Header Ads

චීනය කොරෝනා සටනට සාම්ප්‍රදායික වෙදකම් යොදාගත් සැටි මිත්‍යාවේ ගිලුණු චීනය සහ ලංකාවේ වෙන්ඩ රැඩිකල් සයන්ටිස්ට්ලා

චීනය කොරෝනා සටනට සාම්ප්‍රදායික වෙදකම් යොදාගත් සැටි
මිත්‍යාවේ ගිලුණු චීනය සහ ලංකාවේ වෙන්ඩ රැඩිකල් සයන්ටිස්ට්ලා
============================================

> අද කොරෝනා වෛරසය හමුවේ දියුණු බටහිර ජාතීන් අසරණ වන විට චීනය ඒ උවදුර බොහෝ දුරට මැඩපවත්වා අවසානය. මේ සටහන කොරෝනා පරදවන සටනේ දී චීනය තම සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම ඒ සඳහා යොදා ගත් ආකාරය ගැනය.

> චීන රජයේ නිල වාර්තා පෙන්වා දෙන පරිදි ඔවුන් කොරෝනා රෝගීන් 90%කට වැඩි ප්‍රතිශතයකට ප්‍රතිකාර කිරීම සඳහා බටහිර ප්‍රතිකාර සමග සම්ප්‍රදායික වෙදකමද භාවිත කර ඇත. CNN වැනි ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක පසුගිය දිනවල ඒ බව වාර්තා කර තිබිණි.

> රෝගීන් 102ක් යොදාගෙන මුලින්ම කළ සායනික පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතා කරන රෝගීන්ගේ සුවවීමේ සම්භාවිතාව ඉතා ඉහළින් පවතින බවය.

> පෙනහලු පිරිසිදු කිරීම, විෂ බීජ නැසීම, රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ දැමීම, වසා සෛල ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිශක්තිය ඉහළ දැමීම හා රෝගය ඉක්මනින් සුවවීමට සාම්ප්‍රදායික ඖෂධ ඉවහල් වන ආකාරය වැඩිදුරටත් තහවුරු වීමත් සමඟම රට පුරා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ක්‍රමවේද භාවිත කර ඇත.

> වසර 1800ක් පමණ පැරණි වෛද්‍ය මූලධර්ම මත ඖෂධීය ශාඛ ගණනාවක් භාවිත කරමින් මෙම බෙහෙත් වට්ටෝරු සකස් කොට ඇත. Traditional Chinese medicine (TCM) ලෙස හැඳින්වෙන චීන වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය ක්‍රි. පූ. 14 -11 කාලයේ ෂැන් රාජ වංශය දක්වා ඈතට විහිදෙයි.

> පසුගිය ජනවාරියේ පැවති චීන කොමියුනට්ස් පක්ෂ දේශපාලන මණ්ඩල සැසියකදී චීන ජනපති ෂී ජින් පින් ඉදිරිපත් කළ අදහසකට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබේ.

> මේ වන විට අප්‍රිකානු රටවලද චීන ප්‍රතිකාර ජනප්‍රිය වෙමින් තිබෙන අතර, ඉදිරියේදී තම බෙල්ට් ඇන්ඞ් රෝඞ් ව්‍යාපෘතිය හරහාද තම පැරණි වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීමට එරට රජය අපේක්ෂා කරයි.

> 2020 අවසාන වන විට සම්ප්‍රදායික ඖෂධ හරහා චීනය උපයන ආදායම 2017ට වඩා සීයට 71ක වර්ධනයක් අපේක්ෂා කරන බව චීන රාජ්‍ය කවුන්සිලය පවසයි.

> මේවා සිදුවන්නේ ගෝත්‍රික ස්වාසිලන්තයේ නොව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි, බටහිර විද්‍යා තාක්ෂණ දැනුම ඉහළින්ම භාවිත කරන, 2015 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත්, කෘත්‍රිම චන්ද්‍රයන් තනා නගර ආලෝකමත් කරන නූතන චීනයේය. තවමත් දෑකැති මිටි සහිත කොමියුනිට්ස් පක්ෂයක්ද බලයේ සිටින චීනයේය.

> චීන කොමියුනිට්ස් නායකයා 2019 ඔක්තෝබරයේ පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ චීන සාම්ප්‍රදායික වෙදකම යනු තම ජාතියේ ප්‍රඥාව විදහා පෙන්වන චීන ශිෂ්ටාචාරයෙන් මතු වූ මහා නිධානයක් ලෙසය.

> එසේ වුවද මේ කාටත් වඩා විද්‍යාව දන්නා ලංකාවේ විකල්ප පඬියෝ එවැනි වනචාරී ගෝත්‍රවාදී මිත්‍යාවන් සපුරා බැහැර කරති. ජේවීපී නිළියෝ ලංකාවේ සාම්ප්‍රදායික දැනුම ගැන කතා කරන වෛද්‍යවරුන්ට එළහරකා යැයි කියති. උසස් පෙළටවත් විද්‍යාව හදාරා නොතිබුණද, වැඩවසම් මිත්‍යාවන් අදහන ෂී ජින් පින්ලා මෙන් නොව ඔවුහු පිරිසිදු මාක්ස්වාදයෙන් පේවී සිටිති. ඔවුන්ගේ පක්ෂ ජය පිට ජය ලබමින් පෙරට යන්නේ ඒ නිසාය.

> කෙසේ වුවද තම රජයේ තීරණ පටු ජාතිකවාදයේ, ඝෝර දේශප්‍රේමයේ ප්‍රතිපල බව පවසන උගත්තු කීපදෙනෙක් චීනයේද වෙසෙති.

> එවැනි චීන උගතෙකු පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ පෙරටුගාමී පක්ෂය, සීයට තුනේ පෙරමුණ, හේතුවාදී සංගමය, අලුත් පරපුර වැනි සංවිධාන නියෝජනය කරන විද්වත් මණ්ඩලයක් වහාම චීනයට කැඳවා ෂී ජින් පින් ප්‍රමුඛ චීන කොමියුනිට්ස් පක්ෂයට නැවත මුල සිට මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය හා නවීන විද්‍යාව ඉගැන්විය යුතු බවය.

ප.ලි --- මේ සටහන ලීවේ බටහිර විද්‍යාව ලෝකයේ ඇති එකම දැනුම නොවේය යන අර්ථයෙන් වන අතර අපේ දැනුම නාමයෙන් ක්‍රයාත්මක වන ඇතැම් සෑම ආකාරයේම ප්‍රෝඩාවන් මේ ලිපියෙන් සාධාරණීකරණය නොවන බව සලකන්න.

ඉසුරු ප්‍රසංග

No comments

Powered by Blogger.