Header Ads

මදි නොකියන්න අපහාස විදින කවුද මේ චීවරධාරියා…?

“චීවරධාරියා” වචනයට හදිසියේම නව පණක්‌ ලබා දීමට උත්සාහ ගැනීමක්‌ දැන් දක්‌නට ඇත. අපේ හාමුදුරුවෝ, ගෞරවනීය මහා සංඝරත්නය, ස්‌වාමින් වහන්සේ, භික්‌ෂූණ්‌ වහන්සේ ආදී ගෞරවනීය ඇමතුම් තිබියදී චීවරධාරියා වැනි යෙදුමක්‌ හදිසියේ පැමිණීම කෙරෙහි අප කාගේත් අවධානය යොමු විය යුතුව ඇත. විශේෂයෙන් මහා සංඝරත්නය සහ ගිහියා අතර සම්බන්ධය වඩාත්ම පවතින වස්‌ පින්කම් සමයේ මෙවැනි හෑල්ලුවක්‌ මතු වූයේ ඇයි? පළමුව ඒ ගැන මදක්‌ විමසුව මනාය.

ශාසන ඉතිහාසය අනුව ගිහියන් පමණක්‌ නොව පැවිදි පිරිසද වඩාත්ම පින් සිදුකරගෙන ඇත්තේ වස්‌ පින්කම් සමයෙහිය. ගිහි පැවිදි වැඩි පිරිසක්‌ මාර්ගඵල ලබා ඇත්තේ ද වස්‌ කාලයේය. එයට හේතුව භික්‌ෂූන් වහන්සේලා ආරාමවලම වැඩ විසීම සහ ගිහියන් අනෙකුත් මාසවලදීට වඩා පන්සල ආශ්‍රය කිරීම, වස්‌ පින්කම් පැවැත්වීම, ධර්ම ශ්‍රවනය ආදියෙහි නිරත වීමයි. මෙම ගිහි පැවිදි සම්බන්ධය ඛණ්‌ඩනය කිරීම හෝ තුනී කිරීම අරමුණු කොටගෙන භික්‌ෂූණ්‌ වහන්සේලා හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ සිදු වන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු විය යුතුව ඇත.

ප්‍රධාන කරුණු හතරක්‌ මත වචනයක්‌ විවිධ අරුත් ගනියි.

1. කියනු ලබන්නා

2. අසනු ලබන්නා

3. කියනු ලබන අවස්‌ථාව

4. කියනු ලැබීමෙහි අරමුණ

මෙම කරුණු අනුව චීවරධාරියා වචනයද උස්‌ පහත් තත්ත්වයට පත් වෙයි. ගෞරවනීය මහනාහිමි නමක විසින් හෝ අනුනායක නමක විසින් හෝ විහාරාධිපති හිමි නමක විසින් හෝ කිසියම් තැනැත්තකුව චීවරධාරියා යෑයි නම් කිරීමෙහි ඇති වැදගත් අරුත අද එය යොදන ගිහියකු අත නින්දාවක්‌ අපහාසයක්‌ බවට පත්විම වැළක්‌විය නොහේ. එසේ නින්දා අපහාස ලබන හිමිනම ශාසනයට සමාජයට පුළුල් මෙහෙවරක්‌ ඉටු කරන්නේ නම් එම නින්දා අපහාසය පිළිකුලෙන් සැළකිය යුතු වෙයි. දැන් ඇතැම් ස්‌වාමීන් වහන්සේලාට මුදලාලි වචනයෙන් ගැරහීම ද පිළිකුල් කටයුත්තකි.

චීවරධාරියා යන්නෙහි හෝ චීවර මුදලාලි යන්නෙහි හෝ පවතිනුයේ බුද්ධ ශාසනයට හා බෞද්ධ සංස්‌කෘතියට ගරහන අරුතකි. චීවර වචනය සමඟ යෙදෙන අනෙක්‌ වචනවල ඇත්තේ ඉතා ගැඹුරු වැදගත් අර්ථ සමූහයකි.

ඒවා පහත දැක්‌වෙයි. ඊට පෙර කිව යුත්තේ ඉහත සඳහන් වූ වචන අරුත් පිළිබඳ සිද්ධාන්ත අනුව චීවරධාරියා වචනය නින්දා අපහාස අර්ථය ගනු ලබන බවයි. ඇතැම් ගෞරව වචනවලට මෙවැනි හෑල්ලු වචන යෙදී ඇත. නඩුකාර උන්නාන්සේ, නඩුකාර හාමුදුරුවෝ යෙදුම් වෙනුවට නඩුකාරයා, පියා වෙනුවට තාත්තාකාරයා, සර් වෙනුවට සර්කාරයා ආදී වශයෙනි. ඉදිරියේදී චීවරධාරියා චීවරකාරයා බවට පත්වන්නට පුළුවන. ධාරියා වචනය අතීතයේ දී යෙදී ඇත්තේ ගෞරව වශයෙන් නොවේ. නිදසුන් ලෙස ශ්‍රමණවේශධාරියා යන්න පැරණි ග්‍රන්ථවල හමුවෙයි. ඒ භික්‌ෂූවක සඳහා නොවේ. භික්‌ෂූ වෙස්‌ ගතAතකු ගැන කීමටය.

