Header Ads

දිවුල්පිටිය චිත්‍රපටයේ රන්ජන් - ඉන්දික රංගනය ඇක්‌ෂන් කට්‌ කට්‌...

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා රඟපාන චිත්‍රපටි රැසක්‌ මම නරඹා ඇත්තෙමි. ඔහු බොහෝවිට එම චිත්‍රපටවල ප්‍රධාන නළු චරිතයට එක්‌වෙන අතර චිත්‍රපටියේ දුෂ්ටයා සමග සිදුකරන ගැටුම්වලදී දුෂ්ටයා පරදවා යුක්‌තිය රජ කිරීමට ඔහු ක්‍රියාකරයි. රන්ජන් රාමනායක මහතා ඊයේ පෙරේදා දවසක දිවුලපිටිය සම්බන්ධීකරණ කාර්යාල භූමියේත් අපූරු රංගනයක යෙදුණේය. එය රූපවාහිනි මාධ්‍ය තුළින් අප කාටත් දැක ගැනීමට අවස්‌ථාව ලැබුණි. රන්ජන් මෙම රංගනයේ යෙදුණේ චිත්‍රපටි දර්ශනයක්‌ සඳහා නොව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඉන්දික අනුරුද්ධ හේරත් මහතා සමග ඇතිවූ ඉතා උණුසුම් වචන හුවමාරුවකදීය.

ප්‍රශ්නය( රන්ජන් රාමනායක මහතා ඔබ ඔය වගේ දෙයක්‌ ඇති කරගැනීම ගැන මුලින්ම කනගාටුවෙනවා සමාජයක්‌ හදාගන්නේ කොහොමද?

පිළිතුර - ඔබ කියන්නේ පරිසරයක්‌ විනාශ වෙනකම් අපට බලා ඉන්නද? ඔබලා වැනි මාධ්‍යවේදීන් මෙම පරිසර හානිය විටින් විට මාධ්‍ය මගින් පෙන්වා දී තිබෙනවා.

ප්‍රශ්නය - ඔය ප්‍රශ්න සියල්ලම බැහැර කරලා ඔබ දෙදෙනාම එකතුවෙලා දිවුලපිටිය ජනතාවට සේවයක්‌ ලබාදෙන්න ඔබ අකමැතිද?

පිළිතුර - ඔබේ අදහස හොඳයි. හැබැයි ඔහු පාතාලයෙන් ඉවත් විය යුතුයි. පරිසරය විනාශ කිරීම නතර කළ යුතුයි. බලපත්‍රයෙන් එම පස්‌ කැපීම නතර කළ යුතුයි. මෙතෙක්‌ සිදුවූ දිවුලපිටිය පස්‌ කැපීමෙන් රජයට සිදුවූ පාඩුව ලබාදිය යුතුයි. පස්‌කැපූ යෝධ වළවල් ක්‍රමවත්ව වසා දැමිය යුතුයි. ඒවා ප්‍රතිසංස්‌කරණය කළ යුතුයි.

ප්‍රශ්නය - ඔහු ඔබට පහරදීමට සූදානම් වුණාද?

පිළිතුර - එයා අත ඉස්‌සුවානම් මොකද වෙන්නේ කියලා මම බලාගෙන උන්නා. මුලින්ම අත ඔසවා පහරදීම වැරදියි. මම ඔහු පහර දෙනතුරු බලාගෙන උන්නා. මම කල්පනාකාරී වුණා. මොකද වටේම මාධ්‍යයේ කැමරා අද මාධ්‍ය අති ප්‍රබලයි.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔහුත් ඔබට පහර දුන්නේ නැහැ. ඔහුත් කල්පනාකාරයෙක්‌

පිළිතුර - ඔව්... සමහරවිට (සිනාසෙයි)

ප්‍රශ්නය - ඔහු ඔබට මරණ තර්ජන කළාද?

පිළිතුර - ඔව්... ඔහු කිව්වා තෝව මරණව කියල.

වීඩියෝ කැමරාවලින් ඒවා හොඳට පෙනෙනවා. මට තිබෙන මරණ තර්ජන ගැන මම පොලිස්‌පතිතුමාටත් කිව්වා. පස්‌ කැපීම් පිළිබඳව පාතාලයක්‌ තිබෙනවා. නීති විරෝධී පස්‌ කැපීම් නිසා අද දිවුලපිටිය සමහර ජලාශවල වතුර නැහැ. පරිසරය විනාශවෙලා.

