Header Ads

බෑනාගේ සමාගමෙන් මහ බැංකුවට තවත් පොල්ලක්

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බැදුම්කර මිලදී ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා අද (04) බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ.

මීට පෙර අවස්ථාවකදීද රුපියල් මිලියන 360ක මුදලක් ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා වන්නේ යැයිද මෙම මුදල හා සැසදීමේදී නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන 11.06 ක මුදල ඉතාම ඉහළ  අගයක් ගන්නා බවද වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කර ඇත.

මේ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා 67 A හා 67 B ලෙස ඔබ ඉදිරිපත් කළ ලේඛණ දෙකේ සඳහන් තොරතුරු වෙන වෙනම ඉතා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

ප්‍රශ්නය :- මෙම ලේඛණවලට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වරින් වර මහා බැංකුවෙන් එක්දින වෙළෙඳ ණය පහසුකම් ලබාගෙන තියෙනවාද?

පිළිතුර :- ඔව්.

ප්‍රශ්නය :- මහ බැංකුවෙන් ලබාදෙන එක්දින වෙළෙඳණය පහසුකම් ගැන ඔබට විස්තර කරන්න පුළුවන්ද?

පිළිතුර :- පුළුවන්. මෙම එක්දින වෙළෙඳ ණය පහසුකම (intar day facilities) මහා බැංකුවෙන් ලබාදෙන්නේ සුරැකුම් වෙළෙඳපොළ ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින්.

සභාපති  විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා :- මෙම (intar day facilities) එක්දින වෙළෙඳ ණය පහසුකම මහා බැංකුවෙන් ලබාදීමේදී විශේෂිත පොළියක් අයකරනවාද?

පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහා බැංකුවෙන් දෙන මෙම එක්දින වෙළෙඳ ණය පහසුකම ලබාගෙන ගනුදෙනු සිදු කර තියෙනවාද?

පිළිතුර :- 67 ඒ හා 67 බී ලෙස ඔබ ඉදිරිපත් කළ ලේඛණ දෙක අරගෙන දීර්ඝ වශයෙන් පරීක්‍ෂා කර බැලීමේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහා බැංකුවෙන් දෙන මෙම එක්දින වෙළෙඳණය පහසුකම  ලබාගෙන ගනුදෙනු සිදු කර ඇති බව හෙළි වෙනවා.

ප්‍රශ්නය :- පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහා බැංකුවෙන් 2016 අප්‍රේල් පළමුවැනිදා එක්දින  වෙළෙඳ ණය පහසුකම  ලබාගෙන තියෙනවාද?

පිළිතුර :- ඔව්. මෙම ලේඛණ පරීක්‍ෂා කිරීමේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් 2016 අප්‍රේල් පළමුවැනිදා රුපියල් බිලියන 11.06ක එක්දින වෙළෙඳ ණය පහසුකම  ලබාගෙන තියෙනවා.

ප්‍රශ්නය :- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එම රුපියල් බිලියන 11.06ක එක්දින  වෙළෙඳ ණය මුදල එදිනම තියෙනවාද?

පිළිතුර :- මෙම ලේඛණ පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එදිනම එම ණය මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ අවස්ථාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් කියා සිටියේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් 2016 අපේ‍්‍රල් පළමුවැනිදා ලබාගත් රුපියල් බිලියන 11.06ක එක්දින වෙළෙඳ ණය පහසුකම දඩ මුදල්ද සමඟ 2016 අපේ‍්‍රල් 04 වැනිදා ගෙවා ඇති බවයි.

මේ බව හරස් ප‍්‍රශ්ණ වලදී සාක්කිකරුගෙන් ඇසීමට බලාපොරොත්තු වන බවද කී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එදින සිදුකළ බැදුම්කර වෙන්දේසි නිසියාකාරව අහවර කර ඇතැයිද පැවසීය.

ප්‍රශ්නය :- මහා බැංකුවෙන් ලබා දෙන මෙම එක්දින වෙළෙඳණය පහසුකම එම දිනය තුළදීම ගෙවා නිම කළ යුතුද?

පිළිතුර :- ඔව්.

ප්‍රශ්නය :- මහා බැංකුවෙන් ලබා දෙන මෙම එක්දින වෙළෙඳණය පහසුකම ලබාගෙන එම මුදල් එදිනම ගෙව්වේ නැත්නම් ඔවුන් නීතීය උල්ලංඝණය කරනවාද?

පිළිතුර :- ඔව්.

වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.

No comments

Powered by Blogger.