Header Ads

රවී බිල්ල විතරයි...නිධානය ගත්ත අය තවම නිදැල්ලේ

ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා සමඟ 'දිවයින ඉරිදා සංග්‍රහය' කළ සම්මුඛ සාකච්ඡාව මතු දැක්‌වේ.

 ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණයට තව දින හයයි. ජයග්‍රහණය පිළිබඳ ජවිපෙ තක්‌සේරුව කෙබඳුද?

 පිළිතුර - ඉතාම සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක්‌ අපි මෙහෙයවූවා. කොළ පාට, නිල් පාට පක්‌ෂ දෙකම ජනතාවට එපා වෙලා. අලුත් විකල්ප බලයක්‌ ජනතාව බලාපොරොත්තු වෙනවා. හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව ඡන්දය දෙන්න ජනතාව සූදානම්. ඒ තත්ත්වය තුළ ජවිපෙ අපිට ඉහළ ජනතා ප්‍රතිචාරයක්‌ ලබන බවට අපට විශ්වාසයි.

 ප්‍රශ්නය - මෙම මැතිවරණයේදී රාජ්‍ය දේපළ යොදාගැනීම, ප්‍රචණ්‌ඩ ක්‍රියා ආදිය නැති තරම්. ඒ නිසා පෙර මැතිවරණවලට සාපේක්‌ෂව මෙවර ප්‍රධාන පක්‌ෂ ලබන්නේ සාධාරණ පිරිසිදු ඡන්ද ප්‍රමාණයක්‌ බව පිළිගන්නවාද?

 පිළිතුර - නෑ. එහෙම නෑ. මෙහිදීත් ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදු වුණා. ජවිපෙ අපේක්‌ෂකයන්ගේ ගෙවල්, වාහන ගිනි තබා පහරදීම් කළා. භාණ්‌ඩ බෙදන්න බෑ කීවාට සූක්‌ෂ්ම උපක්‍රම භාවිත කර සමහර ඇමැතිවරු එය කළා. නිවාස ණය ලබාදීමට කියා නිලධාරීන් යොදවා සමීක්‌ෂණ කළා. හාඩ්වෙයාර් එකෙන් බඩු ගන්න කියලා මිනිසුන්ට අපේක්‌ෂකයන් විසින් ගෙවීම් කළා. සමහර තැන්වල ළමයින්ට බැංකු පොත් පවා හදා දුන්නා. වෙනදාට සාපේක්‌ෂව බඩු බෙදිල්ලේ අඩුවක්‌ තිබුණා. ඒත් සම්පූර්ණයෙන් නතර කරලා නෑ. මාධ්‍ය භාවිතයේදී ආණ්‌ඩු බලය යොදා ගත්තා. මුළුමනින්ම අපක්‌ෂපාති සාධාරණ මැතිවරණයක්‌ වන්නේ නෑ. මේ තත්ත්වය තුළ සමහරුන්ට වාසි ගන්න හැකි වුණා. සමහර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, සම්මුඛ පරීක්‌ෂණ පවා සිද්ධ වුණා.

 ප්‍රශ්නය - ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කෙලින් තීන්දු තීරණ ගැනීම පැසසිය යුතුයි නේද?

 පිළිතුර - ස්‌වාධීන මැතිවරණ කොමිසමක්‌ තියෙනවා. ඒ නිසා ඔවුන් සාධනීය පියවර ගත්තා. ඒ නිසා තමයි වෙනදා වගේ බඩු බෙදන එක කරන්න බැරි වුණේ. කොමිසමේ බලය යොදා බොහෝ දේ පාලනය කළා. ඒ ගැන ඇගයීමක්‌ තියෙනවා. තවම මේ සංස්‌කෘතිය පුරුදු නෑ. තව මැතිවරණ දෙක තුනකදී කොමිසම ශක්‌තිමත්ව කටයුතු කළොත් මේ තත්ත්වය නැති වේවි කියා අපි හිතනවා.

 ප්‍රශ්නය - මෙවර ඡන්දයේදී පැහැදිලි වෙනසක්‌ දකිනවා. එය මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක්‌. මනාප ක්‍රමයට හෝ ඉක්‌මනින් ඡන්දය පවත්වන ලෙස සෙසු පක්‌ෂ බල කරද්දී කොට්‌ඨාස ක්‍රමයටම ඡන්දය පැවැත්විය යුතු බවට ශ්‍රීලනිප කියා සිටි බවත් මෙය ශ්‍රීලනිප ජයග්‍රහණයක්‌ බවත් ජනාධිපතිවරයා පවසා තිබුණා....?

