Header Ads

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී ශාස්ත්‍ර ‍පොළවල් සිය ගණනක් විමසුමට ලක්කොට ඇත්තෙමි. ඒ අනුව එම ශාස්ත්‍රකරුවන් තම ශාස්ත්‍ර මගින් එලෙස සත්‍ය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මනා වැටහීමක් ලබාගැනීමට මට හැකිව තිබේ. මෙම ලිපිය මගින් මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ ම’විසින් එසේ උකහාගන්නා ලද කරුණුවලින් සුළු ප්‍රමාණයකි.
මෙම ශාස්ත්‍රවලට අමතරව නිමිති, පේන සහ අංජනම් ආදිය මගින් ද අප සිත් තුළ ඇති කරුණු සහ අපගේ අතීත, වර්තමාන සහ අනාගත තත්ත්වයන් සේම අප මුහුණ පා හිඳින යම් යම් ප්‍රශ්න, ගැටලු, අර්බුද සඳහා බලපාන ගුප්ත හේතූන්ද අනාවරණය කරගත හැකියැයි බොහෝ දෙනෙක් සිතති. නමුත් මෙම අනාවරණය හැකිතාක් කෙටි හා සරල කිරීම පිණිස මා දෙවනුව කී නිමිති, පේන සහ අංජනම් පසෙක තබා ශාස්ත්‍ර කීම් පමණක් මෙම ලිපියට ආදේශ කරගතිමි.
අප ජන සංස්කෘතියට අනුව සැමවිටම මෙවැනි ශාස්ත්‍ර කියැවෙනුයේ මෙම විශ්වයේ ඇතැයි සිතන මිනිස් බුද්ධියට වඩා අතිශයින් ප්‍රබල බුද්ධි ප්‍රභාවක ආලෝකයෙනි. දේව වරමින් සහ දේවාරූඪයෙන් වංශයෙන් දෙයාකාරයකින් හඳුන්වනු ලබනුයේ ද එම විශ්වීය බුද්ධියයි. මේ අතර දේවවරම, දේවාරූඪය යන පැරණි හැඳින්වීම් වෙනුවට මෙම බලය ‘විශ්ව ශක්තිය’ ලෙසම හඳුන්වමින් මෙලෙස ශාස්ත්‍ර කියන්නෝ දැන් අප සමාජයේ සිටිති.
කෙසේ හෝ මෙම ශාස්ත්‍ර කීම ක්‍රම දෙකකින් සිදුවේ. ඒ ප්‍රකෘති මනැසින් හා මවා ගන්නා ආරූඪයකිනි. මෙහිදී සැබැවින්ම සිදුවනුයේ ස්වාභාවික ආරූඪයකට (Possession) වඩා තමන් විසින් මවාගන්නා ලද සමාරෝපණ තත්ත්වයක් (Impersonation) බව   පසුගිය කාලය තුළ මට නොයෙක් වර නිරීක්ෂණය වී තිබේ.
අප කවුරුත් දන්නා පරිදි මෙම ශාස්ත්‍ර කීම සම්බන්ධ පාර්ශ්වයන් දෙකකි. එනම් ශාස්ත්‍රය කියන්නා සහ අසන්නා වශයෙනි. යම් ශාස්ත්‍රයක් මගින් සත්‍ය හා නිවැරදි කරුණු පැවැසීමට නම් මෙම දෙපාර්ශ්වයේ සමවායක් ඒකාබද්ධතාවක් තිබිය යුතුමය. එසේ නොමැති වුවහොත් ‘වැඩේ හබක්’ වෙයි.
‍පොදු පිළිගැනීම අනුව මෙලෙස ගුප්ත බලයෙන් ශාස්ත්‍ර කීම ප්‍රකෘතිය ඉක්මවන කටයුත්තකි. එනිසා ඒ සඳහා සතියේ දිනවල වැඩකරන වේලාවන් තුළ වැනි සම්මතයක් භාවිතා නොකිරීම මෙම ශාස්ත්‍රකරුවන් අනුගමනය කරන ‍පොදු පිළිවෙතකි. එහිදී ඇතැම් ශාස්ත්‍රකරුවන් ඒ සඳහා බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයන් යොදාගන්නා අතර තවත් පිරිසක් සතියට දින දෙකක් පමණක් තම ජීවිකාව සඳහා යොදාගැනීමෙන් ලැබෙන ආදායම මඳවීම නිසා දෝ සතියේ තවත් දිනයක් හෝ දෙකක් ඊට ඈඳා ගනිති. නමුදු මෙම ශාස්ත්‍ර කීමේ සංස්කෘතිය මගින් ඉන් සාමාන්‍ය ජනතාවට සියුම් ලෙස ඒත්තු ගන්වන කරුණක් තිබේ. එනම් එම විශ්වීය ශක්තිය ස්වාභාවික ලෙස ජනනය වන අවස්ථාවලදී හැර හිතු හිතූ වේලාවන්හිදී අපට මෙම ශාස්ත්‍ර ඇසීම කළ නොහැකිය යන්නය. එමෙන්ම මෙම ශාස්ත්‍ර ඇසීම් සඳහා වැය කළ යුතු ගාස්තුවේ ද කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව ද දනියි. ශාස්ත්‍රයක් ඇසීමට රුපියල් දෙසීයක් වැයකළ යුතු බව නොදන්වා ඒ සඳහා රුපියල් දෙසීය දොළහක් වැය වන බව ඇඟවීම සාමාන්‍ය තත්ත්වයකි. එමගින් එහි ද කිසියම් අසාමාන්‍යතාවක් ඇති බවට ශාස්ත්‍ර අසන්නවුන් තුළ සියුම් මානසික ඇනවුමක් ඇතිකෙරේ. මෙයද එම ශාස්ත්‍රකරුවන්ගේ සාමූහික උපාය ඥානය මනාව පිළිබිඹු කරන්නකි.