චීවර වචනය ගෞරව අර්ථයෙහි යෙදී ඇති අයුරු පිළිබඳ නිදසුන් කිහිපයක්‌ මෙසේය.

චීවරය යනු, භික්‌ෂූන් වහන්සේලා විසින් අඳිනු සහ පොරවනු ලබන වස්‌ත්‍රයයි. එය කැබලි කපා මසා පඬු පොවා ගනු ලබන්නකි. චීවරය සිවුර යනුවෙන් ද හැඳින්වෙයි. සිවුරු වර්ග තුනක්‌ එක්‌ වූ විට තුන් සිවුර බවට පත් වෙයි. තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර වශයෙනි. කැපීම, මැසීම, පඬු පෙවීම ආදී කටයුතුවලින් චීවරය නිම කිරීම, චීවර කර්මයයි. මෙහිදී කර්ම වචනය යෙදී ඇත්තේ ක්‍රියාව, කාර්යය ආදී අරුතෙනි. මෙම කාර්යයෙහි යෙදෙන්නා චීවරකාරක නම් වෙයි. කාර්යයත් කාර්යයෙහි යෙදෙන්නාත් හඳුන්වනු සඳහා වෙනමම යෙදුම් තිබීමෙන් සනාථ වනුයේ චීවර කාර්යයෙහි වැදගත්කමයි. චීවරයට අපහාස කරන්නෝ මේ බව නොදනිති.

සැබවින්ම දැන් මේ ගෙවී යනුයේ චීවර කාලයයි. එනම්, වස්‌කාලය පිළිබඳ කඨින චීවරය පිළිගැනීමට කැප වූ කාලයයි. වස්‌ කාලය චීවර කාලය ලෙස ද හැඳින්වෙයි. භික්‌ෂූන් වහන්සේලා වස්‌ එළඹි තුන් මසට පසුව එන කාලය චීවර මාසයයි. එනම් වප් මස අව පෑළවිය පටන් මුල් පසළොස්‌වක දක්‌වා වූ තිස්‌ දවසයි. එබැවින් භික්‌ෂූන් වහන්සේලාට ගරහනු පිණිස චීවර වචනය ද සම්බන්ධ කර ගැනීමට කිසිවකු පෙළැඹෙන්නේ නම් එය පහත් කටයුත්තකි.

සිවුරක්‌ සිරුරෙහි දවටා ගැනීම එකකි. එවැන්නකු චීවරධාරී වන්නට පුළුවන. චීවරයක්‌ ඇඟේ දරාගෙන සිටින බැවිණි. භික්‌ෂූණ්‌ වහන්සේ එවැන්නකු නොවේ. චීවරක්‌ ඛන්ධකයට අනුව ඇවතුම් පැවතුම් ඇති ගෞරවනීය හිමි නමකි. චීවරක්‌ ඛන්ධකය යනු සිවුරු පරිහරණය පිළිබඳව පනවා ඇති නීති පද්ධතියයි. එම විනය නීති මාලාව මහා වග්ගයේ අටවැනි පරිච්ඡේදයේ ඇතුළත්ව ඇත.

භික්‌ෂූන් වහන්සේලා විසින් චීවරය මැනවින් ආරක්‍ෂා කරනු ලබයි. එය චීවර ගුත්තිය නම් වෙයි. සිවුරු ඇඳීම සහ පෙරවීම චීවර ග්‍රහණ නම් වෙයි. ගිහියෝ සිවුරු පූජා කිරීමට බෙහෙවින් කැමති වෙති. එය චීවර දාන නම් වෙයි. යම් හිමිනමක තමන් විසින් පිරිනමන ලද සිවුරක්‌ දරා සිටින්නේ නම් ඔවුහු මහත් සතුටට පත් වෙති. චීවරය ආශ්‍රිත යම් වගකීම් භික්‌ෂූන් වහන්සේලාට පැවරේ. භික්‌ෂූන් වහන්සේලාට ලැබෙන චීවර ආරක්‍ෂා කරනුයේ චීවර නිදාහතයි. චීවර පටිග්ගාහක සිවුරු ආදිය පිළිගැනීමේ කාර්යයෙහි යෙදෙයි.

බුදුරජාණන් වහන්සේ පෙරවූ චීවරය ධාතුව ලෙස මහත් ගෞරවයෙන් යුතුව සඳහන් කරනු ලබයි. අෂ්ට පරිෂ්කාර හෙවත් අටපිරිකරටද සිවුර සහ වෙනත් පරිහරණ උපකරණ ඇතුළත් වෙයි. එබැවින් සිවුරට හෙවත් චීවරයට නින්දා අපහාස කරමින් අටපිරිකර පූජා කිරීම හාස්‍ය ගෙන එයි.

