Header Ads

සිංහලයා තලාපෙලා සංහිඳියාව සෙවිය හැකිද?

පළාත් පාලන මැතිවරණයේ උණුසුම තවමත් පහව ගොස්‌ නැත. ඒ උණුසුම එන්න එන්නම තීව්‍ර වූයේ වත්මන් ආණ්‌ඩුවේ කොටස්‌කාරයින් ලැබූ අන්ත පරාජයත් සමගිනි. ඒ සමගම මේතාක්‌ එළියට පනින්නට බලා සිටි එහෙත් ආයාසයෙන් සඟවා ගෙන සිටි ආණ්‌ඩුවේ අස්‌ථාවර භාවය එකවරම පුපුරා ගියේය. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රධාන කොටස්‌කාර පක්‌ෂ දෙක එකිනෙකාට ඇඟිලි දික්‌ කර ගන්නා ස්‌වභාවය ජනතාවට දක්‌නට ලැබුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටිනා කාලයේදීමය. මැතිවරණ පරාජයෙන් පසු එය එහි උපරිමය දක්‌වා වර්ධනය විය. විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා දැඩි ලෙස එක්‌සත් ජාතික පක්‌ෂයට පහර දෙන්නට ගත්තද එය එක්‌තරා නාටකයක්‌ බවත් ජනතාව නොමග යවන්නට සැලසුම් කෙරූ යහපාලනයේම කොටසක්‌ බවත් ජනතාව පැහැදිලිව තේරුම් ගෙන තිබූ බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලැබූ පරාජයෙන් පැහැදිලි විය. සැබැවින්ම එක්‌සත් ජාතික පක්‌ෂයට වඩා පසුබෑමකට ලක්‌ වූයේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ කණ්‌ඩායමය. කෙසේ වෙතත් ආණ්‌ඩුව තුළ තිබූ අසමගිය හා අස්‌ථාවර බවත් ඔවුන්ගේ අසාර්ථකභාවයත් එක්‌වරම එළියට පුපුරා යාමෙන් රට ඉතාම අවාසනාවන්ත ෙ€දවාචකයකට මුහුණ පෑවේය. ඩොලරයේ අගය උපරිම ලෙස ඉහළ ගියේය. රාජ්‍ය ආයතන කඩා වැටුණි. කිසිවක ස්‌ථිර බවක්‌ දක්‌නට තිබුණේ නැත. රට පුරාම ජනතාව ප්‍රතික්‌ෂේප කළ ආණ්‌ඩුව රට කරගෙන යන්නේ කෙසේදැයි ජනතාව මෙන්ම විරුද්ධ පාක්‌ෂිකයෝද ප්‍රශ්න කළහ. එහෙත් මේ පරාජය ජනතාව තමන් ප්‍රතික්‌ෂේප කළා නොව තමන්ට රට තවත් ඉදිරියට කරගෙන යාමට ලබාදුන් අවවාදාත්මක ආශිර්වාදයකැයි ආණ්‌ඩුව විසින්ම අර්ථකථනය කරගනිමින් ඔවුන්ගේ පරාජය සාධාරණීකරණය කළහ. රනිල් වික්‍රමසිංහ මහතාද දැඩි අරගලයක නිරත වුයේ කෙසේ හෝ අගමැති පුටුව ආරක්‌ෂා කරගැනීමටය. මේ තත්ත්වය තුළ දැඩි ලෙස අපහසුතාවට පත්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. ඔහුට දෙපැත්ත සමතුලනය කළ යුතු වූවාක්‌ මෙන්ම ජාත්‍යන්තරයේ බලපෑමට දැඩිව හසුවන්නට සිදුවිය. ඒ ඔහු බලයට එන්නට පෙර ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු හා ඔවුන් සමග එකඟ වූ ගිවිසුම් නිසා බව කතාබහක්‌ ජනසමාජයෙන්ම මතුවීමෙනි.

 විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ යුතු බවට ආණ්‌ඩුවෙන් විපක්‌ෂයෙන් හා ජනතාවගෙන්ද දැඩි ඉල්ලීමක්‌ තිබුණද ජාත්‍යන්තර බලපෑම් හමුවේ නිහඬවීමට ජනාධිපතිවරයාට සිදුවිය. එහෙත් ඔහු ඒ සඳහා තමන් උත්සහ කරන බවට නැවත රඟපෑමක යෙදුණු බව දක්‌නට ලැබුණි. කෙසේ වුවද ආණ්‌ඩුවේ අර්බුදවලට විසඳුමක්‌ සොයාගත නොහැකිව සිටි ආණ්‌ඩුවට වෙනත් ඉල්ලමක්‌ පෑදෙමින් අම්පාර හා මහනුවර ප්‍රදේශ වල ජාතිවාදී ගිනිදලු ඇවිළුණි. ආණ්‌ඩුව කරන ඇත්තෝ මේ ඉල්ලමෙන් උපරිම පල නෙළා ගන්නට ගත් උත්සාහය හරිගියේ නැත. එයටද ඔවුන් විවිධ අර්ථකතන දෙමින් එයින් වාසි ලබන්නට උත්සහ කළද මොකක්‌දෝ කරුමයක්‌ ඵල දෙන්නාක්‌ මෙන් එයද කැරකී ඔවුන් දෙසටම එල්ල වන්නට පටන් ගෙන තිබේ. මහනුවර ජාතිවාදී ආරවුල ආණ්‌ඩුවේම නිර්මාණයක්‌ බව හා ආණ්‌ඩුවේම මැති ඇමතිවරුන් මෙයට සම්බන්ධ වී ඇති බව ආණ්‌ඩුවේම මැති ඇමතිවරු එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිති. මේ වන විට ආණ්‌ඩුව නියෝජනය කරන මුස්‌ලිම් ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ දැඩි අප්‍රසාදය ආණ්‌ඩුවටම එල්ල වී ඇත. එහෙත් එක්‌සත් ජාතික පක්‌ෂයේ ඇතැම් අය මෙම ගැටුම මහින්ද පාර්ශවය ඇති කළ බවට චෝදනා කරමින් සිටි.

 ශ්‍රී ලංකා රජය හා රටේ තත්ත්වය මෙයාකාරයෙන් සිදුවන විට ජිනීවා මානව හිමිකම් කොමිසම ආරම්භ වී ඇති බවද මෙහිදී මතක්‌ කළ යුත්තකි. එසේම මුස්‌ලිම් ජනතාවට ලංකාවේ සිංහලයන් විසින් පහර දෙනු දුටු විට තමන් ඉමහත් කම්පනයට පත්වූ බව ජිනීවා මානව හිමිකම් කොමිසමේ සභාපති සයිද් අල් හුසේන් මහතා පසුගියදාක ප්‍රකාශ කර තිබුණි. ඒ අතරට මේ කරුණද එක්‌කළ යුතු වන්නේ අද වන විට අපේ රටේ දේශපාලන තත්වය තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින් කුමන හේතුවක්‌ අරභයාදැයි හිතාගත නොහැකි තත්ත්වයක සිටය. ශ්‍රී ලංකාවට විරුද්ධ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාවට ලංකා රජය සමඅනුග්‍රහය දෙමින් පිළිගෙන ඇති බව මෙහිදී මතක්‌ කළ යුතුමය. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හරහා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වෙමින් ලංකාවේ යුදහමුදාවට විරුද්ධව පෙනී සිටින ලංකාවේ හමුදාව ස්‌ත්‍රී දූෂණ සිදුකළ බවට බොරු සාක්‌ෂි දෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු වැන්නවුන්ට රාජ්‍ය නෛතිකභාවය ලබා දෙමින් ඇය රජය විසින් පිහිටුවන ලද කාර්යාලයක කොමසාරිස්‌වරියක්‌ බවට පත්කිරීම සිදුකර ඇත. මේ පත්කිරීම හේතුවෙන් ඇය මින් ඉදිරියට ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කරනා ප්‍රකාශ වලට වටිනාකමක්‌ ලැබේ. මෙතුවක්‌ ඇය කළ ප්‍රකාශ රාජ්‍ය නොවන සංවිධානයක අදහස්‌ පමණි. මින් ඉදිරියට ඇය ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වන්නේ රාජ්‍ය නිලධාරිනියක්‌ ලෙසිනි. මෙම අතුරුදන්වූවන්ගේ කාර්යාලය සයිද් අල් හුසේන්ගේ දැඩි බලපෑම නිසා පිහිටුවන ලද්දක්‌ වන අතරම එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්තද එහි තනතුරු ලබා දීම කල් ගියේය.

