Header Ads

ප්‍රේමයට එල්ල වූ බාධා නිසා අතීතය අමතක වූ යුවතියක්

විසිතුන් වියැති අවිවාහක තරුණියක වන උපේක්ෂා හිටිහැටියේ දැඩි මානසික අපහසුවකට පත් වූවාය. ඒ ගත වූ කාලය තුළ කළ කී බොහෝ දේ ඇගේ මතකයෙන් ගිලිහී යමින් තිබූ බැවිනි. ඒ තත්ත්වය යටතේ මවට, පියාට, පවු‍ලේ සාමාජිකයන්ට මුහුණ දීමට උපේක්ෂාට නොහැකි වූ අතර ඒ අනුව තම මිතුරු මිතුරියන් හමුවීමට ද ඇය කමෛන් බිය වූවාය.
“ඔයාට මතකද අක්කා අපි පහුගිය ‍පෝයට බෙල්ලන්විල පන්සලට ගිය වෙලාවේ” උපේක්ෂාගේ නැගෙණියක එසේ කියන විට උපේක්ෂාට කිව හැකි වූයේ “අනේ මට මතක නැහැ නංගී” යන්න පමණි. “මොනවා ඔයාට අපි බෙල්ලන්විල ගියා මතක නෑ ?” යනුවෙන් සොයුරිය විශ්මයෙන් යුතුව විමසන විටද උපේක්ෂාට කීමට තිබුණේ “ඔව් මට මතක නෑ තමයි” යන්නය.
මේ අන්දමින් උපේක්ෂා තුළ හදිසියේ හටගත් මෙම අමතක වීමේ ස්වභාවය ඇගේ සමීපතමයන්ට මුල දී විහිළුවක් සේ වැටහුණු අවස්ථා ද තිබිණ. එහෙත් ඇගේ පවු‍ලේ ඥාතීන් විසින් අවසානයේ නිගමනය කරන ලද්දේ උපේක්ෂාගේ මෙම අසාමාන්‍ය අමතක වීම කිනම් හෝ බරපතළ කායික රෝග තතත්ත්වයක මූලික ලක්ෂණයක් ලෙසය. ඊට හේතුව මොළයේ අභ්‍යන්තරික කායික අර්බුද සම්බන්ධ රෝග ලක්ෂණයක් ලෙසද මෙම අමතකවීම දක්නට ලැබිමය.
ඒ අනුව දෙමාපිය වැඩිහිටියන් විසින් උපේක්ෂා පළමුව කායික වෛද්‍යවරයකු හමුවට පමුණුවන ලදී. එහිදී ඇගේ මූලික රෝග ලක්ෂණ විමසා සිටි වෛද්‍යවරයා ඇය සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සඳහා ද යොමු කළේය.
එහෙත් එමගින්ද කිසියම් කායික රෝගයක් පිළිබඳ ලක්ෂණයක් දැකිය නොහැකි වූ බැවින් වෛද්‍යවරයා ඇය මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළේය.
එහිදී පළමුව උපේක්ෂාගේ අසාමාන්‍ය අමතක වීම පිළිබඳව සවිස්තරාත්මකව කරුණු විමසූ මනෝ වෛද්‍යවරයා මෑත කාලයේ ඇය මුහුණ දුන් බරපතළ සිද්ධීන් සහ අත්දැකීම් පිළිබඳවද විමසා සිටියේය. රෝහ‍ලේ හෙදියක් පමණක් සිටියදී උපේක්ෂා තනිකොට ගනිමින් මනෝ වෛද්‍යවරයා කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය මෙලෙස පිළිතුරු දුන්නාය.  අවුරුදු පහක ඉඳලා එක්කෙනෙක් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. එයා මට වඩා අවුරුදු දහයක් වැඩිමල්; ඒ වගේම මට දුර නෑකමකින් බාප්පත් වෙනවා; කොහොම නමුත් මුලදී එච්චර ගාණක් නැති වුණාට පහුවෙනකොට මට ඒ සම්බන්ධය නැති කර ගන්න  බැරි වුණා. ඒත්, මං එයාට කිව්වා අපි දෙන්නාගේ මේ සම්බන්ධයට අපේ ගෙවල්වලින් කීයටවත් කැමැත්ත ලැබෙන්නේ නැහැ කියලා. එතකොට එයා කිව්වා අපි පස්සේ ඒකට මොකක් හරි විසඳුමක් හොයමු එතකම් මේ විදිහට ආශ්‍රය කරමු කියලා”
