Header Ads

අපයෝජන දැලේ පැටළුනු දොස්තරගේ පැටිකිරිය එළියට, අවස්ථා දෙකකදී සිදුවූ දේවල් වමාරයි - Video

සේවය ලබාගෙන තියෙන්නෙ මහේෂ් කියලා කෙනෙක්ගෙන්...

ගල්කිස්සේදී අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

එදිනට සැකකරු ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම බන්ධානාගාර නිළධාරීන්ට නියම කළේ.

මෙම සැකකරු, මහේෂ් නමැත්තෙකු මාර්ගයෙන් මෙම දැරියගේ සේවය ලබාගෙන ඇති බව සඳහන් කළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන්, මෙම ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු වන රජීව් නමැත්තාගේ වාහනයෙන් මෙම දැරිය කොල්ලුපිටිය ප්‍රදේශයට රැගෙනවිත් මොහුට භාරදී ඇති බවද ප්‍රකාශ කළා.

අතවරයට පත් දැරියගේ ජංගම දුරකතනයේ මෙම සැකකාර වෛද්‍යවරයාගේ දුරකතන අංකය තිබෙන බව සඳහන් කළ පොලිසිය මෙම දැරියට සැකකාර වෛද්‍යවරයා විසින් රුපියල් 20,000ක මුදලක් ගෙවා ඇති බව විමර්ශණවලදී අනාවරණය වී ඇති බවද කියා සිටියා.

සැකකාර වෛද්‍යවරයා යලි දුටුවහොත් හඳුනාගත හැකි බවට අතවරයට පත් දැරිය විසින් ප්‍රකාශ කර ඇති හෙයින් මොහුව රක්ෂිත බන්ධනාගාර ගත කර හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විශේෂඥ හෘද රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර සහ කොතලාවල ආරක්ෂක රෝහලේ කටයුතු කරන බව ප්‍රකාශ කළා.

තම සේවාදායකයා මෙම දැරියගේ සේවය ලබාගැනීම සඳහා අදාළ හෝටලය වෙත ගිය බව ඔහු විසින් පිළිගන්නා නමුත් අදාළ හෝටලයේදී එම දැරිය බාලවයස්කාර දැරියක් බව වටහා ගත් විගසම ඔහු එම ස්ථානයෙන් ඉවත් වී ගිය බවද නීතිඥවරයා සඳහන් කළා.

අදාළ හෝටලයේ සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කළහොත් ඒ බව තහවුරු කරගත හැකි බව සඳහන් කළ නීතිඥවරයා අදාළ දැරිය අපයෝජනයට ලක් කළ බවට නැගෙන චෝදනාව තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවයි අධිකරණය හමුවේ කියා සිටියේ.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ පොලිසිය මෙම සැකකරු අතවරයට පත් දැරිය බාලවයස්කාරියක් බව හොඳින්ම වටහාගෙන සිටි බව සඳහන් කළා.

මෙහිදී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ සැකකරු කොරෝනා පරීක්ෂාවට භාජනය කර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.

මේ අතර, අපයෝජනයට ලක් වූ දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද ත්‍රීරෝද රථ රියදුරෙකු මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම, මෙම දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුලු තුන්දෙනෙකු වෙනුවෙන් නියම කර ඇති හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන ලෙස ඔවුන්ගේ නීතිඥයන් කළ ඉල්ලීම විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළා.

මේ අතර, අතවරයට පත් දැරිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කළ වෙබ් අඩවි කිහිපයකට ශ්‍රී ලංකාව තුළදී පිවිසීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක් ද විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළා.

ඇය කියා සිටියේ එවැනි තහනම් කිරීමක් සඳහා රජයේ ආයතන වෙත ප්‍රමාණවත් බලතල තිබෙන බැවින් ඒ සඳහා අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවයි.

අදාළ දැරිය අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් ජාතික ළමා හා කාන්තා කාර්යාංශය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සැකකරු මේ මස 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 32 නෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
hirunews -

No comments

Powered by Blogger.