Header Ads

බොබ් මාලිට පිළිකාව බෝ කර මැරූ CIA ඔත්තුකාරයා කියන කතාව

ලංකාවෙන් හයෙන් එකක්‌ පමණ වූ ජැමෙයිකාව නමැති කැරිබියානු දූපතේදී 1945 පෙබරවාරි 6 වැනිදා ඉපිද 1981 දී ඇමරිකානු රෝහලක මියගිය බොබ් මාලිගේ කෙටි ජීවිතය යම් ප්‍රමාණයකට හෝ සමාන වන්නේ වික්‌ටර් හාරා වැනි ප්‍රගතිශීලි ගායකයකුගේ ජීවිතයට පමණි. 1932 දී චිලී රා


ජ්‍යයේ උපන් වික්‌ටර් හාරා ඒකාධිපතිවාදයට එරෙහිව ගීත ගායනා කිරීමට ගොස්‌ තම රටේ දක්‍ෂිණාංශික පාලකයින් වෙතින් මැරුම්කෑවේය. ඔහු මරණ ලද්දේ චිලියේ ජනාධිපති පිනෝඡේගේ දඩබල්ලන් විසිනි. මරා දැමීමට පෙර ඔහුගේ කට තලන ලදී. ඒ ප්‍රගතිශීලි ගී ගායනා කිරීමේ වරදටය. ඔහුගේ ඇඟිලි තලන ලදී. ඒ එම ගී ගායනා කරමින් ගිටාර් ගැසීමේ වරදටය. වෘත්තීය ප්‍රාසාංගික ගායකයකු වූ බොබ් මාලිගේ දිශානතිය වික්‌ටර් හාරගෙන් ස්‌වල්පයක්‌ වෙනස්‌ වූ අතර ඔහු ගීත ගයන ලද්දේ ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධවය. වික්‌ටර් හාරා මරණ ලද්දේ හතළිස්‌ වැනි වියේදීය. බොබ් මාලි මිය ගියේ අවුරුදු තිස්‌ හයේදී චර්ම පිළිකාවක්‌ හේතුවෙනි. Acral lenetiginous melanoma නමැති මේ පිළිකා වර්ගය වැඩි වශයෙන් හටගන්නේ කලු පැහැති හමක්‌ ඇති අයටය. එහෙත්, අද වනතුරු ඉතිරිව පවත්නා ප්‍රශ්නයක්‌ තිබේ. එනම්, ඔහු මිය ගියේද නැත්නම් මරා දමන ලද්දේද යන්නය. කැරිබියන් රාජ්‍යවල සිටින ප්‍රගතිශීලී සියලු ජනයාද ඇමරිකාවේ සිටින ප්‍රගතිශීලි සියලු ජනයාද බොබ් මාලිගේ මරණය ගැන සැක පහල කරති. වැඩි දෙනා කියන්නේ කිසියම් බලගතු පාර්ශ්වයක්‌ විසින් ඔහුගේ සිරුරට පිළිකා සෛල කාවද්දන ලද බවය.

  ****************************************************

 ඇමරිකන් මධ්‍යම ඔත්තු සේවාව වන CIA සංවිධානයේ සේවය කර විශ්‍රාම ගිය හැත්තෑ නව හැවිරිදි බිල් ඔක්‌ස්‌ලි හදිසි හෘදයාබාධයක්‌ වැළඳීම නිසා මෙයට දෙසතියකට පෙර ඇමරිකානු රෝහලකට ඇතුළත් කරන ලදී. එහිදී ඔහු පරික්‍ෂා කළ දොස්‌තරවරු ඔහුට ජීවත්වීමට ඉතිරිව ඇත්තේ තව තෙසතියක පමණ කාලයක්‌ බව පැවැසූහ. මෙහිදී ඔහු ඉතාම භයානක අනාවරණයක්‌ කළේය. එනම්, 1974-85 කාලය තුළදී CIA සංවිධානයේ නියෝගය පිට බොබ් මාලි ඇතුළු 17 දෙනකු ඝාතනය කරන්නට තමන්ද හවුල් වූ බවය.