 පිළිතුර - මනාප ක්‍රමය එපා කියන එක කවුරුත් කීවා. ඒක රටේ ජනතාවගේ ඉල්ලීමක්‌ ජවිපෙ අපි කොහොමත් ඔය මනාප බලු පොරයට වැටුණේ නෑ. ගම නියෝජනය වන මන්ත්‍රීවරයෙක්‌ ඕනෑ කියන එක ජනතා ඉල්ලීමක්‌. ඒ නිසා තමයි හැම පක්‌ෂයක්‌ම ඊට එකඟ වුණේ. මේ මැතිවරණ ක්‍රමය සමානුපාතික හා කොට්‌ඨාස ක්‍රමයේ සම්මිශ්‍රණයක්‌. මේක කාගේවත් තනි ජයග්‍රහණයක්‌ නොවේ. අවුරුදු දෙකක්‌ තිස්‌සේ දේශපාලන පක්‌ෂ යෝජනා කරලා, සාකච්ඡා කරලා හදාගත් ක්‍රමයක්‌. මෙහි මන්ත්‍රී ප්‍රමාණය දෙගුණයක්‌ වුණා ඒක ජනතාවට බරක්‌. ඉදිරියේදී මේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කර ගත යුතුයි. මේ මට්‌ටමට මේ ක්‍රමය හදාගන්න හැමෝම දායක වුණා. මේක ශ්‍රීලනිප ජයක්‌ නොවේ ජනතාවගේ ජයක්‌.

 ප්‍රශ්නය - බැඳුම්කර හා බරපතළ වංචා දූෂණ කොමිෂන් වාර්තා විවාදය මෙම හය වැනිදා පවත්වනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ හයවැනිදා පාර්ලිමේන්තු විවාදය ඇස්‌බැන්දුමක්‌ කියලා. ජවිපෙ ඉන්නෙත් ඒ මතයේම ද?

 පිළිතුර - ඡන්දෙට කලින් මේ විවාදය පැවැත්විය යුතු බව ජවිපෙ අපි තමයි මුලින්ම ඉල්ලුවේ. නමුත් ආණ්‌ඩුව බෑ කීවා. ඒ සාකච්ඡාවේ ශ්‍රීලනිපයත් හිටියා. එයාලා මේ විවාදය කලින් ගත යුතු බව කීවේ නෑ. අපි මේ වාර්තා දෙකම දවස්‌ දෙකක්‌ විවාද කළ යුතු බව කීවා. අවසානයේ අගමැතිවරයා කීවා 08 වැනිදා පැවැත්විය හැකි බව. අපි කීවා ඒත්a බෑ ඊට කලින් ඕනෑ කියා අවසානයේ මැතිවරණ කොමිසම අනතුරු ඇඟවූවා ඡන්දය කල් දමන්න වේවි කියා. ඊට පසුව තමයි බැරිම තැන ආණ්‌ඩුව 06 දාට එකඟ වුණේ. මේක කැමැත්තෙන් දුන් විවාදයක්‌ නොවේ. විවාදය නොදී හිටියොත් ජනතාවගේ විරෝධයක්‌ එල්ල වෙනවා. ජාමෙ බේරා ගන්නයි විවාදය දුන්නේ. ජනපති ආණ්‌ඩුවේ සහ ඇමැති මණ්‌ඩලයේ ප්‍රධානියා. අගමැති සමඟ සාකච්ඡා කර මේ විවාදය සුදුසු දිනවල පවත්වන්න ජනපතිට තිබුණා. වේදිකාවේ කෑගහලා වැඩක්‌ නෑ. දින දෙකක්‌ දෙන්න එතුමාට තිබුණා. ඒත් ජනාධිපතිවරයා එහෙම කළේ නෑ.

 ප්‍රශ්නය - වංචනිකයන්ට දඬුවම් දීමට අලුතින් අධිකරණ පවා ස්‌ථාපිත කරන්න ආණ්‌ඩුව පියවර අරගෙන. චෝදනා ලත් හිටපු මුදල් ඇමැතිවරයා ධුරයෙන් ඉවත් කළා. එපමණක්‌ නොවේ රවි කරුණානායක මහතාගේ එජාප තනතුරුත් ආපසු ගත්තා. මේ වංචාව හා දූෂණයට එරෙහි රටක්‌ අනාගතයේ ලැබෙන බවට දුන් පණිවිඩයක්‌ නේද?

 පිළිතුර - වංචා, දූෂණ ඝාතන ගැන හොයන්න වෙනම අධිකරණ පිහිටුවන ලෙස අපි දිගින් දිගටම බලපෑම් කළා. මේ ආණ්‌ඩුව බලයට පත්වෙද්දිම එහෙම දේ කරනවා කීවා. ඒත් අවුරුදු දෙකකට වඩා ගියා. කිසිවක්‌ කළේ නෑ. අන්තිමේ පාර්ලිමේන්තුවේ මාධ්‍ය හා දූෂණ විරෝධී කමිටුව යෝජනාවක්‌ ඉදිරිපත් කළ පසු තමයි මෙහෙම දෙයක්‌ කළේ. නමුත් තවමත් ඒ යෝජනාව සම්මත වුණාට එය පිහිටුවූයේ නෑ. අපි කියනවා හැකි නම් බැඳුම්කර නඩුව ඔය පිහිටුවන අධිකරණයක පළමු නඩුව ලෙස විභාගයට ගන්න කියා. මේක අභියෝගයක්‌. රවි කරුණානායකට ඇමැතිකමෙන් යන්න වුණේ විශ්වාසභංගය නිසා. ඒ විශ්වාසභංගය පරදින බව දන්න නිසා. වෙන කරන්න දෙයක්‌ නැති නිසා බිත්තියටම හේත්aතු වූ නිසා අස්‌ වුණා. එජාප තනතුරෙන් ඉවත් කිරීම ජනතාවට වැඩක්‌ නෑ. ඔහු කළ වරදට තවම දඬුවම් ලැබී නෑ. ජනතාවට ඕනේ ඔහු කළ වරදට නීතිය ක්‍රියාත්මක කිරීමයි. තවම එහෙම දෙයක්‌ වී නෑ. රවි කරුණානායක පක්‌ෂයේ උප නායකකමින් ඉවත් කිරීම නම් ඇස්‌බැන්දුමක්‌.

