Header Ads

දළ පූට්ටුවා මරාදාන්න හවුල්වුණු හේරත්ගම කාලකණ්ණි ග්‍රාමසේවක..-----ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි -------ගල්ගමුවේ ඇත්රජු වෙනුවෙන් පාංශුකුලයක් සහ මතක බණක්

අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළපූට්ටුවා මරා දමා ඇත්තේ හේරත්ගම ග්‍රාම නිළධාරියා ලෙස සේවය කළ පුද්ගලයා ඇතුළු පිරිසක් බවට සැක කෙරන බව වයඹ පළාත් වනජීවී අධ්‍යක්ශ කාර්යාලය පවසයි.
මේ වනවිට එම ග්‍රාම නිළධාරියා තුවක්කුවක් අතැතිව සිටින බව සැක කෙරන ජායාරූප කිහිපයක්ද සමාජ ජාලා වල හුවමාරු වේ.
ගල්ගමුවේ දළ පූට්ටුවා මරාදමා ඇත්තේ කහල්ලපල්ලකැලේ අභයභූමිය අසල හේරත්ගමදී බවට සැක කරන බවත් එම ප්‍රදේශයේ දින කිහිපයක්ම සැකකටයුතු ලෙස බැකෝ යන්ත්‍රයක් නවතා තිබී ඇති බවත් වනජීවී නිලධාරීහු කියා සිටිති.
පසුගිය 22 වැනි දින අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැක කරන දළ යුගල යාන්ත්‍රික කියතකින් කපා වෙන්කර තිබී ඇත.
දළ පූට්ටුවා මරා දළ ගලවා ගැනීමෙන් අනතුරුව යාන්ත්‍රික කියත් ආධාරයෙන් සිරුර කැබලිවලට කපා වෙන්කර ස්ථාන කිහිපයක වළ දමා ඇති බව විශ්වාස කරන්නේ යැයි වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා පසුගියදා අනාවරණය කලේය.
වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. සුමනසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හේරත්ගම, ගල්කිරියාගම, ගල්ගමුව සහ මීගලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරි කණ්ඩායම් 4ක් දළ පූට්ටුවාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබුණි.
මේ සම්බන්ධව හේරත්ගම ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත් සැකකරුවන් පැමිණ ඇත්තේද අංක තහඩු වෙනස් කරන ලද මෝටර් රථයක බවත් වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.
පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදුකරයි.
අතුරුදන් වී සිටින ගල්ගමුව දළ පූට්ටුවා පිළිබඳව නිවැරැදිව තොරතුරක් ලබාදෙන ඕනෑම අයකුට මුදල් ත්‍යාගයක් පිරිනමන බව වනජීවී සංරක්ෂණ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මීට පෙර පැවසුවේය...
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි
පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත.
දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.
( උපුටා ගැනීමක් )

'දළ පුට්ටුවා' මරා ඇත්තේ වෙඩි තබලා
ගල්ගමුවේ දළ පුට්ටුවා නමින් හැඳින්වෙන ඇතාගේ මරණය වෙඩි තැබීමකින් සිදු වූවක් බව අද(30) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇතැයි වන ජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) පශු වෛද්‍ය තාරක ප්‍රසාත් මහතා පැවසීය.
හස්තියා මිය යන අවස්ථාවේ හොදින් ආහාර ගෙන සිටි අතර සතාගේ නාස් කුහරයට සහ අතුණු බහන් වලට පිවිසි පුරවන ලද වෙඩි උණ්ඩ දෙකක් මෙම මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වූ බව පැවසූ අධ්‍යක්ෂක වරයා එම වෙඩි පහරින් ඇතිවූ තුවාල පැසවීමට පෙරම එනම් කෙටි වේලාවක් තුළ සත්වයා මිය ගොස් ඇති බව මෙම මරණ පරීක්ෂණයෙ දී තහවුරුවු බව වැඩිදුරටත් කීය.
සහන් සංකල්ප සිල්වා
ලක්බිම ඔන්ලයින් -