චීවරධාරියකු වීම ඉතා පහසුය. කෙස්‌ කපා ගැනීමත් කහ පැහැති වස්‌ත්‍රයක්‌ දරා ගැනීමත් ඊට සෑහෙයි. භික්‌ෂූන් වහන්සේලා මෙම ගණයට ඇතුළත් කළ නොහේ. පැවිදි කිරීමට පෙර බොහෝ කරුණු සොයා බැලීම, කේන්දරය ආදිය ඔස්‌සේ අනාගතය විමසීම ආදී බොහෝ කරුණු එහිදී විමසා බැලෙයි. පසුව පැවිදි කරනු සඳහා පන්සලට බාර කරනුයේ නැකතකටය. නාහිමියන් ඉදිරියේ බිම තුවායක්‌ එළන ළමයාගේ පියා හෝ භාරකරු පසඟ පිහිටුවා වැඳ කියා සිටිනුයේ තම දරුවා පන්සලට බාර ගන්නා ලෙසයි. බුලත්වලින් සාදන ලද දැහැත් ගොටුවක්‌ද පිළිගන්වා එම ආරාධනාව සිදු කෙරෙයි. දෙව්ලොව පරසතු ගසට සම්බන්ධ සූත්‍රයක සඳහන් වනුයේ මෙම අවස්‌ථාවේ එම ගසෙහි මල් පොහොට්‌ටු හට ගන්නා බවයි. මනුෂ්‍යය ලෝකයේ එක්‌ මනුෂ්‍ය දරුවකු සසරින් එතෙර වීමෙහි පළමු පියවර තැබූ බව සංකේතවත් කිරීමකි එම මල් පොහොට්‌ටු හට ගැනීම. මෙම දරුවා පැවිදි වන අවස්‌ථාවේ එම මල් පොහොට්‌ටු පිපී මල් බවට පත්ව සුවඳ විහිඳුවන බවත් මනුෂ්‍යයකු සසරින් එතෙර වන ගමනේ තවත් පියවරක්‌ තැබු බව එම සුවඳින් වටහාගන්නා දෙවිවරුන් සාධුකාර දෙන බවත් ඉහත සූත්‍රයේ සඳහන් වෙයි. පැවිදිවීම එතරම්ම උතුම් අවස්‌ථාවක්‌ ලෙස ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. එබැවින් මහා සංඝයා වහන්සේලාට අගෞරව කිරීමත් එමගින් තමන් කැපී පෙනීමත් පාප කර්මයකි. වසල සූත්‍රය සිහිගන්වන්නකි.

කැපී පෙනීම සඳහා තමන් බුදුවරයෙකැයි කියාගත් සමහර උදවිය බුදුන් වහන්සේ ජීවමාන සමයෙහිද සිටියහ. තමා බුදුවරයෙකු බවත් නම අනත්ත ජීන බවත් පවසා ඉණේ සිට මදක්‌ පහළට හැඳ සිටි රෙදිකඩ කිහිල්ලෙන් හැඳ වැදි ජනතාව අතරට ගොස්‌ මුලදී සැළසුම් ලද උපක ආජීවක එවැන්නෙකි. දන්නා කිසිදු ධර්මයක්‌ නැති ඔහු චාපා නම් වූ තරුණිය පාවාගෙන කළ විප්‍රකාර චාපා තෙරණි ගාථාවලත් පූජාවලියෙහිත් සඳහන් වෙයි. මාර්ගඵල ලබා සිටිතැයි කියන එවැනි ඇතැම් උදවිය අදත් නැත්තේ නොවේ. එසේ තිබියදී දැන් නින්දා ලබනුයේ මහා සංඝයා වහන්සේලාමය.

ශාසන විරෝධී අදහස්‌ සහ ක්‍රියාකාරකම් ඉදිරියේ මහා සංඝයා රජවරුන්ට පවා දුන් දඬුවම් අතීතයෙහි සඳහන් වෙයි. එක්‌ අවස්‌ථාවක්‌ වනුයේ පීතෘ ඝාතනය නිසා කාශ්‍යප රජතුමාට මහා විහාර වංශික හිමිවරුන් පන්සියයක්‌ දෙනා දුන් දඬුවමයි. එය “පත්ත නික්‌කුඡ්ජන කර්මයයි.” එවැනි රජෙකුගෙන් දානය ප්‍රතික්‌ෂේප කළ හිමිවරු පාත්‍ර මුනින් අතට හරවා තම විරෝධයද අප්‍රසාදය ද පිළිකුල ද පළ කළහ. සමාකරවා ගත් පසු පාත්‍ර උඩු අතට හැරවීම “පත්ත උක්‌කුඡ්ජන” කර්මයයි. මෙහිදී කර්මය නම් ක්‍රියාවයි. එබැවින් නින්දා අපහාස කළ අය පිළිබඳව සුදුසු ක්‍රියාවක්‌ ගැනීම මහා සංඝරත්නයටද සමස්‌ත සමාජයටද අයත් වෙයි.

– සෝමවීර සේනානායක –

No comments

Powered by Blogger.