 ලංකාවේ අන්තවාදී ජාතිවාදී කොටස්‌ හා ලංකාවේ දේශපාලනය අතර බොහෝ සමීප සම්බන්ධයන් ඇති බවට සාධක ඕනෑතරම් ඇත. එය තවදුරටත් ජනතාවගෙන් සැඟවිය නොහැකි කරුණකි. ජාතිවාදි හා අන්තවාදී කොටස්‌ පෝෂණ කරන්නේ පත්වන රජයන් හා දේශපාලනඥයන් විසින් බව මේ වන විට තහවුරු වී හමාරය. ජාත්‍යන්තර මැදිහත් වීම් හා කුමන්ත්‍රණද මේ ගැටුම් පසුපස පවතින බවද මේ ගැටුම්වලට පිටුපසින් කුමක්‌ හෝ දෙවැනි අරමුණක්‌ රටට ඇතුළු වන බවද අත්දැකීමෙන් ලාංකීය ජනතාව දන්නා තවත් කරුණකි. ඇමරිකාව ප්‍රම්‍රඛ බටහිර ඒජන්තයින්ගේ පැවැත්ම ර¹ පවතින්නේ සෙසු රටවල විශේෂයෙන් ආසියාතික රටවල අස්‌ථාවරභාවය මතය. ඒ නිසා අපේ රටේ ජාතිවාදී අරගල පිටුපස ජාත්‍යන්තර මොළකරුවන් නොසිටී යෑයි හිතන්නට තරම් අඥාන ජනතාවක්‌ රටේ නොසිටින බව දේශපාලනඥයන් තේරුම්ගත යුතුය.

 මේ කරුණු කෙසේ වුවද ලංකාවේ මහජාතිය ලෙස සිංහල ජනතාව දැඩි පීඩනයකින් පසු වන බව ඕනෑවටත් වඩා පෙනෙන්නට තිබේ. ආර්ථිකය පහළට ඇද දමා ඇති සිංහලයා කොන් කිරීමේ වුවමනාවක්‌ රට තුලින්ම නිර්මාණ වන්නට ඉඩ දී තිබීම මෙන්ම සිංහලයාට විරුද්ධ වන අන්තවාදී කොටස්‌ පෝෂණ කිරීම මේ වන විට ඉතා ඉහලින් සිදු වෙමින් තිබේ. මේ අන්තවාදී කොටස්‌ බිහිව ඇත්තේ මුස්‌ලිම් හෝ දෙමළ ජනයා තුළින්ම නොවේ. සිංහලයා කොන් කිරීම සිංහලයාට විරුද්ධවීම හා සිංහලයාගේ උරුමයට අභියෝග කරනා පිරිසක්‌ මේ සිංහල දේශපාලනඥයන්ගෙන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ලෙසද බිහවී තිබීම සිංහලයාගේ පුපුරා යාමට හේතුවී ඇතැයි සිතිය හැක. සුළු ජන ඡන්ද හා ජාත්‍යන්තර බලපෑම් හමුවේ ජාතිය පාවාදෙන මේ පිරිස සිංහල අන්තවාදීන් මෙන්ම දෙමල හා මුස්‌ලිම් අන්තවාදීන්වද පෝෂණ කරමින් සිටී. සිංහල අන්තවාදීන් ක්‍රියාකරන්නේ බොහෝ විට ජාතිය ගැන සැබෑ කැක්‌කුමකින් උවමනාවකින් නොව පෙර කී දේශපාලනඥයන්ගේ වුවමනාව හා ඔවුන්ගේ කුමන්ත්‍රණ වල කොටස්‌කාරයන් බවට පත් වෙමිනි. මහනුවර අම්පාර සිද්ධියද අළුත්ගම සිද්ධිය මෙන්ම තවත් එක්‌ සිද්ධියක්‌ ලෙස අතීතයට එක්‌වෙනු ඇත. එහෙත් ලංකාවේ සැබෑ ජාතිවාදි ප්‍රශ්නයට මෙයින් විසඳුම් ලැබේද? සිංහලයාගේ තෙරපී ඇති පීඩනය යම් මොහොතක පුපුරා යනු ඇත. සිංහලයා ඕනෑවට වඩා ඉවසා සිටින බවට සාධක ඕනෑතරම් තිබේ. ඒ ඉවසීමට වටිනාකමක්‌ තිබිය යුතුය. නීතිය හා සාධාරණත්වය සෑම පුරවැසියෙකුටම එක හා සමානව තිබිය යුතුය.

