Header Ads

මරික්‌කාර් කියූ පික්‌පොකට්‌ ජනපති........එ ජා ප ගැහිල්ල රන්ජන් කියයි.......ඇමතිවරු බැන්නේ කලකිරීම් නිසාලු... -ජනපති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට ගියපසු... කාමරයේදී ඇමැතිවරුන්ට දේශනයක්‌ කරලා...

අපේ දේශපාලන කතිකාවේ සියලු සිදුවීම් හා සංවාදයන් උඩු යටිකුරු කළ මේ ආකාරයේ පළමු ජවනිකාව අපි දුටුවේ පසුගිය සතියේ එක්‌සත් ජාතික පක්‌ෂයේ තරුණ මන්ත්‍රී මරික්‌කාර් කොළොන්නාවේ ඡන්ද රැස්‌වීමකදී කරන ලද එක්‌තරා ප්‍රකාශයකි. එහිදී ඔහු බොහෝ දෙනකුට වත්මන් දේශපාලනයේ තම ඇත්ත තත්ත්වය මතක්‌ කර දෙන ආකාරයේ අමුතු කතාව කියාපෑවේය. මරික්‌කාර් එසේ පවසන්නට වූයේ රජය තුළ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරු බැඳුම්කර මගඩිය මුල්කර ගනිමින් එක්‌සත් ජාතික පක්‌ෂයට එල්ල කරන විවේචනවලට ප්‍රති උත්තර ලබා දෙමිනි. ප්‍රශ්නය වූයේ ඔහු උත්තර දුන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අදහසක්‌ මුල්කරගෙන වීමය.

 "දැන් මේගොල්ලො... හිතන් ඉන්නෙ මහින්ද රාජපක්‌ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා...... එදා මහින්ද රාජපක්‌ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න."

 මරික්‌කාර් මේ අදහස්‌ ප්‍රකාශ කළේ ගොතටුව මාණික්‌කමුල්ලේ පැවැති ජනහමුවකදීය. මෙම ජනහමුවේදී මරික්‌කාර් මහතා වැඩි දුරටත් මෙසේ පැවැසීය.

 දැන් මං අහගෙන කියනවා ඊයේ පෙරේදා ඒ අය ඒ අයට හොරා කියනවා. මේ අය මේ අයට හොරා කියනවාලු. හරියට පිටකොටුවේ පික්‌පොකට්‌ ගහල දුවන අය වගේලු. ඔව් අපි පික්‌පොකැට්‌ ගැහුවා. මහින්ද රාජපක්‌ෂගේ සාක්‌කුවට පික්‌පොකට්‌ ගහල ඒ පික්‌පොකට්‌ ගහල උස්‌සපු කෙනා තමයි අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එයාට මතක නෑ පික්‌පොකැට්‌ ගහපු ජනාධිපති කෙනෙක්‌ එයා කියලා. එයාව පික්‌පොකැට්‌ ජනාධිපති කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න.

 මරික්‌කාර්ගේ මේ ප්‍රකාශය තරමක්‌ දරුණු එකක්‌ විය. මරික්‌කාර්ට පෙරත් ඊට පසුවත් එක්‌සත් ජාතික පක්‌ෂයේම සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හරින් ප්‍රනාන්දු, කාවින්ද ජයවර්ධන මෙන්ම නලින් බණ්‌ඩාර වැනි මන්ත්‍රීවරුන් විවිධ අවස්‌ථාවල විවිධ විවේචන එල්ල කර තිබිණි. එහෙත් මරික්‌කාර්ගේ ස්‌වරය ඊට වඩා දැඩි එකක්‌ විය.

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ එහි අපේක්‌ෂකයන්ට උදව් කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ අනුරාධපුර නගරයේ පවත්වන ලද රැස්‌වීමකිනි. එම රැස්‌වීමේ පටන් ජනාධිපතිවරයා දිගින් දිගටම එක්‌සත් ජාතික පක්‌ෂයට හා ඒකාබද්ධ වූ විපක්‌ෂයට දැඩි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.

