදිරි කටයුතු සිදු වේවි.

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය සතු ප්‍රබල චරිත පක්‍ෂයෙන් ඉවත්වීම පක්‍ෂයට අවාසියක්‌ සහ පාඩුවක්‌ නෙමෙයිද?

පිළිතුර - අපේ සිහළ උරුමය පිහිටුවන වෙලාවේ ඉතාම ගුණගරුක මහත්තයෙක්‌ වන එස්‌. එල්. ගුණසේකර මහත්තයා ඉවත් වූ පසු පක්‍ෂය ඉවරයි කියලා කිව්වා. තිලක්‌ කරුණාරත්න මහත්තයා ගියායින් පසු පක්‍ෂය ඉවරයි කියලා කිව්වා. පක්‍ෂය හාමුදුරුවන්ට දුන්පසු පක්‍ෂය ඉවරයි කිව්වා. ජනප්‍රිය හිමිනමක්‌ වන උඩුවේ ධම්මාලෝක හිමි ඉවත් වූ පසුත් ඔහොමම කිව්වා. ඔහෝම හිතුවේ නැද්ද? පුද්ගලයෝ මත නෙමෙයි මෙය තීරණය වන්නේ. මෙයින් චම්පික රණවක ගියත් මේ ව්‍යාපාරය ඉදිරියට යනවා.

ප්‍රශ්නය - ඔබ කියන්නේ ජාතික හෙළ උරුමය කවදාවත් වැටෙන්නේ නෑ කියලද?

පිළිතුර - වැටෙනවානම් එහෙම වැටිල්ලක්‌ ඉතිහාසයේ පෙන්වන්න එපැයි. හෙළ උරුමයට මොකක්‌ද කරන්න පුළුවන් කියලා 2015 දී සමහරු ඇහුවනේ. දැන් ඒ අයට පෙනෙනවා ඇතිනේ මොනවද කරන්න පුළුවන් කියලා.

ප්‍රශ්නය - කවුද එහෙම ඇහුවේ?

පිළිතුර - රාජපක්‍ෂලාගේ මතය තිබුණේ මේකේ හිටිය සල්ලිවලට යෑපෙන ඔත්තුකාරයෝ කිහිපදෙනෙක්‌ ගත්තම ජාතික හෙළ උරුමයේ ජාතික බලවේගය ගන්න පුළුවන් වෙයි කියලයි. එහෙම ගන්න බැරි බව පසුගිය ඡන්ද ප්‍රතිඵලවලින් පෙනුනානෙද?

ඔයවගේ අභියෝග මැදින් අපි ආවේ. අපි අභියෝග ජයගන්න බව මේ අය දන්නවා. මඩ අවලාදවලට පිළිතුරු දෙන්න වෙලාවකුත් අපිට නැහැ. එහෙම කිරීමේ අවශ්‍යතාවයකුත් අපිට නැහැ. අපට එරෙහි මඩ, අවලාද ඉතිහාසය විසින් බොරු බලු අවලාද කියලා ඔප්පු කර තිබෙනවා.

ප්‍රශ්නය - පවතින නියං තත්ත්වය හේතුවෙන් විදුලි අර්බුදයක්‌ රට තුළ පැන නැගෙමින් තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය විදුලිය ඉතිරි කරන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව විදුලිය ඉතිරි කර ඇත්තේ පවුල් තුන්සිය ගණනක්‌ පමණක්‌ යෑයි මාධ්‍ය වාර්තා පළ වුණා. මෙහෙම තත්ත්වයක්‌ ඇතිවීමට හේතුව කුමක්‌ද?

පිළිතුර - මහජනතාවට මෙම ප්‍රශ්නය හරියට සංනිවේදනය කරන්න අදාළ අංශ කටයුතු කර නැති බව පැහැදිලියි. මගේ කාලේ 2012 දී මහානියඟයක්‌ තිබුණා. ඒ නියඟය වගේ එකක්‌ ඉතිහාසයේ තිබුණේ නැහැ. අපිටත් තිබුණා පුද්ගලික අංශයෙන් විදුලිය ලබා ගන්න. නමුත් අපි ජනතාවට කිව්වේ විදුලිය ඉතිරිකරණ ලෙසයි. මාව විශ්වාස කරලා පවුල් විසිහතර ලක්‍ෂයක්‌ විදුලිය ඉතිරි කළා. මණ්‌ඩලයේ ඉහළ නිලධාරීන් පවා මෙය විශ්වාස කළේ නැහැ.

ප්‍රශ්නය - ඒ දවස්‌වල ලොකු වැඩ වර්ජනයකුත් මණ්‌ඩලය තුළ සිදු වුණා නේද?