එමෙන්ම මෙම ශාස්ත්‍ර කියන ස්ථාන සම්බන්ධ පරිසරයන්හිදී තද රතු, තද නිල්, තද කහ වැනි තද පැහැති තිරපට විවිධ පැහැයන් ගෙන් යුතු මල් ආදී වර්ණ විෂමතා තුළින් ද ශාස්ත්‍ර අසන්නවුන්ගේ මනැස් තුළ තීව්‍ර මානසික ඇනවුම් පිබිදුවීම සිදුවෙයි. මීට අමතරව තම ආගමික සංස්කෘතික පදනම අනුව මනැසට තීව්‍ර බලපෑම් ඇතිකරන ධූපමය ආඝ්‍රාණයන් ද මෙම ස්ථානවල නොඅඩුවම භාවිත කෙරෙන බව ඔබද අත්දැක තිබෙන්නට පුළුවන. ඊට අමතරව මෙම ශාස්ත්‍රය කීමට පෙර අසන්නාට තබා කියන්නාට වත් එකම වදනක්වත් නොවැටහෙන දේව භාෂාව නම් වන අමුතුම ශබ්ද මාලාවක් මුවින් පිටකරන ශාස්ත්‍රකරුවෝ බොහෝ විට ඒ සමග තියුණු නාද නිකුත්වන සීනු සහ බෙර ද හඬවති. මෙම සියලු තත්ත්වයන් යටතේ ඒ වන විට ශාස්ත්‍ර පිළිබඳ විශ්වාසයකින් යුතු තැනැත්තාගේ මනැස හොඳහැටි ‘හිරිවැටී’ ඇතිබව රහසක් නොවේ.
බොහෝ ශාස්ත්‍ර ‍පොළවල දේව වරමින් හෝ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කීම ඇරඹෙනුයේ ඉන්පසුවය.
දැන් අපි මඳකට එවන් තැනකින් ශාස්ත්‍රයක් ඇසීමට යන තැනැත්තා පිළිබඳව විමසා බලමු. යමකු මෙවන් ගුප්ත ශාස්ත්‍රයක පිහිට පතනුයේ තම ජීවිතය සම්බන්ධ කුමක් හෝ නිරාකරණය කරගත නොහැකි ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදයක් හමුවේ පමණි. එසේම ඒ තැනැත්තා ඒ ශාස්ත්‍රය ඇසීමට යනවිට ඒ ගැටලුව මනැසේ මස්තකප්‍රාප්ත කරගනියි. එමෙන්ම ඒ වනවිට තරමක හෝ මානසික ආතතියකට විඩාවකට පත්ව හිඳින එම තැනැත්තා තුළ ශාස්ත්‍රයේ පිහිටෙන්වත් තම ප්‍රශ්නයට, ගැටලුවට, අර්බුදයට කිනම් හෝ විසඳුමක්, පිහිටක්, හව්හරණක් ලැබේය යන විශ්වාසය තදින්ම තහවුරු වෙයි. ඒ අනුව මෙවන් ශාස්ත්‍ර කීම්වලදී පැවැසෙන තම ගැටලුවට අදාළ නොවන කරුණු නොසලකාහරිමින් හා මනැසින් බැහැර කරමින් ඉන් පැවැසෙන තම ගැටලුවට අදාළ කරුණු පමණක් දැඩිව මනැසින් ග්‍රහණය කරගැනීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. සංජානන විනිතිය (Perseptual Set) නම් වන මනෝවිද්‍යාත්මක න්‍යාය ද මීට යම් තරමකින් සම්බන්ධය.