 තත්ත්වය තරාතිරම ඉන්න තැන පක්‌ෂය පාට නොබලා තමන්ගේ කඩුව වනමින් ඕනෑම අපරාධයකට දඬුවම් දෙන්නට තමන් සූදානම් බව කියමින් ජනාධිපතිවරයා දෙපැත්තටම ප්‍රහාර එල්ල කරද්දී ඉන් වඩාත් කලබලයට පත් වූයේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ මහා විශාල කොටසකට වගකියන පාර්ශවය ලෙස රටම හඳුනාගෙන සිටින එජාප නායකයා ප්‍රමුඛ දේශපාලඥයන්ය.

 මේ ප්‍රකාශවලට එරෙහිව එජාපයෙන් උත්තර දුන් අතර එය උත්තරවලට එරෙහිව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරු ද උත්තර බඳින්නට පටන් ගෙන තිබිණි. විශේෂයෙන්ම බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, එස්‌. බී. දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම් ජයන්ත්, නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්‌ම එම ප්‍රකාශනවලට සෘජුවම උත්තර බඳින්නට පටන් ගත්හ. පසුගිය සතියේ සෑම දිනකම සෑම රූපවාහිනි ප්‍රවෘත්ති වැඩසටහනකදීම අපට දක්‌නට ලැබුණු උණුසුම් පුවත් වූයේ මෙසේ බැණ අඬගසා ගන්නා ජවනිකා සමූහයයි. සත්තකින්ම ඒවා බලා සිටින ප්‍රේක්‌ෂකයන්ට පෙනී ගියේ රසවත් දේශපාලන නාට්‍යයක රසවත් ජවනිකා හා උණුසුම් කොටස්‌ වශයෙනි.

 එ ජා ප ගැහිල්ල
 රන්ජන් කියයි...

 මේ ආකාරයට එම සංවාදය ඇදී යන අතරතුර එක්‌සත් ජාතික පක්‌ෂයේ සිටින සමහර ජනප්‍රිය මන්ත්‍රීවරු ද ඇත්ත තත්ත්වය කතා කරන්නට පටන් ගත්හ. ඒ අතර රන්ජන් රාමනායක එක්‌ අයෙකි. ඔහු ජනාධිපතිවරයාව විවේචනය කරන එක පසෙක තබා ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂමක්‌ පත් කර බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය කිරීම අගය කරමින් මෙසේ අදහස්‌ ප්‍රකාශ කළේය.

 "අපේ එවුණුත් ලේසි නෑ. අවුරුදු විස්‌සක්‌ හිටියේ විපක්‌ෂයෙනෙ. ඒ හින්ද කෙළගෙන කෙළගෙන ගියා.... ඒක තමයි ඇත්ත කතාව. මට හෙට ආසනේ.... නැතිවුණත්, මාව පක්‌ෂයෙන් එලෙවුවත්, බැඳුම්කර හොරකමක්‌ සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත කතාව. බොරු කියන්න බෑ. මුඛ පිළිකා එනව.

 අපේ අයත් හොරකං කළා. ඒක තමයි ඇත්ත. එතකොට ඒ හොරු අල්ලන එක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්‌. ඡන්ද පොරොන්දුවක්‌. ජනාධිපතිතුමා කොමිසමක්‌ දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනවා. ඒක නරකද... එතුමාට බැනලා අපි ඇයි මෛත්‍රිපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළඟට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොඳ නෑ.

 රන්ජන් රාමනායක මහතා මෙම අදහස්‌ පළ කරනු ලැබුවේ එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රචාරක ජන හමුවක්‌ අමතමිනි.

 ජනපති 
 කැබිනට්‌ටුව හොල්ලයි...

 poli2පසුගිය සතියේ අපට අහන්නට දකින්නට ලැබුණු උණුසුම්ම දේශපාලන සිදුවීම වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට්‌ මණ්‌ඩල

 රැස්‌වීමේදී කරනු ලැබූ උණුසුම් විවේචනයයි. ජනාධිපතිවරයාගේ මෙම විවේචනය කැබිනට්‌ මණ්‌ඩල

 රැස්‌වීම්කදී මෑත කාලයේ සිදු වූ බරපතළම විවේචනය ලෙස සැලකිල්ලට ගනු ලැබිණි. අඟහරුවාදා දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට ජනාධිපතිවරයා පැමිණියේ ම ඒ තරම් ප්‍රසන්න විලාසයකින් නොවේ...

