Header Ads

මලේ ඔන්න ඉවරයි ත්‍රිකුණාමලේ......(ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කතාව)

විසඳීමට හැකියාව තිබෙන බොහෝ ප්‍රශ්න "කුණු වන්නට" ඉඩ හැරීමත්, නොයෙකුත් කුණු ප්‍රශ්න ජනතාවගේ කරපිට පටවා රටේ හැබෑ ප්‍රශ්න යට ගැසීමත් ආණ්‌ඩුවේ පුරුද්දක්‌ බවට පත්ව තිබෙන බවක්‌ පෙනෙන්නට තිබේ. නිකං ආණ්‌ඩුවක්‌ නොව මෙය සම්මුතිවාදී ආණ්‌ඩුවකි. හවුල් ආණ්‌ඩුවකි. ඒ නිසාම කාට කාටත් රටේ ප්‍රශ්න කාගේ හෝ ඇඟේ ගසා ජාමේ බේරා ගැනීමේ හැකියාව තිබේ. කොහොමත්, එහෙම සිදුවන විට රටේ බොහෝ ප්‍රශ්න බොහෝ දෙනෙකුට අමතකව යන නිසා වැඩේ තවත් ලෙහෙසිය. ඒ ආකාරයට රටේ ජනතාවට නොපෙනෙන ගාණට ඇදගෙන යන ව්‍යාපෘතියක්‌ ආණ්‌ඩුවට තිබේ. ඒ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීමේ ව්‍යාපෘතියයි. දැනට ආරංචි ලැබෙන හැටියට තවත් දෙසතියකින් සිදුවන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරයේදී මේ කටයුත්තට මුල පිරීමට සූදානම්ය. ආණ්‌ඩුවේ හැම වැඩක්‌ම මෙන්ම තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමද "මෙගා" වැඩකි. මේ "මෙගා" ව්‍යාපෘතියට අයත් කැබිනට්‌ සංදේශය හෙට (25 දා) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමටද සූදානම් බව වාර්තාවේ. ඒ අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමේ පුණ්‍යකර්මයට සමගාමීව එට්‌කා ගිවිසුම අත්සන් කිරීම, ඉන්දීය දුම්රිය මැදිරි හා එන්ජින් මිලට ගැනීම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හා වරාය ඉඩම් ඉන්දීය සමාගමකට පැවරීම ආදීවූ ආර්ථික උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ගිවිසුම් කිහිපයක්‌ අත්සන් කිරීමට නියමිතය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි උපයෝගී කරගෙන ඉන්දීය ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට නියමිතය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම ගැන වගේ වගක්‌ නැතිව හිඳීම එක්‌ අතකින් අවාසනාවකි. තවත් අතකින් අමන කමකි. ඒ සියල්ලටම වඩා රටේ සම්පත් කෙරෙහි දක්‌වන සැලකිල්ලේ තරම පෙන්නුම් කරන්නකි. අදාළ තෙල් ටැංකි සමූහය පිහිටි භූමියේ ඓතිහාසික වැදගත්කම ගැන දන්නා කවරකු වුව ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට විරුද්ධ වන බව සහතිකය. වාසනාවකට මෙන් හවුල් ආණ්‌ඩුවේම ඇමැතිවරයෙකු වන සුසිල් ප්‍රේම ජයන්ත ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීමට විරෝධය පළකර සිටී. 2016 ජුලි අටවැනිදා ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමේ සූදානම ගැන ඉඟි පළ කළේය. අප දන්නා පරිදි 2003 වර්ෂයේදී එක්‌සත් ජාතික පෙරමුණ රජය සමයේදී ද මෙම තෙල් ටැංකි සමූහයෙන් යම් ප්‍රමාණයක්‌ ඉන්දියානු තෙල් සමාගමට 39 අවුරුදු බද්දකට ලබාදී තිබේ. කෙසේ හෝ එසේ අත්පත් කර ගැනීමෙන් පසුව ඉන්දියානු තෙල් සමාගම එහි නඩත්තු කටයුතු කෙරෙහි දක්‌වා තිබුණේ අවම සැලකිල්ලකි. අපේ රටේ තෙල් වෙළෙඳ පොළේ සියයට අසූපහක පංගුවක හිමිකාරිත්වය ඇත්තේ ඛනිජ තෙල් සංස්‌ථාවටය. ඉන්දියා තෙල් සමාගම දරන්නේ සියයට 15 ක තරම් අවම ප්‍රමාණයක පංගුකාරිත්වයකි. එවැනි පසුබිමක්‌ යටතේ තෙල් ටැංකි 102 ක ප්‍රමාණයක්‌ ඉන්දියාවට ලබාදීමට කටයුතු කරන්නේ ඇයිදැයි යන කාරණය ආණ්‌ඩුව රටට හෙළි කළ යුතුය. එසේත් නැත්නම් මේ තෙල් ටැංකි නවීකරණය කොට සංස්‌ථාවේ භාවිතයට ගැනීමට හැකියාවක්‌ නැද්ද යන වග රටට කිව යුතුය.

මෙම තෙල් ටැංකි සමූහය ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලකයන්ය. බ්‍රිතාන්‍ය පාලකයන් ත්‍රිකුණාමලය ආශ්‍රිත මෙම ප්‍රදේශය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ සුවිශේෂී කාරණා පදනම් කරගෙනය. දකුණු ආසියාවේම එවන් ඉදිකිරීමක්‌ සඳහා මෙවැනි බිම් කඩක්‌ තිබී නැත. හදිසි ගිනි ගැනීමකදී පුපුරා යැමකදී පොළොව තුළට ගිලා බැස යන ආකාරයෙන් මෙම තෙල් ටැංකි ඉදිකර තිබේ. මේ විශිෂ්ට සැලසුම නිසාම ගින්න පැතිරෙන්නේද නැත. මෙවැනි වැදගත්, ඉතිහාසගත භූමි ප්‍රදේශයක්‌ ඉන්දියාවට පවරන්නේ මොන ඉලව්වකටදැයි අපට තේරෙන්නේ නැත.

දිවයින -

No comments

Powered by Blogger.