 ප්‍රශ්නය - මේ බැඳුම්කර ගනුදෙනුවට වගකිවයුතු අනෙක්‌ අයට එරෙහිව ගන්නා පියවර පිළිබඳ සෑහීමකට පත්වන්න හැකි වේවිද?

 පිළිතුර - නෑ. රවි කරුණානායක මේකේ බිල්ල. හැබැයි මේ නිධානය ගත් අය තවම නිදැල්ලේ. නර බිල්ල තමයි රවි කරුණානායක. නිධානය ගත් අය එක බෙදා ගත්තා. ඒ අය නීතිය හමුවට ගෙනැත් ඒ ජනතා බදු මුදල් අයකර ගත යුතුයි. සොරා ගත් නිධානය තවම ලබා ගත්තේ නෑ. මෙය මෙහෙයවූ ප්‍රධාන මහ මොළකරු, ප්‍රධාන චූදිතයාටයි දඬුවම් පැමිණ විය යුත්තේ. දැන් හදන්නේ රවි කරුණානායක බිල්ලට දීලා ගොඩ යන්නයි.

 ප්‍රශ්නය - බැඳුම්කර වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒත් කතා කරන්නේ බැඳුම්කර ගනුදෙනුව ගැන පමණයි. අනෙක්‌ වාර්තාවේ සඳහන් කරුණු යටපත් වෙලා.....?

 පිළිතුර - අපි පක්‌ෂයක්‌ ලෙස දිගින් දිගටම කියන්නේ වාර්තා දෙකම විවාද කරනවා කියා. දැන් බැඳුම්කර වාර්තාවෙන් බරපතළ වංචා දූෂණ වාර්තාව යට ගිහින්. පරණ හොරකම අලුත් හොරකම්වලින් යට කරලා. ඒකට ඉඩ දෙන්න බෑ. නිල් හොරුයි, අලි හොරුයි දෙගොල්ලොම හෙළිදරව් වෙලා තියෙන්නෙ. මේ දෙගොල්ලන්ටම දඬුවම් දිය යුතුයි. ඒ මුල් අපරාධ පිළිබඳ චෝදනා තියෙන අයටත් නීතිය වහා ක්‍රියාත්මක කළ යුතුයි. සමහර අය ශ්‍රීලනිප ආසන සංවිධායකවරු. චෝදනා 34 න් එකක්‌ අම්පාර දැයට කිරුළට වැසිකිළි හදන්න පාස්‌ කළ ලක්‌ෂ 2000 වංචා කරලා. චූදිතයා අම්පාර නගර සභාවේ හිටපු සභාපති. අද එයා මෛත්‍රිපාල ජනාධිපතිගේ අම්පාර ආසන ප්‍රධාන සංවිධායක. ඒ වගේම ජගත් පුෂ්පකුමාරටත් චෝදනා. අද ජනාධිපති සම්බන්ධීකාරක. අද නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයා රෝහිත බෝගොල්ලාගමටත් චෝදනා තියෙනවා. බැසිල් රාජපක්‌ෂ, ගෝඨාභය රාජපක්‌ෂ, මහින්ද යාපා අබේවර්ධන වැනි අයත් ඒ වාර්තාවේ චූදිතයන්. ජනාධිපතිගේ කඩුව මේ අයගේ බෙල්ල ළඟින් යන්නේ නෑ වගේ.... එජාපයේ හොරු ගැන බැඳුම්කර වාර්තාවෙන් හෙළිදරව් වෙනවා. බරපතළ වංචා දූෂණ වාර්තාවේ රාජපක්‌ෂ ආණ්‌ඩුවේ හොරු ගැන හෙළි වෙනවා. දැන් ඒ හොරුන්ගෙන් පිරිසක්‌ ජනාධිපතිවරයාගේ සෙවණේ වැජඹෙනවා. සමහරු පොහොට්‌ටුව සමඟ. මේ ගමේ හොරු, නිල් හොරු පන්නන්න ගම තුළ පිරිසිදු පාලනයක්‌ ගොඩනඟා සැබෑ වෙනසක්‌ කරන්න, කැපුවත් නිල්, කැපුවත් කොළ වැනි හණමිටි අදහස්‌ අතහැර ජවිපෙ සමඟ එක්‌වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

No comments

Powered by Blogger.