 ජනාධිපතිවරයාට පැමිණෙන විට එහි සිටි ඇමැතිවරු බලා සිටියේ ඔහු කුමක්‌ කරයි ද කුමක්‌ කියයි ද කියාය. සියල්ලෝම නිහඬව ජනාධිපතිවරයා දෙස බලා සිටියදී ඔහු සභාව සිසාරා තියුණු බැල්මක්‌ හෙලමින්ම කතාව පටන් ගත්තේය.

 ඇත්තටම මම අද ආවේ ලොකු විවේචනයක්‌ කරන්න බලාගෙන. කොළ කෑල්ලක්‌ වත් අරගෙන ආවෙ නෑ. මම මේ කතාව රෙකෝඩ් කරනවා. මොකද.. මේක ඔයාලට වැදගත් නැති වේවි. ඒත් මට මේක හරි වැදගත්... කියමින් ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන රෙකෝඩරය ක්‍රියාත්මක කරවමින් සිය කතාව පටන් ගත්තේය.

 මම 2015 දී රාජපක්‌ෂ ආණ්‌ඩුවෙන් එළියට ආවේ ඇයි? මම එදා මේ ගමන ආවේ මගේ ජීවිතය ගැන හිතලා නෙවෙයි.. මගේ පවුල් ගැන අමතක කරලයි ආවේ.. අපි අවදානම් ගමනක්‌ ඇවිත් අවදානම් මාවතක ගියේ.. මේ රටේ කෙරිච්ච හොරකම්, වංචා දූෂණ, අක්‍රමිකතා, මිනීමැරුම්, නරක වැඩ නැති කරන්නයි රටට පොරොන්දු දීලා අපි මේ ගමන ආවේ.

 මහ බැංකු බැඳුම්කර සිද්ධිය මේ රටේ වෙච්ච විශාල හොරකමක්‌.. මහා විශාල වංචාවක්‌. මම ඒක ගැන හොයන්න ජනාධිපති කොමිසමක්‌ පත් කරපු එක වැරදි ද. ජනාධිපති කොමිසම පත් කළේ එක්‌සත් ජාතික පක්‌ෂයට පහර ගහන්න නෙවෙයි. මම මේ ජනාධිපති කොමිසම දමනකොට යූඇන්පී එකේ අගමැති හිටියා. ඇමැතිවරු හිටියා. ඒ ගොල්ලන්ට එදා විරුද්ධ වෙන්න තිබුණ නේ. එදා විරුද්ධ වුණේ නැහැ. දැන් මොකටද වාර්තාව ආවට පස්‌සේ විරුද්ධ වෙන්නේ.

 මම මේක පත් කළේ රටේ වෙච්ච බරපතළ මූල්‍ය අපරාධයක්‌ හොයන්න. ඒව කරන්න එපා කියල ද මේ කියන්නේ... එතකොට අපි දීපු ඡන්ද පොරොන්දුවලට මොනවද වෙන්නෙ... මේ කොමිෂන් වාර්තාවේ එක්‌සත් ජාතික පක්‌ෂයට රිදෙන්න දෙයක්‌ නැහැ. කාටවත් කලබල වෙන්න දෙයක්‌ නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ එදා මම කියපු දේ මෙයාලා කවුරුවත් ඇහුවේ නෑ. අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කරනවට මම විරුද්ධ වුණා ඇහුවේ නෑ... රවි කරුණානායක මුදල් ඇමැති කරනවට මම විරුද්ධ වුණා. ඒකත් ඇහුවේ නැහැ... ඒක එදා ඇහුවානං අදටත් රවි මේ කැබිනට්‌ එකේ ඉන්නවා.

 "කෝ... මෙතන හරීන් ප්‍රනාන්දු ඉන්නවාද...නැද්ද එයා මට බැනලා තියෙනවා අයින් වෙන්න ඕන කියලා. මේ විදිහට එයාටයි මටයි එක තැන ඉන්න බැහැ. එක්‌කෝ එයා අයින් වෙන්න ඕන. නැත්නම් මම අයින් වෙනවා. අර මරික්‌කාර් මට බනිනවා පික්‌පොකට්‌ ගහපු ජනාධිපති කියලා... හරින් ප්‍රනාන්දු එහෙන් බැනගෙන යනවා. සුජීව සේනසිංහලා නලීන් බණ්‌ඩාර, චමින්ද තැන් තැන්වල මට බනින්වා. මේ විදියට බනින්න කියලා කවුරු හරි කියනවා වෙන්න පුළුවන්. කවුරු හරි කියලා කරවනවා වෙන්නත් පුළුවන්.

