Header Ads

ඉලන්දාරි කාලේ ඔළුවේ තිබුණෙම 'මව්බිම නැත්නම් මරණය...' - ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර

මගේ ඉලන්දාරි කාලෙ පටන් ගත්තෙ 88-89 කාලෙ. එතකොට ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරලා රට ගිනිදැල්වලින් පිරුණු කාලයක්‌. ඉතිං ඒ කාලෙ අපේ හිත්වල තිබුණු අවංක අදහස්‌ නිසා එවකට තිබුණු සංවිධානයකට අපි සම්බන්ධ වුණා. "මවුබිම නැත්නම් මරණය" කියන පාඨයට අනුව තමයි අපි අපේ ඉලන්දාරි කාලෙ ගෙවුවෙ.

පාසල

මගේ පාසල මොරටුව වේල්ස්‌ කුමාර විද්‍යාලය. මට මතකයි ඒ කාලෙ මමයි මගේ යාළුවා සජිත් අබේසුන්දරයි පාන්දරම ඉස්‌කෝලෙට ගිහින් අපෙ තිස්‌ස ගුණවර්ධන සර් චිත්‍ර ඇඳ විසි කරපු තීන්ත ටින්වල තියෙන තීන්ත අරගෙන "මවුබිම නැත්නම් මරණය" කියලා පෝස්‌ටර්වල ලියලා ඉස්‌කෝලෙ ඇලෙව්වා. ඉස්‌කෝලෙ වැඩවලට කියලා අම්මා ලව්වා පාප්ප හදාගෙන තමයි අපි ගෙනිච්චෙ. ඉතින් අම්මා අහනවා හැමදාම පාප්ප මොකටද බං කියලා. නමුත් පහුවෙනකොට අම්මට තේරුණා මොකක්‌ද වෙන්නෙ කියලා. අම්මා බොහොම තදින් අවවාද දුන්නා. මට මතකයි පාන්දර ඉස්‌කෝලෙ ඇතුළට යන්න දෙන්නෙ ශිෂ්‍යභට කණ්‌ඩායමේ අයට විතරයි. ඉතින් අපි දෙන්නාත් පාන්දර ඉස්‌කෝලෙ ඇතුළට යන්න ඕන හින්දා ශිෂ්‍යභට කණ්‌ඩායමට බැඳුණා.

අත්දැකීම්

මම උසස්‌පෙළ හදාරන කාලෙ රටේ භීෂණය තිබුණු වටපිටාවෙම, සෝවියට්‌ මිත්‍ර සංගමයෙන් රංගනය පිළිබඳව සති දෙකක වැඩමුළුවක්‌ තිබුණා ඩී. එස්‌. සේනානායක විද්‍යාලයෙ. ඒක කෙරුවෙ පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, ඩග්ලස්‌ සිරිවර්ධන සහ වසන්ත විට්‌ටච්චි කියන අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ හතර දෙනා. ඉතින් මමත් ඕකට ගියා ඉස්‌කෝලෙ නොගිහින්. මම ඉස්‌කෝලෙ ඇඳුමත් ඇඳගෙන එතනට ගියාම ඩග්ලස්‌ සිරිවර්ධන මහත්තයා ඇහුවා "ඔයා ඉස්‌කෝලෙ යන්නෙ නැද්ද කියලා. මම නෑ සර් නාට්‍ය ඉගෙන ගන්න ආස නිසා ආවා කියලා. එතකොට එයා කිව්වා පුතා ඔයා ගිහින් උසස්‌පෙළ ඉවර කරලා එන්න කියලා. ඉතින් මට හරි දුකයි මම යන්න යනකොට එච්. ඒ. පෙරේරා මහත්තයා මට කතා කරලා කිව්වා පුතා ඔයා උසස්‌ පෙළ හරියට කර ගන්නවා නං අවස්‌ථාවක්‌ දෙන්නන් කියලා. මං හා කිව්වා. ඒ පාර එයා ඩග්ලස්‌ මහත්තයට කතා කරලා මාව බඳවා ගත්තා.