ප්‍රශ්නය - ඔබ මර්වින් සිල්වා මහතා වෙනුවට දැන් ඉන්න කෙනෙක්‌ලු.

පිළිතුර - මර්වින් සිල්වා මහත්තයාත් එයාලගේ යාළුවෝනේ.

ප්‍රශ්නය - ඔබ අනිත් අයගේ වත්කම් ගැන කතා කරනවා ඔබේ වත්කම්.

පිළිතුර - මගේ වත්කම් ඕනෑ කෙනෙකුට ඕනෑතරම් බලාගන්න පුළුවන්. ඔබ දන්නවාද සමහරුන්ට තියෙන වත්කම් ඒවා එකෙන් දෙකෙන් කියන්න බැහැ. ඒසී කරපු ගෙවල් පවා කුලියට දීලා තිබෙනවා කියලා දැනගැනීමට ලැබිලා තියෙනවා.

ප්‍රශ්නය - ඔය දිවුලපිටිය ප්‍රශ්නය පටන් ගන්නේ කොහොමද?

පිළිතුර - එයා හුඟක්‌ පහුවෙලා ආවා.... නීති විරෝධී පස්‌ කැපීම් ගැන කතා කරද්දී එක පාරටම මේ මනුස්‌සයා කඩාපැනලා කෑගැසුවා. "තෝව මරණවා" කියලා. මට ඒවාට ශබ්ද නැතිව ද ඉන්න ද කියන්නේ. ඉතින් මම දිගට හරහට උත්තර දුන්නා. මොනවා උනත් එයයි මමයි පෞද්ගලික අමනාපයක්‌ නැහැ. මම විරුද්ධ දිවුලපිටිය ජනතාවට සිදුවෙන ප්‍රශ්න පිළිබඳවයි.

එදා මම හුඟාක්‌ ඉවසුවා. ඔහු මට පළමුවෙන්ම පහර දෙනකම් තමයි මං බලාගෙන උන්නෙ.

දිවුලපිටිය අනවසර පස්‌ කැපීම් පිළිබඳව මම ජනාධිපතිතුමාට දැනුම්දීලයි තිබෙන්නේ.

මෙම සිද්ධියට මුහුණ දුන් ඉන්දික අනුරුද්ධ හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් zzදිවයින ඉරිදා සංග්‍රහයZZ වෙනුවෙන් මම ප්‍රශ්න කීපයක්‌ ඇසුවෙමි.

ප්‍රශ්නය - කොහොමද.... රන්ජන්ගෙන් ගුටි කාලා සනීපද?

පිළිතුර - එහෙම දෙයක්‌ වුණේ නැහැ. මොනවා වුණත් රන්ජන් ඇමැතිවරයා නම් දුවල නතර වුණාලු.

ප්‍රශ්නය - එදා ආරවුල ඇති වුණේ කොහොමද?

පිළිතුර - දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්‌වීමක්‌ තිබුණා. එදා එතනට එනකොට ටිකක්‌ ප්‍රමාද වුණා. හේතුව තමයි කාදිනල්තුමාගේ රැස්‌වීමකට සහභාගිවීම. සම්බන්ධීකරණ රැස්‌වීමේදී රන්ජන් කතා කළ යුතු ප්‍රශ්න පැත්තකට දාලා මගේ පවුලට දිගට හරහට බණින්න පටන් ගත්තා. මගේ අම්මා, තාත්තාට, සහෝදරයන්ට නොයෙකුත් චෝදනා කරන්න පටන් ගත්තා.

එයා හරියට රඟපාන්න වගේ හැසිරුණේ... දිවුලපිටියේ පාරම්පරික කැණීම් බලපත්‍ර 200 ක්‌ තිබියදී ඉන් 198 ක්‌ම අයින් කරලා මගේ ඥතීන් දෙදෙනකුට පමණක්‌ මහ කැත විදිහට මඩ ගැහුවා. මමයි. මේකේ සභාපති කියලා එයා කෑගැසුවා. එයා විතරක්‌ නෙවේ තවත් සම සභාපතිවරයෙක්‌ මේ කමිටුවට සම්බන්ධයි. එක්‌කෙනෙක්‌ යූඇන්පිය වෙනුවෙන් අනිත් කෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය වෙනුවෙන්. ඔහු දිගින් දිගටම මේ ප්‍රශ්නය ගත්තා. එයා කමිසේ හදාගෙන නැගිට්‌ටේ හරියට රඟපාන්න වගෙයි.