 ඇත්ත.... මාව පත් කළේ එක්‌සත් ජාතික පක්‌ෂය තමයි. ඒ ඡන්ද වලින් තමයි මම මේ රටේ ජනාධිපති වුණේ. මම එහෙමෙයි කියල එක්‌සත් ජාතික පක්‌ෂයට කළගුණ සලකලා නැද්ද... රටේ කිසිම ජනාධිපතිවරයකු අගමැතිවරයකුට නොදුන් බලතල මේ අගමැතිතුමාට දුන්නා. මා එසේ කළේ මේ ආණ්‌ඩුව කරගෙන යන්නයි. මම යූ.ඇන්.පී.ය පාවලා දෙන්නෙත් නැහැ. යූ.ඇන්.පී.යට විරුද්ධත් නෑ. නමුත් මහ බැංකු හොරකමට ඉඩ දෙන්න කියල ද කියන්නේ? මට ඒක කරන්න බැහැ. මගෙන් ඒවද බලාපොරොත්තු වෙන්නේ?

 මෙහෙම තත්ත්වයක්‌ ඇති වුණේ ඇයි ද කියලා මම දන්නවා... මම දන්නවා නඩු යට ගහන්න ගිය හැටි. එදා අරලියගහ මන්දිරය පිටිපස්‌සේ දූෂණ මර්දන විමර්ෂණ කාර්යාලය කියලා එකක්‌ හැදුවා. අගමැතිතුමාගේ නායකත්වයෙන් තමයි එක තිබුණේ... කෝ ඒකේ වාර්තා... කෝ ඒකේ නඩු... නඩු මොනවද ඒවායේ ප්‍රතිඵල...ඒ පරීක්‌ෂණ හරියට කෙරුණා නම් විපක්‌ෂයේ ඉන්න ඔය නායකයෝ අද ඔය තරම් උඩ පනින්නේ නෑ... රාජපක්‌ෂලාට විරුද්ධව නඩු දැම්මේ නෑ... ඒවට මොනවද වුණේ... අද ඒ ගොල්ල වීරයෝ වගේ කෑ ගහන්නේ ඒ නඩු යට ගහපු හින්දයි. මම දන්නවා කවුද කළේ කියලා.

 අද මේ කැබිනට්‌ මණ්‌ඩලය කරගෙන යන්න මානසික්‌ත්වයක්‌ මට නැහැ. මේ රැස්‌වීම් වෙන දවසකට දාගමු. එහෙම නැතුව ඕගොල්ලො හිතනව නම් වෙනම යූ එන් පී ආණ්‌ඩුවක්‌ අරගෙන රජය දිගටම කරගෙන යනවා කියලා... තීන්දුවක්‌ අරගෙන මට කියන්න. මම දේවල් දාලා ආපු කෙනෙක්‌. මේ දේවල් දාලා යන එක මට ලොකු ප්‍රශ්නයක්‌යක්‌ නෙවෙයි. පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගන්න"

 මේ ආකාරයෙන් ජනාධිපතිවරයා විනාඩි 35 ක්‌ එක දිගට කතා කළේය. ඉන්පසුව ඔහු කැබිනට්‌ රැස්‌වීම් ශාලාවෙන් පිටත වෙනත් කාමරයකට ගියේ ය.

 ඉන් පසු කැබිනට්‌ මණ්‌ඩලය තුළ වෙනම කාලගෝට්‌ටියක්‌ ඇති වන්නට වූයේ ජනාධිපතිවරයාගේ පිටව යැම සම්බන්ධයෙනි. අගමැති ප්‍රමුඛ එජාප ඇමැතිවරු රාජිතට කීවේ ජනාධිපතිවරයාව කූල් ඩවුන් කර කැඳවාගෙන එන ලෙසයි. අන්තිමේ අගමැති රනිල්, රාජිත, මලික්‌, නිමල් සිරිපාල ඇතුළු පිරිසක්‌ කැබිනට්‌ මණ්‌ඩලයෙන් පිටව ගියේ ජනාධිපතිවරයාව කැඳවාගෙන එන්නටය.