පිළිතුර - මට විරුද්ධව දවස්‌ හයක්‌ වැඩ වර්ජනයක්‌ සිදු වුණා. නමුත් පැයක්‌ විදුලිය කැපුවේ නැහැ.

ප්‍රශ්නය - මෙම විදුලිය ඉතිරි කිරීමෙන් විදුලි බල මණ්‌ඩලයට කොපමණ මුදලක්‌ ඉතිරි වුණාද?

පිළිතුර - මණ්‌ඩලයට රුපියල් මිලියන දාහත්දහසක්‌ ඉතුරු වුණා. එහෙම නොවුනානම් එම මුදල් විදුලිය මිලට ගන්න පුද්ගලික අංශයට යනවා. අපි 2015 දී විදුලිබල මණ්‌ඩලය දෙනකොට බිලියන 35 ක මූල්‍ය ශක්‌තියක්‌ සමගිනුයි එය නැවත භාර දුන්නේ.

ප්‍රශ්නය - ඇමැතිතුමා කියන විදියට දැනෙන්නේ ඔබ කළ සියලු ඇමැතිකම් සාර්ථක වුණා වගෙයිනේ.

පිළිතුර - මම කළ කුමන ඇමැතිකමද අසාර්ථක වුණේ. අපි අමාත්‍යාංශ කරලා වැඩ කරන්න පුළුවන් බව පෙන්නලා දීලා තියෙනවා. ඕකට තමයි හුඟ දෙනෙක්‌ භය. දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය සේවයක්‌ කරන්නේ කොහොමද කියලා අපි කියාදුන්නා. අපි දැව සංස්‌ථාවේ සිට මේ වනතෙක්‌ කිසිවිට අසමත් නැහැ. විදුලිබල මණ්‌ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාව, නාගරික සංවර්ධන අධිකාරිය වගේ යෝධ රාජ්‍ය ආයතන අපි කරලා තියෙනවා. කොටින්ම කියනවා නම් මම කරපු එක අමාත්‍යාංශයක්‌වත් රාජ්‍ය ආයතනයක්‌වත් මම ගොඩනැඟුවා මිසක්‌ වට්‌ටලා නැහැ. මේකට කට්‌ටිය බයයි. මගේ ඉල්ලීමට මහජනයා කන්දෙන බව කවුරුත් දන්නවා.

ප්‍රශ්නය - නමුත් ගල් අඟුරු ගණුදෙනු සම්බන්ධයෙන් ඔබට ඇතැමුන් චෝදනා කරනවා.

පිළිතුර - ගල් අඟුරු මාµsයාව ගෙන ගියේ කව්ද? ඒක කළේ රාජපක්‍ෂලායි. ඒ ගල් අඟුරු මාµsයාව කඩලයි අපි ගියේ. ඩීසල් මාµsයාවත් ඒ වගේම අපියි කඩා බිඳ දැම්මේ. අපිට චෝදනා කරන්නේ වැරදි කළ අයයි. අපි වැරදි කරල තියෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්න ඕනෑනේ.

ප්‍රශ්නය - ඇමැතිතුමා සයිටම් අර්බුදය දෙසට අපගේ සාකච්ඡාව ගෙන යමු. ඔබ පක්‍ෂය සයිටම්වලට විරුද්ධ බව ප්‍රකාශ කළා. එය අහෝසි කිරීම සඳහා යෝජනා තුනක්‌ ඉදිරිපත් කළා.

පිළිතුර - ඔව් අපගේ යෝජනා අපි රජයට ඉදිරිපත් කළා. අධ්‍යාපනය හෝ උසස්‌ අධ්‍යාපනය ලාභ උපයන ව්‍යාපාරයක්‌ කළ යුතු නැහැ. මුදල් අයකළ හැකියි. නමුත් එමගින් ලාභ ඉපැයිය යුතු නැහැ.

ප්‍රශ්නය - ඔබ පක්‍ෂයේ මතයට රජය තවමත් කන්දී නැහැ.

පිළිතුර - අවශ්‍ය වෙලාවට ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු මුදල සියයට හයයි දශම පහක්‌ කළ යුතු බව කියමින් රාජපක්‍ෂ සමයේදී "µQටා" ඒක ලෝක අරගලයක්‌ කළා. මේ ආණ්‌ඩුව බලයට එන විටත් එම ඉල්ලීම් දෙන බව කිව්වා. නමුත් දැන් වත්මන් රජය අධ්‍යාපනය සඳහා වෙන්කර ඇත්තේ සියයට දෙකකට වඩා අඩු මුදලක්‌. මේ තත්ත්වය තුළ රටේ නිදහස්‌ අධ්‍යාපනය නැංවිය

හැකිද?