ඒ කෙසේ හෝ මේ අතරතුර කිසියම් කරුණක් මුල් කොට උපේක්ෂාගේ දෙමාපියන්ට සේම ඇගේ පෙම්වතාගේ දෙමාපියන්ට ද මෙම රහස දැන ගැනීමට ලැබෙනුයේ ඔවුන් ද විස්මයට පත් කරමිනි. ඉන් මහත් සේ කිපුණු උපේක්ෂාගේ පියා ඇගේ වයස ගැනවත් නොතකා ඇයට පහර දී තිබිණ. ඒ එම සම්බන්ධය පිළිබඳව ඇසීමෙන් හටගත් මානසික කම්පනය ද මුල් කර ගනිමිනි. මේ තත්ත්වය යටතේ මෙම ආසාමාන්‍ය ප්‍රේමය පිළිබඳව එම පෙම්වතාගේ පවුලටද දන්වා ඔවුන් සමග ඇති සියලු ඥාති සම්බන්ධතා අතහැරීමට ඒ වන විට උපේක්ෂාගේ පවු‍ලේ ඥාතීන් තීරණය කොට තිබිණ. මේ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් තම පෙම්වතාට දන්වා සිටීම උපේක්ෂාගේ එකම අරමුණ වූ අතර එහෙත් ඉන්පසු දිගින් දිගටම ඔහු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමටද උපේක්ෂාට නොහැකිවිය.
“එයාව දිගින් දිගටම ෆෝන් ලයින් එකට ගන්න බැරි වුණාම මට තේරුණා මාව ටිකෙන් ටික වෙනම ලෝකෙකට ඇදිලා යන බවක්  ඊට පස්සේ මම ඉන්නේ කොහෙද? කරන්නේ මොනවද ? මේ වගේ දේවල් අමතක වුණා. ඊට දවස් දෙකකට විතර පස්සේ එයාම මට ෆෝන් කරලා ඔයා බය නැතුව ඉන්න; අපි දැනට නිස්සද්ද වෙලා පස්සේ මොකක් හරි තීරණයක් ගමු කිව්වා.’ ඒත් එයාගේ ඒ කීමෙන් මගේ හිත හැදුණේ නැහැ. මගේ හිතේ තිබුණු අනාරක්ෂිත බව ඒ විදිහටම පැවතුණා. ඊට පස්සේ මම තව තවත් ඒ ගැන කල්පනා කරනකොට පහුගිය කා‍ලේ සිද්ධි පැටලෙනවා වගේ මට දැනුණා. ඒ එක්කම මගේ මතකය බොඳවෙන බවකුත් මට දැනුණා. පස්සේ ඒ සිද්ධිය විතරක් ‍නෙවෙයි පහුගිය කා‍ලේ හුඟක් සිද්ධි මට අමතක වෙනවා වගේ දැනුණා. තවමත් ඒ තත්ත්වය එහෙමමයි” උපේක්ෂා කීවාය.
ඇගේ වත්මන් මානසික ස්වභාවය, ඇය පිළිබඳ සෙසු තොරතුරු සහ ඇගේ එම ප්‍රකාශය පදනම් කරගත් මනෝ වෛද්‍යවරයා උපේක්ෂාගේ මොළයේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ වාර්තාවද පරීක්ෂාකොට ඇයට වැළඳී ඇත්තේ විඝටන විස්මෘතිය (dissociative amnesia) නම් මානසික අර්බුදය බව තීරණය කොට ඒ සඳහා ප්‍රතිකාර නියම කරන ලදී. තමන්ට මුහුණ දීමට නොහැකි ගැටලු අර්බුද හමුවේ එම ගැටලුකාරී පසුබිම පිළිබඳ මානසික පළායාම විඝටන විස්මෘත පලායනය (dissociative fugue) සහ විඝටන විස්මෘතිය ලෙසින් හැඳින්වෙන බවද ඔහු උපේක්ෂාට සහ ඇගේ වැඩිහිටියන්ට පහදා දීමෙන් පසුව ඇය තුළ පවතින මෙම තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇය ප්‍රකෘතිමත් වූවාය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි.

සටහන - දමයන්ති ගමගේ

No comments

Powered by Blogger.