ගල්ගමුවේ ඇත්රජු වෙනුවෙන් පාංශුකුලයක් සහ මතක බණක්
ගල්ගමුව සහ ඒ අවට ප්‍රදේශවල සැරිසැරූ දළ පුට්ටුවා නමින් ප්‍රසිද්ධ හස්තිරාජයා ඇත් දළ සොරුන් විසින් මරා දමා ඇතැයි යන ආරංචිය සැළවීමත් සමඟ ගල්ගමුව සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව දැඩි කම්පාවටත් සංවේගයටත් පත් වි සිටින බවත් එම සංවේගය සහ කම්පාව දුරු කර ගැනීම සඳහා ඉදිරියේදී එම හස්තියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් සහ මතක බණක් පැවැත්වීමට ගල්ගමුව ප්‍රදේශවාසින්ගෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය වෙත නිරතුරුව ඇරයුම් ලැබෙන බව ගල්ගමුව යු.බී.වන්නිනායක මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) හිටපු විදුහල්පති සහ ඇහැටුවැව දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති ගලහිටියාවේ සිරිරතන හිමියෝ පවසති.
උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.
මේ ගල්ගමුව ප්‍රදේශය අවට වන අලි පනහකින් පමණ යුත් කණ්ඩායමක් සිටිනවා. ඒ අතරින් සියඹලන්ගමුවේ ඇත් රාජා සහ දළ පුට්ටුවා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටි සද්න්තයන් දෙදෙනෙක්. මීට කලකට ඉහත සියඹලන්ගමුවේ ඇත් රජු නිර්වින්දනය කොට මාඳුරු ඔය ජාතික වන උද්‍යානය වෙත ගෙන යමින් සිටියදී අතරමගදී අකල් මරණයට පත් වූණා.
එයින් ප්‍රදේශවාසින් තුළ ලොකු කම්පනයක් ඇති වුණා. මේ දළ පුට්ටුවාගේ ඇත් දළ යුගල සමඟ පොල්පිතිගමදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමත් ඉන්පසු එම හස්තියාගේ මළ සිරුරේ කොටස් කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතයේ තිබී සොයා ගැනීමත් සමඟ ප්‍රදේශ වාසින්ගේ කම්පාව සංවේගය තවත් වැඩිවී තිබෙනවා.
වන අලින් ගම් වැදීම මිනිස් ජීවිත හා දේපල වලට බරපතල තර්ජනයක් වුවත් ඔවුන් ගම් වදින්නේ නොවිධිමත් මානව ක්‍රියාකාර කම් නිසා ඔවුන්ගේ පාරම්පරික වාස භූමි අහිමි වීම බව දැන් බොහෝ ගම්මුන් වටහාගෙන තිබෙනවා.
මේ ගල්ගමුව ප්‍රදේශයේ සිට මහව දක්වා කිලෝමීටර් තිහක් යන තුරු වැව් දහයක් පමණ හමුවෙනවා. සියඹලංගමුව වැව, ගනේදිවුල් වැව, පාළුකඩවල වැව, අබකොළ වැව, අතරගල්ල වැව, මැඩියාව වැව ඒ අතරින් ප්‍රධානයි. සියවස් ගනණක් තිස්සේ වන ගහනයෙන් වැසී තිබූ මේ අලි සංචරණ මාර්ග අද මිනිස් ජනාවාස බවට පත් වෙලා. ඒ වගේම මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිසා එළිපෙහෙළිවූ මහා වනාන්තරය වෙනුවට වන ජීවින් සඳහා වෙන් කළ කහල්ල පල්ලේකැලේ රක්ෂිතය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒක වන ජීවින්ගේ පැවැත්ම ගැන මෙලෝ හසරක් නොදැන කළ වෙන් කිරීමක්.
ඒ අනුව වන අලින් සිදු කරන්නේ තමන්ගේ පාරම්පරික ස්වභාවය උරුමය වෙනුවන් සටන් වැදීම බව දැන් මේ ප්‍රදේශවල ජනතාව තේරුම් අරන් තිබෙනවා. සිරිරතන හිමියෝ පැවසූහ. මේ අතර මෙහි සැරි සරන සෑම වන අලියෙකුටම පාහේ මිනිසුන්ගෙන් නොයෙක් තාඩන පීඩන එල්ලවී ඇති අතර ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිත්‍ය ආබාධිත තත්වයකට පත්වී ඇති බවට සිරිරතන හිමියෝ කීය.
මෙම තත්වය පාලනය කිරීම සඳහා වන ජීවි සංරක්ෂණ දේපාර්තමේන්තුව අවශ්‍ය මුදල්, නිලධාරීන් සෙසු යටිතල පහසුකම් සේම නිශ්චිත වැඩ පිළිවෙළක් නොමැති අතර වන අලින් සඳහා සුදුසු වන කලාපයක් වෙන් කිරීම පිළිබඳ රජයේ කිසිදු වැඩ පිළිවෙළක් නොමැති බවද උන්වහන්සේ කීය.
ඔය දළ පුට්ටුවා දැනට වසර පනහකට අධික කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ පැරණ විහාරාරාම ආශ්‍රිත ඉඩ කඩම්වල බොහෝ විට රැදී සිටි සතෙක්. නමුත් ඒ බිම්වල ඇති බව භෝග වලට මේ සතාගෙන් හානියක් නොවන බවද මේ ප්‍රදේශයේ මහා සංඝරත්නය අතරේ පොදු කතිකාවක් ඇතිවී තිබෙනවා.
ඒ තත්වය යටතේ මේ ප්‍රදේශවාසීන් ඒ සතා වෙනුවෙන් ඉටු කරන ආගමික චාරිත්‍ර සඳහා මේ ප්‍රදේශයේ භික්ෂුන් වහනසේලාගේ උපරිම සහභාගීත්වයක් ලැබෙනු ඇතැයිද සිරිරතන හිමියෝ කීය.
සහන් සංකල්ප සිල්වා









No comments

Powered by Blogger.