මෙවන් ශාස්ත්‍ර කීම්වලදී බොහෝ දෙනකු නොතකාහරින තවත් වැදගත්ම දෙයක් තිබේ. එනම් ශාස්ත්‍ර වශයෙන් එලෙස පැවැසෙන කරුණු සෘජුවම එක එල්‍ලේම නොපවසා ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ශාස්ත්‍රකරු ශාස්ත්‍ර අසන්නාගෙන්ම විමසා සිටීමය. ‘හරි නම් හරි කියපන් දරුවා නැත්නම් නෑ කියපන්’ දේවරූඪයෙන් ශාස්ත්‍ර කියන බව පවසන මෑණිවරුන් ශාස්ත්‍රය වශයෙන් කරුණින් කරුණ පවසන අතරේ මගෙන් එසේ යළි විමසා ඇති අවස්ථා සිය ගණනකි. ඒ අනුව ශාස්ත්‍ර කීමක් ලෙස සමාජයේ බොහෝදෙනකු හඳුන්වන මෙම තත්ත්වය වඩාත් නිවැරදි ලෙස අර්ථකථනය කළ හැක්කේ ශාස්ත්‍ර කීමක් ලෙස නොවේ. ශාස්ත්‍රකරු විසින් ශාස්ත්‍රය අසන්නා ගෙන් කරනු ලබන ප්‍රතිවිමසීමක් ලෙසිනි.
එමෙන්ම ඔවුන්ගේ මේ මෙම ප්‍රශ්න කිරීම්වල ද පහසුවෙන් හඳුනාගත හැකි ‘මාදිලියක්’ තිබේ. එනම් ඔවුන් අසන එක් ප්‍රශ්නයක් තුළ වර්තමාන සමාජයේ බොහෝ දෙනකුත් මුහුණ දෙන ‍පොදු ප්‍රශ්න කට්ටලයක්ම මනාසේ ගොනුවී තිබිමය.
ප්‍රාණයක්, භූමියක්, සිත්වේදනාවක්, ලෙඩක් - දුකක් පෙන්නුම් කරනවා දරුවා. ඔව් නම් ඔව් කියාපන් නෑ නම් නෑ කියාපන් ශාස්ත්‍රකරුවෙකු හෝ කාරියක ශාස්ත්‍ර අසන්නකුගෙන් එසේ අසන විට ශාස්ත්‍ර අසන්නවුන්ගෙන් සියයට හැත්තෑ පහක්ම ‘ඔව්’ කීම අතිශය ස්වාභාවිකය. මන්දයත් එවැනි ප්‍රශ්න මෙම සමාජය පුරා කොතෙකුත් දක්නට ලැබෙන බැවිනි. ‘තවම ඔය ප්‍රශ්නෙ කෙළවරක් නෑ නේද දරුවා’ ශාස්ත්‍රකරු හෝ කාරිය ඉන්පසුව අසයි.
‘දැන් ඉතින්, මොකද කරන්න හිතාගෙන ඉන්නේ?’ ශාස්ත්‍ර ඇසීමට යන තැනැත්තා ‘නෑ’ කී සැණින් ශාස්ත්‍රකරු අසා සිටියි.
‘ආයිමත් ඉස්පිරිතා‍ලේ ඇඩ්මිට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ නම්’
ශාස්ත්‍ර අසන්නා එසේ කී සැණින් ඔහුගේ මෙම ශාස්ත්‍ර විමසුම රෝගියෙකු පිළිබඳව බව ශාස්ත්‍ර කියන්නා සැනින් වටහා ගනී. එලෙස ශාස්ත්‍ර කීමේ පළමු වටය නිමාකරන ඔහුට ඉන්පසු දෙවනි වටයට පැමිණීමට පුළුවන. මෙලෙස ශාස්ත්‍ර කීමේ මුවාවෙන් ශාස්ත්‍ර අසන්නාගෙන් ඉතා සූක්ෂම අයුරින් දැනගන්නා කරුණු මතින් කමෛන් තමන් පවසන ශාස්ත්‍රය ගොඩනගා ගන්නා මෙම උපාය අනුයාත බැහැරලීමේ ක්‍රමෝපාය (Process of elimination) නම් වන විද්‍යාත්මක සිද්ධාන්තය මත පදනම් වෙයි.
මේතාක් නිරීක්ෂණය කළ මෙවැනි ශාස්ත්‍ර ‍පොළවලදී මම මනඃකල්පිත ගැටලුවක් සහ ඊට අදාළ මනඃකල්පිත සිදුවීම් සහ චරිත මුල්කොට ශාස්ත්‍රකරු නගන ප්‍රශ්නවලට සාවද්‍ය පිළිතුරු සපයා ඇත්තෙමි. එවිට මගේ ප්‍රකාශ සත්‍ය වශයෙන් පිළිගත් ශාස්ත්‍රකරුවන් මා ඉදිරිපත් කළ සාවද්‍ය දත්තයන් සියුම් ලෙස කළමනාකරණය කොට මා හමුවේ ගල් පැලෙන ශාස්ත්‍ර කියා ඇත්තේ ජීවිතයේ අහඹු ලෙස අත්විඳීමට හැකි විශිෂ්ට ගණයේ හාස්‍ය රසයක් රුපියල් දෙතුන් සීයකට සීමාවන මුදලකට මා වෙත ලබාදෙමිනි.

තිලක් සේනාසිංහ

No comments

Powered by Blogger.