Header Ads

චීන සවාරියෙන් ඇඳිවතත් ගැලවුණු පිරිමි හෙදියකගේ කථාවස්තුව

සැලසුම අතේ පත්තු වෙයි - සයිටම් ගනුදෙනුත් එළියට - සහෝදර සමාගමක් ගැනත් තොරතුරු

අනාදිමත් කාලයක සිට ලංකාවේ දේශපාලනයේ කොතෙකුත් ඩීල් තිබුණද ඩීල් යන්න සංකල්පයක් ලෙස සමාජගත කරන්නට විධිමත් වැඩපිළිවෙළක් සකස් වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමත් සමගිනි. මහින්ද රාජපක්ෂ බලයට පත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාගේ ඡන්ද ගොඩ අඩු කර ගැනීම සඳහා එවකට එල්.ටී.ටී.ඊ සංවිධානයත් සමග ගැසූවේ යයි කියන ඩීල් එක එවැනි ඩීල් අතර මුලින්ම කරළියට පැමිණ වැඩි කතාබහට ලක් වූවක් විය. එතැන් පටන් විවිධාකාරයේ දේශපාලන ඩීල් දිනෙන් දිනම අසන්නට ලැබුණු අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා විවිධ ඩීල්කරුවන් සිටින බවද පෙනෙන්නට තිබුණි. ඇතැම් ඩීල් කරුවන් අරලිය ගහ මන්දිරය සිය නිවහන කරගෙන සිටි අතර මහින්ද රාජපක්ෂගේ උදෑසන කෑම මේසයේ ද ඔවුන්ට අනිවාර්ය ඉඩකඩක් වෙන් වී තිබුණු බව පැවසේ.

මහින්ද රාජපක්ෂ බලය අවසන් වී වර්තමාන හවුල් ආණ්ඩුව බලයට පත් වීමත් සමග පැවති ආණ්ඩුවේ සිටි ඇතැම් ඩීල්කරුවන් වග උත්තරකරුවන් වී එෆ්.සී.අයි.ඩී.ය වෙත ගාටන්නට වූ අතර තවත් පිරිසක් බලයට පත් වූ ආණ්ඩුව සමග අළුත් ඩීල් දමාගෙන සිය පැවැත්ම ආරක්ෂා කර ගත්හ.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග අලුත් ඩීල්කරුවන්ද කරළියට එන්නට වූ අතර ඇතැමෙක් තිරය පිටුපස සිටිමින් ඩීල් දමන්නට විය. එහෙත් මේ කියන්නට යන ඩීල්කරුවා එවැන්නෙකු නොවනවා පමණක් නොව ජනතාව ඉදිරියේ එක් ජවනිකාවක් රඟ දක්වමින් ආණ්ඩුවත් සමග අමුතුම ආකාරයෙන් තම ඩීල් එක පවත්වාගෙන යන්නෙකි. මොහු අන් කවරෙකුවත් නොව පිරිමි හෙදිය ලෙස ජනතාව අතර ප‍්‍රකට වෙමින් සිටින සමන් රත්නප‍්‍රියය. පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු ලෙසින්ද ජාතික වෘත්තීය සමිති පෙරමුණ නමින් පිහිටුවාගත් සංවිධානයේ මූලිකයා ලෙසින්ද විවිධ දේශපාලන කාරණා වෙනුවෙන් පෙනී සිටිමින් ප‍්‍රසිද්ධිය ලබා ගත් මොහු මේ වන විට ඒසේ ලබා ගත් ප‍්‍රසිද්ධිය යොදා ගනිමින් සිය පැවැත්ම වෙනුවෙන් විවිධාකාර වූ ඩීල් දමමින් සිටියි.

එහෙත් පමණට වැඩියෙන් ආණ්ඩුවට කඩේ යන්නට වීමත් සමග මොහුගේ නිරුවත් ජවනිකා එකින් එක හෙළිදරව් වන්නට වූයේ එතෙක් ඔහු වටා සිටි වෙනත් වෘත්තීය කණ්ඩායම් ද මොහුගෙන් ඈත් කරවමිනි. මෙසේ සිය ඇත්ත වුවමනාව ප‍්‍රකට වූ එක් සිදුවීමක් වූයේ විල්පත්තු වන සංහාරය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේ සිදු වූ සිදුවීම් පෙළයි. එය සැලසුම් සහගතව රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයාගේ අවශ්‍යතාවයක් මත සිදු වූවක් බව ඒ සිදුවීම් පෙළ දෙස බලන ඕනෑම අයෙකුට පෙනී යයි. ඒ නිසාම මාධ්‍ය හමුවේ නිරුත්තව වූ සමන් රත්නප‍්‍රිය රටම ඉදිරියේ අපහසුතාවයට පත් වූ අතර මාධ්‍ය වෙත තර්ජනය කරන්නට තරම් සිය ලැජ්ජාවට පත් වීම ප‍්‍රබල වී තිබුණි.

