Header Ads

අගමැති දයාසිරිට කරත්ත භාෂාවෙන් කතා කරලා ....දයාසිරිට මල පැනලා.....මංගලටත් මල පැන්නාලු

හම්බන්තොට වරාය චීනයට පවරාදීම සම්බන්ධයෙන් මෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීම සම්බන්ධයෙන් ද පසුගිය සතියේ ප්‍රශ්න ඇති විය. ප්‍රශ්නවලින් කොටසක්‌ ඇතිවූයේ පාර්ලිමේන්තුවේදීය. පාර්ලිමේන්තුවේදී ඇති වූ ප්‍රශ්න නිසා මුලදී සූදානම් කර තිබූ ගිවිසුමේ වගන්ති හා ක්‍රමෝපායන් වෙනස්‌ කිරීමට රජයට සිදුවිය. ඒ අනුව හම්බන්තොට විකිණීමේ ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් ලිහිල් වී තරමක්‌ සුළු සුළු වාසි තිබුණට වඩා ලංකාවට ලැබෙන්නට පටන්ගත් බව සත්‍යයකි.

මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 101 සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්නය බරපතළ ලෙස පසුගිය සතියේ සාකච්ඡාවට ගැනුණේ කැබිනට්‌ රැස්‌වීම තුළදීය. මේ ගැටලුව නිසා ක්‍රීඩා ඇමැති දයාසිරි හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ලොකු බහින්බස්‌ වීමක්‌ ඇති විය.

මුලින්ම කතාව ඇදී ආවේ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්‌කොඩි මේ තෙල් ටැංකි පවරාදීම ගැන මතුකළ ප්‍රශ්නය කතාබහ කරද්දීය. අගමැති රනිල් වික්‍රමසිංහ කීවේ මේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට යෝජනාව පැමිණ ඇති බැවින් අප රජය ක්‍රියාත්මක වී නොපමාව එය ඉටුකළ යුතු බවයි. ලබන වෙසක්‌ මාසෙදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට එන්නේ ඒ සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක්‌ ඇතිව බව අගමැති පෙන්වා දුන්නේය.

මේ වෙලාවේ දයාසිරි ජයසේකර කතා කළේය.

ජනාධිපතිතුමනි, මේ තෙල් ටැංකිවලින් දැනටමත් 3 ක්‌ අපි ඉන්දීය ඔයිල් සමාගමට දීල ඉවරයි. 2001 දී රජය ඒ සඳහා ගිවිසුමක්‌ ගැහුවා. ඒ ගිවිසුමට අනුව ඉන්දියාව මාස 6 ක්‌ ගතව යන්නට මත්තෙන් ඛනිජ තෙල් සංස්‌ථාව සමඟ අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළ යුතුයි. නමුත් එබඳු ගිවිසුමක්‌ අත්සන් කෙරිලා නැහැ. ඒ අනුව මේ ඔක්‌කොම තෙල් ටැංකි අපිට අයිති වෙලා ඉවරයි. අපි මේවා පවරා දෙනවා නම් ඒක රටට වාසිදායක විදියටයි කළ යුත්තේ.

ඔව් සර්.... 15 ක්‌ ඉන්දියාවට දෙනවා නම් 15 ක්‌ සංස්‌ථාව සතුව තබාගත යුතුයි. ඉතිරි ටැංකි ටික තමයි දෙරට අතර සමූහ ව්‍යාපාරයකට බෙදා ගන්න ඕන. චන්දිම පෙන්වා දුන්නේය.

අගමැති රනිල් මෙහිදී එකහෙළාම කියා සිටියේ ඉන්දියාවට අසාධාරණයක්‌ කළ නොහැකි බවයි. චීනයට හම්බන්තොට දෙන විට ඉන්දියාව අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නට තමන්ට සිදුවන බව අගමැතිවරයා කීවේය.

එහෙම කරන්න බෑනේ ජනාධිපතිතුමා හම්බන්තොට චීනයට දෙනවා ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා. තව කොහේහරි ඇමරිකාවට දෙනවා. මේ වගේ මුළු රටම ලෝකෙට බෙදලා දෙන්න ගියාම රටට මොනවද ඉතිරි වෙන්නේ.