 bob1ඔක්‌ස්‌ලිගේ ප්‍රකාශය මුලින්ම හෙළි කරන ලද්දේ Your News Wire නමැති වෙබ් අඩවියක්‌ මගිනි. මෙය බොරු පළකිරීම සම්බන්ධයෙන් ඉමහත් ප්‍රසිද්ධියක්‌ ලැබූ වෙබ් අඩවියකි. එහෙත් මෙහි පළවන දෙයින් කුල්මත්ව මද කලක්‌ ඒ ගැන කතා කරන්නට පාඨකයෝ ප්‍රිය කළහ. වෙබ් අඩවිය බොබ් මාලි ඝාතන පුවත මුලින්ම හෙළි කළේ ඉකුත් නොවැම්බරයේ තුන්වන සතියේය. ඉන් පැය 48 ක්‌ ගතවන විට උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව මෙය කියවා සන්ත්‍රාසයට පත් විය. පැය 72 ක්‌ ගතවන විට සිද්ධිය යුරෝපයටද පැතිරිණ. ඊළඟ පැය 48 තුළ එය මුළු මහත් ආසියාවේම බොබ් මාලි ලෝලිහු දැකගත්හ. මියගොස්‌ අවුරුදු 40 කට ආසන්නව තිබුණත් ලෝකයේ හැම මුල්ලකම බොබ් මාලිගේ රසිකයෝ වෙසෙති. 1962 සිට 1985 දක්‌වා කාලය තුළ පමණක්‌ ඔහුගේ ගී තැටි හත්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ විකිණී ඇති අතර මේ වනවිට එම ගණන ගී තැටි පසළොස්‌ කෝටියක්‌ ඉක්‌මවන්නට ඉඩ ඇත.

 දැනට මරණාසන්නව සිටින CIA ඒජන්ත බිල් ඔක්‌ස්‌ලි කියන්නේ තමා ඉලක්‌කයට වෙඩි තබන ස්‌නයිපර් තුවක්‌කුකරුවකු ලෙස පුහුණුව ලබා ඇති බවය. එහෙත් තුවක්‌කු පාවිච්චි නොකර මිනිසුන් මැරීමේ පුහුණුව CIA සංවිධානය විසින් ඔහුට ලබා දී ඇත. විරුද්ධ කාරයන්ට වස දීම ඉන් එක්‌ ක්‍රමයකි. ඒ අතර පුපුරණ ද්‍රව්‍ය යොදවා මිනිස්‌ ඝාතන සිදුකිරීම තවත් ක්‍රමයකි. ඒ අතරම මිනිසුන් තුළ හෘදයාබාධ ඇති කරන විදියත් පිළිකාව "බෝ කරන" විදියත් ඔහු දැන සිටියේය. ඔහු CIA සංවිධානයට සේවය කළේ එය තම ආගම ලෙස සළකාය. තමා දැන සිටි ඝාතන ක්‍රම යොදාගනිමින් දේශපාලනඥයන්, පත්‍රකලාවේදීන්, වෘත්තිය සමිති නායකයන්, විද්‍යාඥයන්, වෛද්‍ය පර්යේක්‍ෂකයන්, කලාකරුවන්, සහ සංගීතඥයන් විනාශ කළ බව ඔහු සඳහන් කළේය. "බොබ් මාලි" ඝාතනය කිරිම මට ප්‍රශ්නයක්‌ වූයේ නැහැ. මම දේශප්‍රේමියෙක්‌. CIA සංවිධානය ගැන විශ්වාස කළ කෙනෙක්‌. බොබ් මාලි තම ගීතවලින් ඇමරිකාවට විරුද්ධව එක්‌තරා ආකාරයක විප්ලවයක්‌ නිර්මාණය කළා. ඔහු හොඳ මිනිහෙක්‌. දක්‍ෂ කලාකාරයෙක්‌. ඔහු මැරුවාට පස්‌සෙ මට මගේ හිතට මොකක්‌දෝ හැඟීමක්‌ ආව. මගෙන් මැරුම් කාපු අය අතුරින් මට එවැනි හැඟීමක්‌ ඇති වූයේ බොබ් මාලි ගැන විතරයි..."