සමන් රත්නප‍්‍රිය විසින් සහෝදර සමාගමක් ආරම්භ කරන්නට යන පුවත පැතිර ගියේ මේ අතරතුරය. තම දේශපාලන සබඳතා උපයෝගී කරගනිමින් සහෝදර සමාගමක් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මුලපුරන්නේ තම සහෝදරයෙකු වන ඩබ්ලිව්.ඒ. කුමාරවංශ ද සිල්වා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ ඉහළ තනතුරක් වෙනුවෙන් පත්කරගැනීමට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ බලය යොදාගනිමින් කටයුතු කිරීමත් සමගය.
මේ අයුරින් සමන් රත්නප‍්‍රිය සෘජුවම ආණ්ඩුවේ නියෝජිතයෙකු වූ අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වෙනස් දේශපාලන පක්ෂ සහ සංවිධාන සමග කරන සාකච්ඡාවලදී ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී වන නියෝජිතයෙකු බවට පත් වීම දක්වා තත්ත්වය වර්ධනය විය. පසුගිය අවස්ථා දෙකකදීම ජිනීවා සාකච්ඡා සඳහාද රත්නප‍්‍රිය සහභාගි වී තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවේදී කොන්දේසි විරහිතව සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් අතර එය මොහුගේ තවත් එක් කොන්ත‍්‍රාත්තුවක් බවටද රාවයක් මේ වන විට වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය පුරා පැතිර යමින් තිබේ.

මේ සියල්ල විසින් එතෙක් ඔහු වටා සිටි වෙනත් සංවිධාන එකින් එක ඔහුගෙන් ඈත් වන්නට පටන් ගත්තේය. ජාතික වෘත්තීය සමිති පෙරමුණ තව දුරටත් වෘත්තීය සමිත් එකට එක් කළ සංවිධානයක් වනු වෙනුවට රත්නප‍්‍රියගේ හෙද සංගමයේ තවත් නමක් පමණක් බවට පත් වන්නට විය. කරුණු මෙසේ පෙළ ගැසෙද්දී එම තත්ත්වය වලක්වා ගැනීමට ආණ්ඩුව සමග එක්ව තවත් ඩීල් එකක් ගැසීමට මොහු සැලසුම් කළේය. ඒ සැලසුම වූයේ තමන්ගෙන් ඈත් වෙමින් යන වෘත්තීය සමිති නායකයන්ට චීන සැප සවාරියක් ලබා දීමයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද ලැබී ඇත්තේ නොමඳ සහයකි.

මේ චීන සැප සවාරිය පිළිබඳ සැලසුම මුලින්ම අනාවරණය වන්නේ සමන් රත්නප‍්‍රියගේ කාර්යාලයෙන් ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා සම්බන්ධ වී සිටි වෘත්තීය සමිති වෙත දුරකථන ඇමතුමක් ලබා දීමත් සමගිනි. එසේ ලබා දුන් ඇමතුම මගින් එම වෘත්තීය සමිති නායකයන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයන් ඉල්ලා ඇත්තේ චීන සංචාරයක් සඳහා සම්බන්ධ කර ගැනීමට යයි පවසමිනි. එහෙත් ඒ සංචාරය සිදු කරන්නේ කුමක් සඳහාද, මේ සඳහා සහභාගි වන වෙනත් පුද්ගලයන් කවුරුන්ද යන්න කිසිවෙකුටත් පවසා නැත. අවම වශයෙන් එම ඇමතුම ලබා දුන් පුද්ගලයා හෝ එම සංචාරය පිළිබඳ කිසිදු දැනුවත් වීමක සිට නොමැත. ඔහුගෙන් එම ඇමතුම ලැබුණු පුද්ලගයන් ඒ පිළිබඳ විමසූ විට ඔහු පවසා ඇත්තේ ඒ පිළිබඳ කිසිවක් තමන් නොදන්නා බවත් සමන් රත්නප‍්‍රිය විසින් ලබා දුන් නාමලේඛනයට කථා කර විද්‍යුත් තැපැල් ලිපිනයන් ලබා ගැනීම පමණක් තමන් සිදු කරන බවත්ය.

