Header Ads

රාජිතගේ මාධ්‍ය ලේකම් රටින් පළා යයි!

වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිව සිටියදී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.අයි.ජේ. විජේනායක (මලිත්) රටින් පළා ගොස් ඇතැයි වාර්තාවේ.

 ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගත් බව කියමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දෙසැම්බර් 14දා ඔහුගේ නිවස වටලා ඇතත් එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැත.

CID නිලධාරීන් පැයකට අධික කාලයක් නිවස පරීක්ෂා කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මලිත් විජේනායකගේ ලැප්ටොප් පරිගණකය සහ මෘදුකාංග රැගෙන ගොස් ඇතැයි පැවසේ.

ඉන් අනතුරුව ද CID පොලිස් නිලධාරීන් විසින් මලිත් විජේනායකගේ නිවස කිහිපවිටක් පරික්ෂා කොට ඇති බවත් ඔහුගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කොට ඇති බවත් වාර්තාවේ.

 මලිත් පසුපස පන්නන හේතුව ?

CID නිලධාරීන් මලිත් විජේනායකව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගෙන ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක 'සුදුවෑන් මාධ්‍ය හමුව' හා ඒ සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන රියදුරන් දෙදෙනා CID ප්‍රශ්න කිරිම් හමුවේ කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහාය.

එසේම, මෑතකදී කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින්, හිටපු අමාත්‍ය රාජිත සේනරත්න විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවට අදාල වැඩිදුර තොරතුරු සෙවීමට ද පොලිසිය මොහු පසුපස පන්නමින් සිටින බව වාර්තාවේ.

ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වද්දී හෙළිව ඇත්තේ ඔහු මේ වනවිට රටින් පලාගොස් ඇතිබවයි.

ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව පොලීසිය සදහන් කරයි. එම නිසා ඔහු මේ වන විට පළාගොස් ඇති රට පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මොහු රාජිත සේනාරත්නට එරෙහි ප්‍රබල සාක්ෂි කරුවෙකු බැවින් ඔහුව කෙසේ හෝ අත්අඩංගුවට ගතයුතු බවට පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇතැයි වාර්තාවේ.



විජේදසගේ ලේකම්වරයකු ලෙසත් කටයුතු කරලා !

මීට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් UN General Assembly සදහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට යන අතරතුර කටාර් ගුවන් තොටුපලේදී තම පවුලේ ඥාතින් ඇතුළු හිත මිතුරන් රැගෙන යන ඡායාරූප සමාජ මාධ්‍යයට නිකුත් කල බවටත්, මාධ්‍ය හරහා විවිධ දේශපාලඥයන් පිළිබද හෙළිදරව් කල බවටත් මොහුට චෝදනා එල්ලවී තිබිණ.

මලිත් විජේනායක රාජිත ඇමැතිවරයාගේ මාධ්‍ය ‌ලේකම්වරයෙකු ‌ලෙස රාජකාරි කිරීමට ‌‌පෙර හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ ‌ලේකම් වරයෙකු ‌ලෙස ද කණිෂ්ඨ නීතිඥයෙකු ‌ලෙස ද කටයුතු කර ඇත.

theleader.lk

No comments

Powered by Blogger.