පිළිතුර - අපි පළමුවෙන්ම කියන්න ඕන ලංකාවේ අධ්‍යාපනය, අධ්‍යාපන දර්ශක වෙන රටවලට සාපේක්‍ෂව ඉතා හොඳයි. අධ්‍යාපනයට මුදල් පමණක්‌ වැය කර වැඩක්‌ නැහැ. ඒක කරන්න ඕන ආර්ථික උපායමාර්ගයකට ගැලපෙන ලෙසයි. නිකම්ම නිකන් දළ දේශීය නිෂ්පාදනයන් සියයට හයක්‌ අධ්‍යාපනයට දැම්මයි කියන එක තේරුමක්‌ ඇති තර්කයක්‌ නෙමෙයි. එම ප්‍රමාණය නවෝත්පාදනය සඳහා වෙන් වනවා නම් රටක්‌ මහා ආර්ථික ඉදිරි පිම්මක්‌ පනින එක ස්‌ථීරයි.

ප්‍රශ්නය - ඒ කියන්නේ මේ රජය වෙන්කළ සියයට එකයි දශම පහ ඇති වේවි කියලද?

පිළිතුර - නෑ මම කියන්නේ ඒක කරන්න ඕනෑ. හැබැයි ඒක කරන්න ඕන නවෝත්පාදනය පදනම් කරගත් අධ්‍යාපන විෂයධාරාවන්ට අවශ්‍ය ලෙසයි. මෙන්න මේ තැනට සියයට හයක්‌ වෙන් කළොත් ආර්ථික වර්ධනවේගය සියයට දහය පනින බව මම වගකීමෙන් කියනවා.

ප්‍රශ්නය- ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ යෑයි කියමින් බලයට පැමිණි මේ ආණ්‌ඩුව පසුගියදා සිසු උද්ඝෝෂණයකට පොලිසිය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යොදා බරපතළ ලෙස පහර දුන්නා. සිසුන්ට දැන් උද්ඝෝෂණයක්‌වත් කරන්න බැරිද?

පිළිතුර- මෙහෙමයි. මේ විරෝධතාවල සීමාවක්‌ තියෙන්න ඕනෑ. සයිටම් ප්‍රශ්නයට විරෝධය දැක්‌වීම එකක්‌. නමුත් මහා මාර්ගය සවස හතරට අවහිර කර රටේ ආර්ථිකය කඩා දැමීම තවත් එකක්‌. එය වෙනත් දේශපාලන අරමුණකින් වන දෙයක්‌. සයිටම් එකට විරුද්ධව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ එක පෙළපාලියක්‌වත් අපි දැක්‌කේ නැහැ.

ප්‍රශ්නය- සරසවි සිසුන් සයිටම් එකට එරෙහි කරන උද්ඝෝෂණ එතකොට බොරුවක්‌ද?

පිළිතුර(- මෙතන තියෙන්නේ වෙන දේශපාලන ගේමක්‌. ඒක මේ රජයත් තේරුම් ගන්න ඕන. බෝල්ෂෙවික්‌ විප්ලවය කරන්න පුළුවන් කියලා හීන මාලිගා මවාගෙන ඉන්න අයට සිසු ජීවිත ආපසු බිළිගන්න දෙන්න බැහැ.

ප්‍රශ්නය- ඇමැතිතුමාගේ ඔය පිළිතුර තුළින් හැඟෙන්නේ එම පහරදීම සාධාරණීකරණය කරන බවයි.

පිළිතුර(- මෙහෙමයි. බහුතර ජනතාවගේ පැත්තෙන් බලන්න ඕන. ලක්‍ෂ ගණනක්‌ ජනතාව හැමදාම මහ පාරේ විඳින දුක ගැන කවුද කතා කරන්නේ. කවුරු කවුරුත් වගකීම් සහගත විය යුතුයි.

ප්‍රශ්නය(- බලනකොට රටේ වෙනසක්‌ වෙලා නෑ වගේනේ.

පිළිතුර(- වෙනස නිසා තමයි මාසයකට දවස්‌ දහයක්‌ පාරවල් බ්ලොක්‌ කරන්න දීලා තියෙන්නේ.

ප්‍රශ්නය(- පාරවල් ගැන සඳහන් කළ නිසා මතක්‌ වුණේ. ප්‍රමුඛතා මංතීරු නියමු ව්‍යාපෘතියේ තත්ත්වය කෙසේද?