 CIA වැනි ඔත්තු සේවා සංවිධාන කිසියම් පුද්ගලයකු මරන්නේ අනතුරු හැඟවීම් කිහිපයක්‌ කිරීමෙන් පසුවය. එම අනතුරු හැඟවීම්වලින් සහ එම පුද්ගලයා තමන් එතෙක්‌ කරගෙන ආ CIA සංවිධානයට අනභිමත වැඩ අත්හලහොත් ඔහුට පාඩුවේ ජීවත් වීමට පුළුවන. එහෙත් ඔහු දිගින් දිගටම තම ක්‍රියාකාරකම්වල යෙදුණොත් මුලින්ම ඔහුට මරණීය තුවාල සිදුකරනු ලැබේ. ඔහු එයින් නොනැවතුනහොත් මරනු ලැබේ.

බොබ් මාලි මැරීමේ මෙහෙයුම ගැන ඔක්‌ස්‌ලි කරන විස්‌තරය මෙසේය "බොබ් මාලිට මුලින්ම මරණීය තුවාල කළ යුතු බව මගේ යෝජනාව වුණා. ඒ අනුව 1976 දෙසැම්බර් 3 වනදා අපේ පිරිසක්‌ සංවිධානය වුණා. එදා මාලි හිටියේ ජැමෙයිකාවේ කිංග්ස්‌ටන් නගරයේ කඳුකර ගෙදරක සංගීත සංදර්ශනයකට පුහුණු වෙමින්. පුහුණුව අතරේ අපේ පිරිසක්‌ මාලිගේ ගේ වට කර වෙඩි තැබීමක්‌ කළා. එක වෙඩිල්ලක්‌ මාලිගේ අත හිල් කරගෙන ගිය බව පසුව අපට දැන ගන්නට ලැබුණා. වෙඩි තබද්දි මාලි ඉදිරියට පැන්න ඔහුගේ මැනේජර්ගේ බඩට වෙඩිල්ලක්‌ වැදුණා. මාලිගේ බිරිඳ රීටාගේ ඔලුවට වෙඩි වැදුණා. අපි හිතුවා ඔහු ඊට පස්‌සේ සංගීත කටයුතු නවත්වයි කියලා.."

 එහෙත් මාලි තම කටයුතු දිගටම කරගෙන ගියේය. වෙඩි කෑවත්, නියමිත සංදර්ශනය දින දෙකකට පසු පැවැත්වූ ඔහු එහිදී අතේ තුවාලයෙන් ලේ ගලද්දී ඉලෙක්‌ටි්‍රක්‌ ගිටාරය වයමින් ගී ගැයීය. එම සංදර්ශනය බැලීමට ආ පිරිස ලක්‍ෂයකි.

 අවසානයේ බොබ් මාලි ඝාතනය කළ යුතු බව තම ලොක්‌කන් තමන්ට දැනුම් දුන් බව ඔක්‌ස්‌ලි කියයි. "1977 දී මම මාලිගේ සිරුරට පිළිකා සෛල එන්නත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කළා. ඊට පස්‌සේ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පත්තරේ ඡායාරූප ශිල්පියෙක්‌ විදියට හොර අයිඩෙන්ටිට්‌ කාඩ් එකක්‌ හදාගත්තා. ඉන් පස්‌සෙ ඔහු කැමැති වර්ගයක පාපන්දු සපත්තු කුට්‌ටමකුත් අරගෙන ඔහුගේ ගෙදර ගියා. මොකද ඔහු පාපන්දු ක්‍රීඩාවට බෙහෙවින් ප්‍රියකරන කෙනෙක්‌. ගෙදරදී ඔහු මාව ආදරයෙන් පිළිගත්ත. මම ඔහුට සපත්තු කුට්‌ටම තෑගි කළා.

