Header Ads

ජීවන්ට හෙලිකොප්ටර් මහජනයාට බස්තියන් පයින් ගමන්.

තමන්ගේ අම්මා මරණාසන්නව අපේක්ෂා රෝහලේ සිටින බව කියා දුම් රියෙ එන්නට ඉඩක් දෙන ලෙස ගිය සතියේ මහනුවර දුම්රිය පොළේදී එක් තරුණයෙක් බැගෑපත්ව ඉල්ලා සිටියේය.

'බෑ.අපිට ඉඩ දීලා තියෙන්නේ අනුමත මගීන් විතරක් යවන්න කියලා.ඊට අමතරව සීමිත පිරිසකට ඉඩ තිබුණා .දැන් ආය ඉඩ නෑ.මේක නීතිය.කරුණාකරලා ඔයා නීතියට ගරු කරන්න.ඊළග එකේ යන්න"
දුම්රියපොල සිටි නිලධාරීන් තරුණයාට කීවේය .

'මට මේකේ යන්න බැරි වුණොත් අම්මා බලන්න වෙන්නේ දවල්ට.මට අවස්‍ථාවක් දෙන්න'

තරුණයාගෙ බැගෑපත් ආයාචනයට ප්‍රතිචාරය ඵල රහිතය.
"මගේ පාස් එකට සීට් එක වෙන් කරලා තියෙන්නේ.මගේ පාස් එක ඊළග එකට මාරු කරලා මෙයාට මගේ සීට් එක දෙන්න බැරිද?'
මම ඇසුවෙමි.

"එහෙම කරන්න බෑ.ඔයාට වෙන් කළේ මේකනම් මේකේ යන්න'

නිලධාරියාගේ ස්වරය වියලි ය.බුරුලක් ඇත්තේම නැත.
තරුණයාට මගේ අවස්‍ථාව දෙන්නට ගත් වෑයම අසාර්ථක වූ විට මම බලාපොරොත්තු කඩව දුම්රියේ ඉද ගත්තෙමි.සිදුවීමට සතියකි.

මට තවමත් අර තරුණයාගේ බැගෑපත් අසරණකම මැවී පෙනේ.

මිනිස්සු අසරණ වූයේත්,කැපවීම් කළේත් එසේය.
මාසයක් පුරා නොකා නොබී කොළඹ සිරව සිටියෝ දහස් ගණනකි.ඔවුන්ද කොරෝනා ඇදිරිනීතියට හසුවිය.ඔවුන් නිසාම හදගිනි ඇවිලී ගම්වල සිටියවුන්ද දහස් ගණනකි.
නිරෝධායනය වෙමින් සිටි පියෙකුට තම සිගිති දියනියගේ මලගම අහිමි විය.කොරෝනා ආසාදිතය කියා හමුදාවේ මියගිය සෙබලෙක් විසිහතර පැයක් තුල පුලුස්සා දැමීය .ඔහු කොරෝනා ආසාදිතයෙක් නොවන වග පසක් විය.

ඒ තබා ඔය සමය තුල මියගිය බොහෝ දෙනාට උරුම වූයේ ජීවත්වන්නන්ට "හිත හදාගෙන"දුක බෙදාගන්නටවත් කාලයක් අහිමිවූ අවසන් කටයුතුය.

තවමත් මැදපෙරදිග දහස් ගණනක් අපේ පුරවැසියන් ව්‍යසනය මැද අන්ත අසරණව ය.

සීෂෙල්ස් පුරවැසියන් පිරිසක් ගුවනින් මෙරටට ගෙන්වා ආපසු යැවූදාට පසුදා තොණ්ඩමන් මිය ගියේය.ඔහුගේ මල සිරුර තවමත් වතුකරයේ 'පූජෝපහාර' වලට ලක් වෙමිනි!

ඒ අතර ඔහු පුත් ජීවන් මලයාලම් චිත්‍රපටි ජවනිකා පෙන්වමිනි.

රංජිත් කුමාර සමරකෝන්

No comments

Powered by Blogger.