Header Ads

සිංහරාජය රකින්න ගිය පරිසරවේදීන්ට SF මැරයන්ගෙන් තර්ජන!

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින ඊට ආවේණික වන අලි දෙදෙනා එම පරිසරයෙන් ඉවත් කිරීමේ උත්සාහයට විරෝධය පළ කරමින් අද (17) සොබා දහම්  අධ්‍යයන මධ්‍යස්ථානය කලවාන රඹුකන ප්‍රදේශයේ විරෝධතාවක් සුදානම් කර තිබූ අතර  ඊට තිරසාර සංවර්ධන, වන ජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ හිතවතුන් බව පැවසෙන කණ්ඩායමක් පැමිණ එම විරෝධතාව කඩාකප්පල් කර තිබේ.
සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමියන් අප වෙත අදහස් දක්වමින් පැවසුවේ විරෝධතාවට එක්ව සිටි පිරිසට එම කණ්ඩායම තර්ජනාත්මකව කතා කළ බවයි.

අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් කර ගැනීමට ඉඩ නොදෙන නිසා ඉදිරියේ ඇති විය හැකි වන අලි ප්‍රශ්නයට තම කණ්ඩායම වගකිව යුතු බවට ඔවුන් දැඩිව කියා සිටි බවයි රාහුල හිමියන් සඳහන් කළේ

වැඩිදුරටත් අදහස් දක්වන පූජ්‍ය වෑකඳවල රාහුල හිමියන්,

"අපි කතා කළේ  අලි ගැන පමණක් හෝ මිනිසුන් ගැන පමණක් නොවෙයි. අපේ උද්ඝෝෂණයේ තේමාව වී තිබුණේම සතුන්ටත් මිනිසුන්ටත් ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බවයි. අඩුම තරමේ මේ ප්‍රදේශයට වනජීවී කාර්යාලයක් හෝ නැහැ. එහෙම තත්ත්වයක පරිසරය ගැන කිසිම දෙයක් නොදැන ඒවා බලහත්කාරයෙන් වෙනස් කරන්න හදනවා. නිකම් නෙවෙයි තම තමන්ගේ බලයත් පෙන්වලා.

අපේ උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න ඔවුන් ඒ ගැන දැන ගත්  මොහොතේ සිටම කටයුතු කර තිබුණා. ගමේ මිනිස්සු බය ගන්වලා තිබුණා මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්න එපා කියලා. අපි මේ වැඩේට මිනිස්සු ඒකරාශී කරගන්න සැලසුම් කරලා තිබුණේ ගමේ පන්සලේදී. නමුත් කඩාකප්පල්කාරී පිරිස එයත් වළක්වලා තිබුණා.

ඉතාම ලැජ්ජාසහගත තත්ත්වයක්. පොලිසිය වුනත් මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න මැදිහත් වුණේ සාධාරණ විදිහට නෙවෙයි. සරත් ෆොන්සේකා ඇමතිතුමාගේ බවට ඇඟවූ එම පිරිස අපට නොයෙක් දේ කියමින් තර්ජනය කළා. නමුත් පොලිසිය ආවේ අන්තිමට. හැබැයි උද්ඝෝෂණයට කලින් නම් පොලිසියත් වටේ කැරකි කැරකි හිටියා.

ඒ මැර කණ්ඩායම දිගටම කිව්වේ රත්තරං ඇමතිවරයෙක් ඉන්නේ, ප්‍රශ්නේ විසඳලා දෙන්න හදනකොට ඔයාලා තමයි ඒක කඩාකප්පල් කරන්නේ. ඉදිරියේදී මිනිස්සුන්ට මොනවහරි කරදරයක් වුණොත් ඒකට වගකියන්න ඕනේ ඔහෙලා  කියලා අපිට තර්ජනය කළා. මම කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත වලට හානියක් වුණොත් ඒකට වගකියන්න ඕනේ මේ ආණ්ඩුව. ඔවුන්ටයි කිසිම සැලැස්මක් නැත්තේ. ඔවුන් තමයි වැරදි තීන්දු ගන්නේ.

ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම වැඩකරන්න පුළුවන්ද? තියෙන ප්‍රශ්න වලට උත්තර දීම වෙනුවට කරන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක. පොලිසිය වුනත් කිව්වේ සාමකාමී උද්ඝෝෂණයක් කරන්න ගිය අපිට එතනින් ඉවත් වෙන්න කියලා. අපි කොතනකවත් කාටවත් බාධාවක් වෙලා නැහැ. අපිටයි ඕන තරම බාධා එල්ල වුණේ."

කෙසේ වෙතත් තර්ජනාත්මක පසුබිමක් තුළත් ප්‍රදේශවාසීන් සැලකිය යුතු ප්‍රමාණයක් උද්ඝෝෂණයට සහභාගී වූ බවයි රාහුල හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

මේ වන විට වන  අලි දෙදෙනා අල්ලා ගැනීමේ මෙහෙයුම වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නියමයෙන් පසුව අත්හිටුවා තිබේ.
LNW -






No comments

Powered by Blogger.