ප්‍රශ්නය - කතාවක්‌ යනවා රන්ජන් ඔබට පහර දුන්නා කියලා.

පිළිතුර - නැහැ. නැහැ. එයාට ආරක්‌ෂකයන් හයක්‌ හිටියා මට එක ආරක්‌ෂකයයි රියෑදුරයි හිටියේ. දැන් බැලින්නම් මර්වින් සිල්වා හොඳයි එයා වෙනුවට දැන් රන්ජන් ඉන්නවා.

ප්‍රශ්නය - ඔයාලා ඔහොම හැසිරීම ගැන කනගාටු වෙනවා. මිනිස්‌සු දොස්‌ කියනවා.

පිළිතුර - ඔබගේ ප්‍රකාශය හරි මමත් ඒක අනුමත කරනවා. මගේ බිරිඳට දැන් පොළට යන්න බැහැ. මොකද එදා මහත්තයා කරගත්තේ කියලා අහනවා. මගේ දරුවෙකුට පාසල් යන්න බැහැ. තාත්තා ගහගත්තේ මොකද කියලා ළමයින් අහනවා.

ප්‍රශ්නය - ඔබයි රන්ජන් රාමනායක මහතායි එකතුවෙලා වැඩ කළොත් කොපමණ අගේද?

පිළිතුර - ඔව්. ඔබේ මතය වැදගත්. අපි මහජනතාවටයි වැඩ කරන්නේ.

ප්‍රශ්නය - ඉතින් දෙන්නම එකතුවෙලා පළාතට වැඩකරන්න පුළුවන් නේද?

පිළිතුර - ඔව්. ඒ අදහස වැදගත්.

ප්‍රශ්නය - ඇයි ඔබ රන්ජන් රාමනායක මහතාට මරණ තර්ජනය කළේ. ඔහු පොලිසියේ පැමිණිල්ලක්‌ දාලා තියෙනවා.

පිළිතුර - මම එම චෝදනාව තරයේම ප්‍රතික්‌ෂේප කරනවා. මම මරණ තර්ජන කළ බවට ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. ඕනෑම චණ්‌ඩියෙකුට එන්න කියලා එදා රැස්‌වීමේදි නැගිට්‌ටේ රන්ජන් රාමනායක මහත්මයයි. එයා චණ්‌ඩින්ට අභියෝග කරනවා. ඔය චණ්‌ඩිකම් පැත්තකට දාලා පුqළුවන්නම් මනාපවලින් මට වඩා මනාප ගන්න කියලා එයාට මම අභියෝග කරනවා.

ප්‍රශ්නය - ඔබගේ වත්කම් ගැන පරීක්‌ෂණයක්‌ පැවැත්වුවහොත්.....

පිළිතුර - මගේ වත්කම් පිළිබඳව ඕනෑම පරීක්‌ෂණයක්‌ පවත්වන්න කියලා මම අභියෝග කරනවා.

මම පළාත් සභාවේ සේවය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ වුණේ මෑතකදීයි. මේ වගේ අත් දැකීමකට මම මුල්වූ ප්‍රථම අවස්‌ථාව මෙයයි. මම ඔබට තවත් එකක්‌ කියන්නම් දිවුලපිටිය සිද්ධියෙන් පස්‌සේ රන්ජන් එදා මිරිහානට ගිහිල්ලයි නැවතුනේ. මර්වින් සිල්වා මහතා වෙනුවට දැන් රන්ජන් ඉන්නවා.

ප්‍රශ්නය - දැන් ඉතින් ඔය ප්‍රශ්න නැති කරලා දාලා ජනතාවට සේවය කරන්න.

පිළිතුර - මට පස්‌හොරා කියලා මුලින්ම චෝදනා කළේ එයා.

ඔබ එයාටත් ඔය විදිහටම කිව්වද? මොකද අපි නොදකින පැත්තක්‌ ඔබලාට පෙනෙනවා. ඒවගේම මට නඟන චෝදනා අස්‌කර ගන්නවා නම් මම ඒකට ලෑස්‌තියි.

 

No comments

Powered by Blogger.