පිළිතුර(- එය හොඳින් කෙරීගෙන යනවා. පසුගිය දස වසරක කාලය තුළ රජය සෞඛ්‍යයට වියදම් කර තිබෙන්නේ ප්‍රාග්ධන වියදම්වලින් සියයට හතරය.s අධ්‍යාපනයට සියයට හයයි. හැබැයි පාරවල්වලට සියයට හතළිස්‌ පහයි. පාරවල්වලට මෙච්චර වැය කළත් තවමත් මාර්ග තදබදය විසඳලා තියෙනවාද? නැහැනේ. අපි දැන්වත් අධිවේගී මාර්ග හදන පිස්‌සුවෙන් ගැලවෙන්න අවශ්‍යයි. අපි වහා පොදු ප්‍රවාහනය ශක්‌තිමත් කළ යුතුයි. බස්‌ ධාවනය විධිමත් කිරීම එහි එක්‌ පියවරක්‌.

ප්‍රශ්නය- අධිවේගී මාර්ග තුනක්‌ හැදීම නතර කළාද?

පිළිතුර(- නැහැ. අනෙක්‌ වැඩසටහන්වලට සාපේක්‍ෂව ඒවා ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය(- ඔබතුමාගේ රථයක තරුණයකු ගැටීමේ සිද්ධිය මහත් ආන්දොaලනයක්‌ ඇති කළ සිදුවීමක්‌. මෙහි අලුත් තත්ත්වය කොහොමද?

පිළිතුර(- මොකක්‌වත් අලුත් තත්ත්වයක්‌ නැහැ. ඒ පිළිබඳ අධිකරණයේ විභාගයක්‌ කළා. එම විභාගයේදී කුමක්‌ද සිදුවී ඇත්ද යන්න හෙළි වුණා.

ප්‍රශ්නය(- නමුත් ඇමැතිතුමා ඒ පිටුපස නොකියන කතාවක්‌ තිබෙන බවයි ඇතැමුන් චෝදනා කරන්නේ.

ප්‍රශ්නය(- ඇත්ත තමයි ඔය හෙළිවී තිබෙන්නේ. පිටුපස කතාව තමයි ත්‍රස්‌තවාදීන්ට මුදල් සම්පාදනය කළ පුද්ගලයකුයි, ඔහුගේ සගයෙක්‌ වන අපේ පක්‍ෂයේ සිටි කෙනෙකුයි තමයි, බොරු බේගල් නිර්මාණය කළේ.

ප්‍රශ්නය(- නමුත් තරුණයන් දෙදෙනෙක්‌ ඔබතුමාගේ නම සඳහන් කරමින් පොලිසියට සාක්‍ෂි දී තිබුණා නේද?

පිළිතුර(- ඒ තරුණයන් මුලින්ම පොලිසියට දුන් සාක්‍ෂියේ මගේ නමවත් මුකුත් සඳහනක්‌ තිබුණේ නැහැ. දවස්‌ තුනකට පසු ඔවුන්ගේ දුරකථනයට අපේ පක්‍ෂයේ සිට ඉවත්වූ පුද්ගලයකුගෙන් දුරකථන ඇමතුමක්‌ එනවා. පසුව ඔවුන් මුණගැහෙනවා. ඉන්පසු ඔවුන්ට කොටින්ට මුදල් දුන් කෙනාගෙන් දුරකථන ඇමතුම් 117 ක්‌ එනවා. ඒ අය තමයි, මේ නාඩගමම නැටුවේ. අන්තිමට ඔය තරුණයා වෙනුවෙන් පෙනීසිටි කිසිවකු උසාවියටවත් ආවේ නැහැ. ඒකට දිවුරුම් ප්‍රකාශ දුන් අය අද ජීවත් වන්නේ යුරෝපයේ. ඕවට මම සැලෙන්නේ නැහැ.

ප්‍රශ්නය(- යතුරුපැදි අනතුරේ රස පරීක්‍ෂක වාර්තාව අනුව ඔබගේ වාහනයේ යතුරුපැදිය ගැටී ඇති බව සඳහන් වුණා.

පිළිතුර(- මොකක්‌ද ඔය රස පරීක්‍ෂක වාර්තාවෙන් කිව්වේ. පැයට කිලෝ මීටර් හැත්තෑවකට අධික වේගයකින් පැමිණි සී.සී. දහස කාණ්‌ඩයේ යතුරුපැදියක්‌ පැයට කිලෝ මීටර දාහතක වේගයකින් යන අපේ වාහනයේ පිටුපසින් පැමිණ ගැටී ඇති බවයි. ඕකද ඔය තරුණයෙක්‌ යටකර යැම. ඒ කණ්‌ඩායමේ හිටියා දරුවෙක්‌ මේ ළඟදී ඔය වර්ගයේ යතුරුපැදියක්‌ ධාවනය කරන විට අනතුරක්‌ වී කතරගමදී මිය ගියා. ඒ ගැන මාධ්‍ය කතා කළාද? අපි නඩු යට ගැහුවේ නැහැනේ. මේවා කොටියගේ සල්ලිවලින් දුවන පත්තරයකින් හැදූ කතායි. ඒ දරුවගෙ ඉරණම විකුණන් කෑ අයට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය යථා කාලයේදී පළ දේවි.