 රටේ අනන්‍යතාවය තහවුරු කරන මෙන් නිහඬව ඉල්ලා සිටි ජනතාවට ඉතිරිව තිබූ අනන්‍යතාවයද නැති වී ගොසිනි. මේ රටට පත් වන ඕනෑම පාලකයෙක්‌ සිහිතබා ගත යුත්තක්‌ තිබේ. රටේ සහජීවනය ඇති කිරීම යනු සිංහලයා තලා පෙළා දමා සුළු ජාතීන්වත් රවටා ඔවුන්ගේ ඡන්ද ටික හොරකම් කිරීම නොවන බව ඔවුන් තරයේ සිහි තබා ගත යුතුය. සිංහලයා නොසතුටින් සිටිනතාක්‌ කල් මේ රටට පැවැත්මක්‌ නැත. මෙය සුළු ජාතින්ද තේරුම් ගත යුත්තකි. සිංහලයාගේ උරුමය

 සුරැකීම හා ඔවුන්ට සාධාරණය ඉටු කිරීම යනු සුළු ජාතින් තලා පෙළා දැමීම නොවේ. ගම්වල ජීවත්වන සාමාන්‍ය දෙමළ, මුස්‌ලිම් ජනයා මෙය හොඳින්ම දනී. බොහෝ දෙමල මුස්‌ලිම් විද්වතුන් මේ කාරණය හොඳින් තේරුම් ගෙන සිටී. අතීතයේ පටන් සිංහලයා බොහෝ දුක්‌ ගැහැට විඳ ඇත. ඒ අපේ උරුමය රැකගැනීම වෙනුවෙනි. රටේ මොන ප්‍රශ්නය ආවද යුද බිමට පිවිසියේ සිංහලයාය. ඈත අතීතයේ සිට පරදේශිකයන් හා සටන් කොට රටේ ස්‌වෛරීභාවය

 රැකගත්තේ සිංහලයායි. මේ නිසාම අඹු දරුවන් දේපළ අහිමි වූයේ සිංහලයාටය. ආක්‍රමණිකයන් හැමවිටම හූරාකෑවේ සිංහලයාවමය. රටේ ජාතික සම්පත සුරකින්නට ඉදිරියට ආවේද සිංහලයාමය. ස්‌වභාවික උවදුරකදී පවා මුල්තැන ගෙන කටයුතු කළේද සිංහලයාමය. එහිදී සිංහලයායි දෙමළායි මුස්‌ලිම් මිනිහායි ලෙස සිංහලයා මිනිසාව වර්ග කළේ නැත. රටේ සෑම ප්‍රශ්නයකදීම එය ජාතික ප්‍රශ්නයක්‌ ලෙස ගෙන කටයුතු කරන්නට හැම විටම සිංහලයා කටයුතු කරන්නේය. එහෙත් සුළුජාතීන් ඉදිරියට පැමිණියේ ඔවුන්ට පමණක්‌ ආවේණික වූ ප්‍රශ්න වලට පමණි. පිලිගන්නට කැමති වුවත් අකමැති වූවත් සැබෑව එයයි. නමුදු ගැටළුවක්‌ පැන නැගුණු විට අවසානයේදී ලෝකයා ඇඟිල්ල දිගුකරනු ලැබුවේද සිංහලයාටමය.