අපි මේ රාජ්‍ය දේපළ විකුණගෙන කනවට විරුද්ධයි. ජනාධිපතිතුමාත් විරුද්ධයි. මේ වැඩේ කරනවා නම් පිළිවෙළකට අපිට වාසි තියාගෙන කරමු. නැත්නම් අතහැරලා දැමූ මිනිස්‌සුන්ට මේවායින් නරක පණිවුඩයක්‌ යනවා මේ ආණ්‌ඩුව රට විකුණාගෙන කනවා විතරයි කියලා. ඒක වෙන්න අරින්න හොඳ නෑ...

දයාසිරි මේ ප්‍රකාශය කිරීමත් සමඟම අගමැති රනිල් දයාසිරිට ඉංග්‍රීසියෙන් සිංහලෙන් බැණවදින්නට පටන් ගත්තේය.

මිනිස්‌සු මොනව කියන්නද මිනිස්‌සු ගැන අපි බලාගන්නම් අයිසේ. තමුසේ මෙතනට මහින්ද රාජපක්‍ෂලාගේ කොන්ත්‍රාත් ගේන්නේ නැතුව ඉන්නවා. ඕවා මහින්දලාගේ තුරුම්පු. රනිල් වේගයෙන් කීවේය. ඒ සමගම මංගල සමරවීර ලක්‍ෂමන් කිරිඇල්ල යන දෙදෙනාද දයාසිරිට බැණ වදින්නට පටන් ගත්හ.

අගමැතිතුමා... තමුන්නාන්සේ කතා කරන්න දැනගන්න. මෙතන කරත්ත කාරයෝa නෑ. කරත්ත කාර බාසාවෙන් කතා කරන්න එන්න එපා.

දයාසිරි මෙසේ කියත්ම රනිල් ද කෑ ගසන්නට පටන් ගත්තේය. කිරිඇල්ල සුපුරුදු පරිදි පච පච ගාන්නට විය. මංගලද සුපුරුදු ඝෝෂාව පටන් ගත්තේය. සෙසු පිරිස එජාප නායකයාට හුරේ දාන්නට වූහ. ජනාධිපතිවරයා සභාව නිහඬ කළේ මඳක්‌ අසීරුවෙනි.

මේ අතර ජනාධිපති මැදිහත්ව ප්‍රශ්නය සමනය කරන්නට වෙහෙසුණේය. අන්තිමේ ජනාධිපතිවරයා මැද තැනක ප්‍රශ්නය නතර කරන්නට සමත් විය. ඒ අනුව ඉන්දියාවට ටැංකි 15 කුත් ලංකාවට ටැංකි 10 කුත් ඉතිරි 70 ගණන දෙරට අතර හවුල් ව්‍යාපාරයටත් වෙන් කරන්නට තීරණයක්‌ ගැනින.

කොහොමටත් මේක අවසන් තීන්දුව නොවෙයිනේ. කැබිනට්‌ මණ්‌ඩලයට, පාර්ලිමේන්තුවට මේක එනවනේ. අපි ඒ ආවාම සාකච්ඡා කරමු.. ජනාධිපතිවරයා තීන්දුවක්‌ දුන්නේ ඇතිවන්නට ගිය ආරවුල ගොඩින් බේරා ගන්නට උත්සාහ කරමිනි.

කෙසේ වෙතත් සෙසු මැති ඇමැතිවරු කෑගසන්නට ගියේ නැත. එජාප ඇමැතිවරු අගමැතිගේ පාර්ශ්වය ගත්තේය. රජය තමන්ගේ බව කියමින් ඝෝෂා කළහ. එහි සිටි ශ්‍රීලනිප ඇමැතිවරු මේ සියල්ල බලා සිටියේ නිහඬව තම අවස්‌ථාව පැමිණි විට ක්‍රියාත්මක වන්නට හිතාගෙන බව පැහැදිලි විය.

No comments

Powered by Blogger.