ප්‍රශ්නය(- ඇමැතිතුමා, එක්‌නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් ඔබට බරපතළ චෝදනාවක්‌ එල්ලවුණා. ඔබත් දාගන්නේ ලොකු ලොකු කේස්‌ තමයි නේද?

පිළිතුර(- ලොකු ලොකු කේස්‌ දා ගන්නවා නෙමෙයි. ලොකු ලොකු කේස්‌ අපිට දාන්න හදනවා. එක්‌නැළිගොඩ ඝාතකයා කවුද කියලා දැන් රට දන්නවා. ඔහු ඝාතනය කළේ රාජපක්‍ෂවරුන්. එය දැන් ඔප්පු වී හමාරයි.

ප්‍රශ්නය(- යුද ජයග්‍රහණය ලබා වසර ගණනාවක්‌ ගතව ඇතත් එහි අයිතිය තමන් සතු කරගන්න බොහෝ අය තවමත් කටයුතු කරමින් සිටිනවා. ජාතික හෙළ උරුමයන් එවැනි කොටසක්‌.

පිළිතුර(- ඔය එක වීරයෙක්‌ නිසාවත් නෙවෙයි යුද්ධය දිනුවේ. මහින්ද මහත්තයා 2005 දී ඡන්දෙට ආවේ ප්‍රභාකරන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කරන්නයි. මහින්ද මහත්තයා බැසිලුයි, ටිරානුයි හරහා කොටින්ට කප්පම් ගෙව ගෙවා හිටියේ ජීවිතය බේරා ගන්න. මහින්ද මහත්තයා එල්ටීටීඊ එකත් සමඟ සටනට ආවේ අපි මාවිල්ආරුවට ගියායින් පසු සහ ගෝඨාභයට බෝම්බ ගැහුවයින් පස්‌සෙයි. ඔහු ජීවිතය බේර ගන්න එක්‌ පුද්ගලයකු අත යෑවු මුදල් ඔහු "මාටියා" ගැහුවයි කියලා මහින්ද මහත්තයා දැන ගත්තේ පසුවයි. මේ අය කැමැත්තෙන් ජාතිය වෙනුවෙන් පතාගෙන ආපු අය නෙමෙයි. මහින්ද කියන්නේ පෙඩරල්වාදියෙක්‌. ගෝඨාභය හිටියේ ඇමරිකාවේ. වීරවංශ මාක්‌ස්‌වාදියෙක්‌. අපි තමයි, මේ රට යහමඟට ගෙනාවේ. බොරු වීරයෝ තමයි අද කෑ ගහන්නේ.

ප්‍රශ්නය(- ලෝක දේශපාලනය නව දිශාවකට ගමන් කරමින් ඇති බවක්‌ දක්‌නට ලැබෙනවා.

පිළිතුර(- යුරෝපය ඇතුළු රටවල් රැසක නව ජාතිකවාදයක්‌ ඇවිත් තිබෙනවා. අද ලෝකය තීරණය වන්නේ වාමාංශික, දක්‍ෂිණාංශික, සමාජවාදී සහ ධනවාදී විදිහට නෙමෙයි. අද එය තීරණය වන්නේ ආර්ථිකය සංවෘතද, විවෘතද, සමාජයේ සංස්‌කෘතික පද්ධති පිළිගන්නවද? නැද්ද? යන කාරණා මතයි. අපෙත් නව ජාතික වාදයට උචිත රටක්‌ හදන්න දෙදහස්‌ විස්‌සේදී අලුත් වැඩපිළිවෙළක්‌ තිබෙනවා.

ප්‍රශ්නය(- ආණ්‌ඩුවේ ගමන් මඟ පිළිබඳ ඔබ කෙසේද හිතන්නේ?

පිළිතුර(- මෙය අලුත් ආණ්‌ඩුවක්‌. ආර්ථිකමය වශයෙන් අභියෝග ජයගත යුතුව තිබෙනවා. ඒවා ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කරමින් සිටිනවා. මේ රට ආපසු මහින්ද මහත්තයට යන්නේ නැහැ. රට යන්නේ ඉදිරියටයි.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර

No comments

Powered by Blogger.