 අප බලාපොරොත්තු වන සහජීවනය මෙය නොවේ. රටේ ඉදිරි ගමන්මග වෙනුවෙන් රටේ සෑම පුරවැසියෙකුගේම දායකත්වය ලබාගැනීම රජය සතු වගකීමකි. ඒ පයබරවාට පිටකර බෙහෙත් බැන්දාක්‌ වැනි ක්‍රියා වලින් නොවේ. සමාජජාලා අවහිර කිරීමෙන් ජාතිවාදය වැළැක්‌විය හැකි බව රජය සිතූ එවන් අළුත් සිතුවිල්ලකි. ජාතිවාදය පැතිරගියේ සමාජජාලා නිසා නොව නිසි අවස්‌ථාවේ නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසාය. නිසි අවස්‌ථාවේදි නීතිය ක්‍රියාත්මක කළේ නම් ජාතිවාදීන්ට පිළිතුරු දීමට සමාජජාල ක්‍රියාකරුවන්ම අනිවාර්යයෙන් ඒකරාශි වේ. සමාජජාල තුළ සිංහල නම් වලින් පෙනී සිටිමින් ව්‍යාජ ගිණුම් භාවිතා කර ජාතිවාදය පතුරවන්නේ සිංහල අයම නොව වෙනත් ජාතිකයන් බව ඉදිරියේදී පරීක්‌ෂණවලින් හෙළිවනු ඇත. කෙසේ වෙතත් රජය මේ ජාතිවාදි අරගලවලින් ලබාගත් වාසිය නම් සමාජජාලා අවහිර කිරීමට මගක්‌ පාදා ගැනීමයි. එසේත් නැත්නම් හදිසි නීතිය මුවාවෙන් සමාජජාලා ක්‍රියාකරුවන් බිය වැද්දීමත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමත්ය. එය නුදුරේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මහමැතිවරණය ඉලක්‌කරගෙන බොර දියේ මාළු බා ගැනීමක්‌ හා සමාන වන්නේය. මේ රජය බලයට පත්වීමේදී විවිධාකාර කටකතා හා බොරු ප්‍රචාරය කිරීමට වෙනමම කණ්‌ඩායම් මෙන්ම කුලී ලියන්නන්ද මඩ පෝස්‌ට්‌ සාදන්නන්ද සමාජජාලා හරහා භාවිතා කළ බව ඔවුන්ම දන්නේය. එහෙත් නොබෝ කළකින්ම සමාජජාලය මත ඔවුන් පතුරවාගෙන තිබූ ආධිපත්‍ය වෙනස්‌වෙමින් ඔවුන්ගේ මඩ ප්‍රචාර වලට පිළිතුරු දීමට එක්‌රැස්‌ වූ ජනතාව මර්දනය කිරීමට ක්‍රමවේදයක්‌ ඔවුන්ට තිබුණේ නැත. කිසිසේත්ම ඔවුන් පාලනය කරගත නොහැකි තත්වයකට රජය පත්විය. විශේෂයෙන් රජයේ ප්‍රධානීන් අමු අමුවේ විවේචනය වන විට එම විවේචනයන් ඉතා ක්‌ෂණයකින් පැතිරයනවිට එය නවතාගන්නට රජයට කළ හැක්‌කක්‌ නොවීය. ජාතිවාදය මුවාවෙන් මොවුන් මේ සිදුකරන මර්දනය ඒ විවේචනයන්ට සොයාගත් පිළිතුරක්‌ ඇරෙන්නට වෙන කිසිවක්‌ නොවේ. අප රටේ ජාතිවාදය යනු යහපාලනයයි. සහජීවනය නමින් සිංහලයා තලා පෙළා අපේ රටේ ඇති කළ යහපාලනය ජාතිවාදයේ සැබෑ මුහුණුවරයි. අවසානයේදි මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයයෑයි මොවුන්ම අර්ථදක්‌වනු ඇත.

චම්පා වෛද්‍යතිලක

No comments

Powered by Blogger.