මේ ලැබුණු ඇමතුමත් සමග එදින රාත‍්‍රියේම වෘත්තීය සමිති නියෝජිතයන් සමන් රත්නප‍්‍රිය වෙත දුරකථනය ඇමතුමක් ලබා දී මේ පිළිබඳ විමසා ඇත. එම අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ චීන සංචාරයක් සඳහා චාන්ස් එකක් ලැබී තිබෙන බවත් ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි කරවීමට තමන්ට හැකියාව තිබෙන බවත්ය. එම සංචාරයේ අරමුණ සහ සහභාගි වන අනෙකුත් පිරිස් පිළිබඳ තොරතුරු දැන්ම ලබා දීමට නොහැකි බවත් ඔහු පවසා තිබේ.

එහෙත් ඉන් දින තුනකට පමණ පසු නැවතත් වෘත්තීය සමිති නියෝජිතයන් වෙත රත්නප‍්‍රියගේ කාර්යාලයෙන් තවත් දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටින්නේ සිය විදේශ ගමන් බලපත‍්‍රද රැගෙන තම කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි. පසුගිය මාර්තු 10 දින කොටසක් චීනය බලා යැවීමට කටයුතු යොදා ඇති බවද තවත් කණ්ඩායමක් 16 වන දින පිටත් කිරීමට ද සැලසුම් කර ඇති බවත් හෙළිවන්නේ ඔවුන් එම කාර්යාලය වෙත ගිය අවස්ථාවේදීය. එහිදී ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වන අතර විවිධ හේතු නිසා පිරිස අතර පරස්පරතා නිර්මාණය වී තිබේ.

ඒ වන විටද හෙද සේවය, තැපැල් සේවය සහ දුම්රිය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති තුනක පිරිසක් ඒ සඳහා තෝරාගෙන ඇතැයි ද, තෝරා ගත් පිරිස අතර විශ‍්‍රාමිකයකු පවා සිටින බව ද එහිදී අනාවරණය වී තිබේ. වෘත්තීය සමිති සන්ධානයේ ප‍්‍රභලයකු වන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහ වරායට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු මෙම තෝරා ගැනීමට දැඩි ලෙස විරෝධය පළ කර ඇත. එසේම තැපැල් සේවය නියෝජනය කරමින් තම හිතවත් වෘත්තීය සමිතියකම නියෝජිතයන් දෙදෙනෙකු සහ වරාය නියෝජනය කරන නියොජිතයෙකු තමන්ව තෝරා ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම විසින් රත්නප‍්‍රිය බලවත් අපහසුතාවයකට පත් වී ඇත.

කෙසේ වෙතත් ඇති වූ තත්ත්වයත් සමග මෙම සිදුවීම මාධ්‍ය වෙතද වාර්තා වන අතර විදෙස් සංචාරය සඳහා ප‍්‍රතිපාදන ලැබෙන්නේ කොහෙන්දැයි මාධ්‍ය විසින් රත්නප‍්‍රියගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයකින් ප‍්‍රතිපාදන ලැබෙන බවයි. එය කුමක්දැයි නිශ්චිතව පැවසීමට ඔහුට නොහැකි වී තිබේ. එහෙත් වාර්තා වන පරිදි මේ සඳහා මූල්‍ය අනුග‍්‍රහය දක්වා ඇත්තේ චයිනා මර්චන්ට් ආයතනය විසිනි.

චීන සැප සවාරිය මෙසේ අවුලක් බවට පත් වෙමින් තිබියදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයෙන් අසංක කරුණාරත්න නම් අයෙකු විසින් මෙම වෘත්තීය සමිති නියෝජිතයන් වෙත තවත් ඇමතුමක් ලබා දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පවසමින් ඔහු පවසා ඇත්තේ ද මේ චීන සවාරිය පිළිබඳවමය. එහෙත් ඒ වන විට ගැටුම ඔඩුදුවා තිබීම විසින් අවසානයේ සංචාරය අවලංගු කිරීමට සැලසුම් සකස් කළ එක්සත් ජාතික පක්ෂයට සහ සමන් රත්නප‍්‍රියට සිදු වී තිබෙන්නේ ඉලක්කයට තැබීමට හැකියයි සිතූ වෙඩිල්ලක් අතේ පත්තු වීමෙන් සිදු වූ අමතර හානියක් ද සමගිනි.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

No comments

Powered by Blogger.