 අගමැති රනිල්, රාජිත ඇතුළු ඇමැතිවරු ජනාධිපතිවරයා සිටි කාමරයට ගොස්‌ ඉල්ලා සිටියේ නැවතත් කැබිනට්‌ රැස්‌වීමට පැමිණෙන ලෙසයි. අගමැති රනිල් මෙහිදී ජනාධිපතිවරයාට කතාකර තමන් එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට හා ඇමැතිවරුන්ට දැඩි ලෙස අවවාද කරන බව පෙන්වා දුන්නේය... ජනාධිපතිවරයාට විරුද්ධව කතා නොකරන ලෙස දැඩි ලෙස සිටින බව ඔහු කීවේය.


ඇමතිවරු බැන්නේ
 කලකිරීම් නිසාලු...

 ඒව වගේම තමයි ජනාධිපතිතුමා... ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙත් ඉන්නවා ඇමැතිවරු කට්‌ටියත්... බොහොම නරක විදියට අගමැතිතුමාව විවේචනය කරනවා.. ඒක හරි කැතයි. ඒකත් අපි නතර කරන්න ඕන. ඔක්‌කොටම ඉස්‌සර වෙලා ජාතික ආණ්‌ඩුවක්‌ හැසිරෙන හැටි මේ ඇමැතිවරුන්ට කියල දෙන්න ඕන...රාජිත කීවේය.

 ඒගොල්ලො කෑ ගහන්නෙ යූඇන්පී එක්‌ක කරපු සමහර වැඩ හින්දනේ... අර දූෂණ මර්දන විරෝධී කාර්යාලය කියලා එකක්‌ හැදුවා... ඒකෙ හදන තරමක්‌ ෆයිල් හැදුවෙ අපේ ශ්‍රී ලංකා ඇමැතිවරුන්ට විරුද්ධව.. ගංවතුර ආධාර බෙදුවා කියලා අනුර යාපාට විරුද්ධව දැමමා... තව මොනවද බෙදුවා කියලා ඩිලාන්ට විරුද්ධව ෆයිල් හැදුවා... ඉතින් ඒ මිනිස්‌සු කේන්තියෙන් කතා කරන්නේ, ඒවායි. නිලධාරීන් ඒ ගම්වලට ගිහිල්ලා මේ ෆයිල් දිගෑරගෙන පරීක්‌ෂණ කරනවා. ප්‍රශ්න කරනවා. එහෙම වුණාම මේ ඇමැතිවරු කොහොමද ගමට යන්නේ. මෙහෙම දේවල් ඉස්‌සරහට වෙන්න බෑ.

 ඒක තමයි ජනාධිපතිතුමනි... අපි අපේ තියන ප්‍රශ්න කතා කරලා ඇතුළේ විසඳාගෙන ඉස්‌සරහට යන්න ඕන. නැත්නම් ඒ හැම දේකින්ම වාසි ගන්නවා රාජපක්‌ෂලා. එහෙම වෙන්න දෙන්න නරකයි... නිමල් සිරිපාල කීවේය.

 අනිත් එක අර රවි කරුණානායක හැම තැනම මට බැන බැන යනවා. එයාගේ නම වාර්තාවෙත් නැහැ. වාර්තාව වැරදියි කියලා...මම නෙවෙයි ඒ වාර්තාව හැදුවෙ. මම ඒ වාර්තාව පිටු ගණනම කියවන්න බැරි නිසා රටේ ඉන්න ප්‍රමුඛ පෙළේ උගතුන් නීතිවේදීන් හතර දෙනෙක්‌ ගෙන්නලා ඒ වාර්තාව කියවලා පිටු හතරක සාරාංශයක්‌ හදලා දෙන්න කියලා එයාලාට බාර දුන්නා. එයාලට වරදින්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ඒක හැදුවේ. රවිටත් ඒ ටික කියලා දෙන්න ඕනැ... ජනාධිපති කීවේය.

 හරි... මම අපේ මන්ත්‍රීවරුන්ට කතා කරන්නම්. රාජිත ඇමැතිතුමා රවිත් එක්‌ක පොඩ්ඩක්‌ මේ ගැන කතා කරන්න... අගමැති රනිල් කීවේය.

 ඇමැතිවරුන්ගේ බලවත් පෙරැත්තය නිසා ඉන් පසුව ජනාධිපතිවරයා කැබිනට්‌ රැස්‌වීමට පැමිණෙන්නට කැමති විය.

No comments

Powered by Blogger.