කරපු - කියපුවා

මැයි දින පෙළපාලි තහනම් වෙලා තිබුණු කාලෙක අපි වීදි නාට්‍යයක්‌ පෙන්නන්න හැදුවා ටවුන් හෝල් එකේ. විවියන් ගුණවර්ධන මහත්මිය තමයි සංවිධානය කෙරුවෙ. ඉතින් එතනදී අපි ඔක්‌කොටම පොලිසියෙන් දැඩි ප්‍රහාරයක්‌ එල්ල කෙරුවා. සී සී කඩ දුවලා තමයි අපි බේරුණෙ. මම බේරුණෙ, ඒ හරියෙ රෙදි තට්‌ටුවක්‌ දාගෙන රෙදි විකුණන මිනිහෙක්‌ රෙදි ගොඩෙන් මාව වැහුවා. එහෙම වහලා ඒ මනුස්‌සයා මාව පොලිස්‌ ප්‍රහාරයෙන් බේරා ගත්තා.

කල්ලි ගැහුණු තැන්

අපේ සොයිසා ෆ්ලැට්‌ එකේ වහල දාලා තිබුණු ගෙයක්‌ තිබුණා. ඒක අපේ තාත්තාගෙ යාළුවෙකුගෙ. ඉතින් අපි රෑට ඔය ගෙට රිංගනවා. අපි එතනට නම දාලා තිබුණෙ "ගුබ්බෑයම" කියලා. එතනට වෙලා අපි නරක වැඩ කෙරුවෙ නෑ. ඔතන තමයි අපි කාඩ් ගැහුවෙ. කැරම් ගැහුවෙත්. දේශපාලනේ කෙරුවෙ.

යාළුවෝ

අපේ කණ්‌ඩායම තමයි රෝහිත, ලලිත් පලිහක්‌කාර, ශ්‍රීනාත් ජයවර්ධන, සජිත් අබේසුන්දර, චමින් ප්‍රසන්න තව කට්‌ටිය හිටියා.

පටබැඳි නම්

මට කට්‌ටිය කිව්වෙ "සිංදු මාරයා" කියලා තමයි.

විනෝදාංශ

එකම විනෝදාංශය ඉතිං සිංදු කියන එකම තමයි. මං පුංචි කාලෙ ඉඳන්ම සිංදු කියන්න හරි ආසයි.

ගැහැනු ළමයි

මං ඒ කාලෙ උස, කළු, කෙට්‌ටු කෙනෙක්‌. ගෑනු ළමයින්ගේ ආකර්ෂණයක්‌ මට තිබුණෙ නෑ. නමුත් මගෙ හිතේ ගෑනු ළමයි ගැන ආදරයක්‌ ඇති වී තිබුණා. නමුත් කවදාවත් කියලා නෑ. දැන් සමහර අය හම්බ වුණාම මම කියනවා මම ඉස්‌සර උඹට ආදරෙන්, කැමැත්තෙන් හිටියා කියලා. ඉතින් එතකොට ඒ ගොල්ලෝ කියනවා අනේ අපි දන්නේවත් නෑ කියලා.

දෙමාපියෝ

මගේ අම්මා තමයි මාව කලාවට යොමු කෙරුවෙ. තාත්තා නං අකැමැතියි මම කලාකාරයෙක්‌ වෙනවට. මම හිටියෙ චිත්‍රපට ශාලා පහකට මැදි වෙලා. ඉතින් මම අම්මගෙන් සල්ලි ඉල්ලා ගෙන චිත්‍රපට බලන්න යනවා. අම්මට ඕන වෙලා තිබුණෙ කොහොම හරි මාව කලාකරුවෙක්‌ කරන්න.

ගුරුවරු

උසස්‌පෙළ ආර්ථික විද්‍යාව උගන්නපු "සේපාලිකා වීරක්‌කොඩි" ගුරුතුමිය අපේ දේශපාලන වැඩ දැනගෙන හිටපු කෙනෙක්‌. ඒ වගේම අපේ තිස්‌ස ගුණවර්ධන සර්. මම එතුමාගේ ගෝලයෙක්‌ නෙමෙයි. නමුත් මම පාසලෙන් අයින් වෙන්න ඉතාම ආසන්න කාලෙදී තිස්‌ස සර්ගේ නාට්‍යයකට සම්බන්ධ වෙලා හොඳම නළුවා වෙනවා. එතනින් පස්‌සෙ මම සර්ගෙ ගෝලයෙක්‌.

අහල - පහල අය

අපි අහල පහල අය එක්‌ක ප්‍රශ්න ඇති කර ගත්තේ නෑ. ඒ වුණාට තරහ වෙලා ඉන්න ගෙවල්වල මල් පෝච්චි මාරු කරලා ආයිමත් ඒ මිනිස්‌සු රණ්‌ඩු වෙන හැටි බලලා විනෝද වුණා. ඔය වගේ දේවල් තමයි ඒ කාලෙ කෙරුවෙ.

මාලක නන්දන

No comments

Powered by Blogger.