 "ඔබ මේ සපත්තු පැළඳගෙන ඉන්නව දකින්න මට ආසයි... මම මාලිගෙන් ඉල්ලීමක්‌ කළා."

 "පොඩි වැඩක්‌.." මාලි එහෙම කියන ගමන් එක සපත්තුවක්‌ දමා ගත්තා. අනෙක්‌ සපත්තුව දාන්න කකුල තද කළාම ඔහුට වේදනාවක්‌ ආවා. "මොකක්‌ද ඇනුණා වගෙයි.." එහෙම කියන ගමන් මාලි සපත්තුව ගලවලා මහපට ඇඟිල්ල බැලුවා. ඒකෙ නියපොත්ත අස්‌සෙන් කුඩා ලේ බින්දුවක්‌ එනවා මම දැක්‌කා.

 මාලිගේ ඇඟිල්ලෙ ඇනුනෙ අපි සපත්තුවට සෙට්‌ කරපු පින් එකක්‌. ඒ පින් එකේ කුඩා සිදුරක පිළිකා කාරක විෂබීජ තිබුණ. ඒත් ඒක ඔහුගෙ කකුලෙ ඇනුන බව මට සියයට සියයක්‌ විශ්වාසයි. ඊට ටික කාලයකට පස්‌සෙ ඔහුට මරණය ගෙනාපු පිළිකා විෂබිජය ඔහුගේ සිරුරට ඇතුල් වූණේ එහෙමයි..."

 බොබ් මාලි රෝමානු කතෝලිකත් නොවන එංගලන්ත සභාවත් නොවන ක්‍රිස්‌තියානි නිකායික සාමාජිකයෙක්‌ විය. අසනීප වලට බෙහෙත් ගැනීමට විරුද්ධ වූ ඔහු රෙගේ සංගීත සම්ප්‍රදාය ජනප්‍රිය කරමින් එය තම නිකායේ උන්නතියට යෙදවීය. ඔහු ගංජා ලෝලියෙකි. ගංජා ගසනවිට එන නිද්‍රdශීලී භාවයට ප්‍රිය කළ ඔහු එය භාවනාවක්‌ බව කීවේය. එසේ නමුත් පිළිකාව වැළඳුණු පසු මවගේ බලකිරීම මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටවල් ගණනාවකට ගියේය. අවසානයේදී විකල්ප ඖෂධ කරා යොමු විය. එහෙත්, පිළිකාව ඔහුගේ සිරුර පුරා පැතිර ගිය අතර 1981 මැයි 11 වනදා ඇමරිකානු රෝහලකදී මළේය.

 පණ අදින, මැරෙන්නට වැටී සිටින CIA ඔත්තුකාරයන් හා බ්‍රිතාන්‍ය මධ්‍යම ඔත්තු සේවයේ නිලධාරීන් පාපොච්චාරණය කිරීම පසුගිය අවුරුදු 10 තුළ විලාසිතාවක්‌ බවට පත් විය. මේ නිසා කිසියම් රටක හරක්‌ හොරකමක්‌ සිදු වුවද CIA සංවිධානය එයට ගෑවෙන තත්ත්වයක්‌ මතු විය. තුන්වන ලෝකයේ රටවල් සහ කොමියුනිස්‌ට්‌ රටවල් වැඩිහරියක්‌ තම රාජ්‍ය නායකයාට උණක්‌ හැදුණ විට පවා කියා සිටියේ එය CIA සංවිධානයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බවය. බොබ් මාලි ඝාතනය ගැන උනන්දුවන අය ඉහත සඳහන් තත්ත්වය ගැනද සලකා බැලිය යුතුය.

අනුර සොලමන්ස්

No comments

Powered by Blogger.