Header Ads

ලක්බිම වසා මාධ්‍යවේදීන් 10 ක් පන්නා දැමූ තිලංගට එරෙහි නඩුව ඇසේ..!

දිනපතා ලක්බිම (සිංහල) පුවත්පත වසා දැමීම සහ එයට සමගාමීව එහි මාධ්‍ය සේවකයන් දස දෙනෙකුව අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම සම්බන්ධ නඩු විභාගකිරීම (8) බත්තරමුල්ල කම්කරු අධිකරණයේදී ආරම්භ විය.

2018 දෙසැම්බර් 01 වැනිදා පටන් ලක්බිම දිනපතා සිංහල පුවත්පත වසාදැමුවේ එය ‘තාවකාලික‘ වසාදැමීමක් බව පවසමිනි. එහිදී කිසිදු මාධ්‍ය සේවකයෙකුගේ සේවය විධිමත් ලෙස අවසන් නොකළ අතර, මෙම අයදුම්කරුවන් කණ්ඩායමගේ සේවය දෙසැම්බර් මස මුල සතිය තුළ ද ආයතනය විසින් ලබාගෙන තිබේ. කෙසේ නමුත් හදිසියේම, ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍රයෙන් ඔවුන්ගේ ඇඟිලි සලකුණු ඉවත් කර ඇති අතර, ඒ පිළිබඳ විමසීමේදී ආයතනය කියා තිබෙන්නේ ඔවුන්ගේ සේවය අනවශ්‍ය බැවින් ඒවා ඉවත් කළ බවයි.

මාස 6 ක වැටුපකට සරිලන වන්දි මුදලක් ලබා, ගෙදර යන ලෙස ආයතනය විසින් ඔවුන්ට කියා තිබේ.

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට අයත් සමාගමක් ලෙස පැවති ලක්බිම නිව්ස් පේපර්ස් (පුද්) සමාගම, සිය සමාගමේ නෛතික පුද්ගල භාවය වෙනස් කරමින් ‘සුමති පබ්ලිකේෂන්ස්‘ යනුවෙන් නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු යටතේ නව සමාගමක් වශයෙන් වැඩ කටයුතු ආරම්භ කර තිබෙන්නේ මෙම වසා දැමීම සිදුකිරීමට මාස 6කට පෙර බව ද වාර්තා වේ. කෙසේ නමුත් ලක්බිම පුවත්පත් සමාගම තවමත් තිලංග සුමතිපාල මහතාගේ නිල නොවන පාලනය යටතේ පවතින බවත්, මේ සේවක කප්පාදුව ඔහුගේ පූර්ණ අනුදැනුම සහ අනුමැතිය මත සිදුවූවක් බවත් මාධ්‍ය සේවකයෝ පවසති.

අවසානයේ ලක්බිම නිව්ස් පේපර්ස් සමාගමේ වසර 10, 25 වැනි කාලයක් සේවය කළ සහ පුවත්පත වෙනුවෙන් සිය ජීවිතයේ විශාල කාලයක් වැය කළ සේවකයන්ගේ සේවා කාලය ඛණ්ඩනය වීම සිදු වී, එයින් මාස 6කට පසුව ඔවුන්ව අත්තනෝමතික ලෙස සේවයෙන් ඉවත් කර තිබේ.

වැඩිදුර විභාගය මැයි 15 වැනිදා පැවැත්වේ.

මෙහිදී ලක්බිම පුවත්පත් සමාගම (ලක්බිම පබ්ලිකේෂන්ස්) වෙනුවෙන් නීතීඥ ඉසුරු ලක්පුර පෙනී සිටින අතර, මාධ්‍ය සේවකයන් දස දෙනා වෙනුවෙන් නීතීඥ රදිකා ගුණරත්න පෙනී සිටියි
ලංකා ඊ නිව්ස් -

No comments

Powered by Blogger.